VAT තහනමෙන් පසු හැකිනම් කර බලන්න.. අත්දුටුවයි.. ප්‍රත්‍යක්‍ෂයි.. – විමල්ගෙන් ජනපතිට උපදෙසක්
Posted on July 12th, 2016

– අනුරුද්ධ බණ්ඩාර

තම සටන පාරිභෝගික ජනතාව මත නීතියට පටහැනිව ඇද හෙළන ලද අධික බදු බරෙන් ඔවුන් නිදහස්කර ගැනීමේ සටනක් පමණක් නොවූ බවත් එය පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය පාලනය කිරිමේ බලය නොතකා හරිමින් වත්මන් ආණ්ඩුව යාමට සූදානම් වූ ගමනට එරෙහිව කළ සටනක් ද වූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

මේ වැට් බද්ද ගෙනාවේ 2002 දී එවකට පැවැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවයි. එවකට මුදල් අමාත්‍යවරයා වූයේ නාරිමාන් චොක්සි මහතායි. එදා විපක්‍ෂයේ සිටි මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී එකී බද්ද හඳුන්වනු ලැබුවෙ ‘නරිමෑන්ගේ වැට් බද්ද’ ලෙස බව අපට මතකයි. එසේ එදා වැට් බද්ද මේ රටට හඳුන්වා දුන් පාලකයන් යළි බලයට පත් වෙලා තමන් හඳුන්වා දුන් වැට් බදු පනතට පටහැනිව ක්‍රියා කරනවා. නාරිමාන් චොක්සි මහතා එදා ඉදිරිපත්කර සම්මතකරගත් වැට් බදු පනතේ එම බද්ද අදාළ නොවන ක්‍ෂේත්‍ර පැහැදිලිව සඳහන්කර තිබුණා. ඒ වගේම එම පනතේ වැට් බද්ද අදාළ වන ක්‍ෂේත්‍රත් පැහැදිලිව ලැයිස්තුගත කොට තිබුණා. වැට් බදු අය කළ යුතු ප්‍රතිශත, පරාසයන්, සහ වැට් බදු අය කළ යුතු ක්‍ෂේත්‍ර වෙනස් වෙනවා නම් අදාළ පනත සංශෝධනය කළ යුතුව තිබුණා. විය යුතු පනත් සංශෝධනය සිදු නොකර, නීතියට පටහැනිව තමයි 2016 මැයි 02 වැනිදා සිට ඊයේ(11) ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය ලැබෙන තෙක් මේ ආණ්ඩුව මේ රටේ ජනතාවගෙන් වැට් බදු අය කරනු ලැබුවේ. පෞද්ගලික සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, මසකට පිරිවැටුම ලක්‍ෂ 10කට වැඩි සිල්ලර වෙළඳාම ආදී වශයෙන් සෑම සියලු ක්‍ෂේත්‍රයකටම මේ ආණ්ඩුව මැයි 02 වැනිදා සිට අමතර බදු බරක් පැටවූවා.

ආණ්ඩුව මේ සියල්ල නීතියට පටහැනිව සිදු කළ බවට මනෝහර ද සිල්වා, කණිෂ්ක විතාරණ හා කපිල ගමගේ යන අපගේ නීතිඥ මැතිතුමන්ලා ශ්‍රේෂ්ඨෘධිකරණයට මනා ලෙස කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. රේගු බදු ආදී ඇතැම් බදු වර්ග වෙනස් කිරීමට පනත් සංශෝධනයක් අවශ්‍ය වන්නේ නැහැ. ඊට අදාළව ගැසට් නිවේදනයක් නිකුත්කර එයට මාස 03ක් ඇතුළත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත්තාම ප්‍රමාණවත්. නමුත් වැට් බදු පනත සහ ජාතිය ගොඩනැගීමේ බද්දට අදාළ පනත සංශෝධනය නොකර එම බදු ප්‍රතිශත, පරාස, ක්‍ෂේත්‍ර වෙනස් කරන්න බැරි විදිහටයි එම පනත් 02 හදා තිබෙන්නේ. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට කිව්වේ ‘මේක වැරදියි. නීතියට පටහැනියි. මේක මහජන මුදල් මංකොල්ලකෑමක්. මේක වළක්වන්න’ කියලයි.

‘මේක නීතිය කණපිට හැර වූ යහපාලනයක්’

මේ ආණ්ඩුව ‘යහපාලනය’ කියන වචනය ඉස්සරහට දැම්මාට වැඩ පටන් ගත්තේම නීතිය කණපිට හරවලානේ, බලයට ආපු ගමන්ම අගවිනිසුරු මොහාන් පීරිස් මහතාව ‘කණෙන් අල්ලලා’ එළියට දැම්මා. ජනාධිපතිවරයා අගවිනිසුරුවරයාට ලිපියක් යැව්වා ‘ඔබගේ තනතුර බලශූන්‍ය වේ.’ කියලා. ඒත් කිසිවකුගේවත් තනතුරක් බලශූන්‍ය කරන්න ජනාධිපතිවරයාට නෛතික බලයක් නැහැ. 2015 ජනවාරි 09 වැනිදා රටේ අගමැතිවරයකු සිටියදී තවත් අයකු අගමැති ලෙස දිවුරුම් දුන්නා. මේ ක්‍රියා දෙකම නීතියට පටහැනියි. 2015 දී පාර්ලිමේන්තුව අනුමත කරනු ලැබූ ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් මේ ආණ්ඩුව ලබාගත්තා. මේ බව කියන්නේ අපි නොවෙයි, විගණකාධිපති වාර්තාව. ඒකත් මේ රටේ නීතීය කැඩීමක්. මේ රටේ මූල්‍ය පාලන බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට, ව්‍යවස්ථාදායකයට. එසේ මූල්‍ය පාලන බලය තිබෙන නිසා තමයි, ‘ලබාගන්නා ණය ප්‍රමාණය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුයි.’ කියලා තිබෙන්නේ. පාර්ලිමේන්තුව අනුමත කළ ණය ප්‍රමාණයට වඩා ණය ප්‍රමාණයක් ගන්නවා නම් ඒක පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලය නෙතකා හැරීමක්. ඒ වගේම ඉහත කී පනත් දෙක සංශෝධනය නොකර වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු වැඩි කිරීමත් පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලය තුට්ටු දෙකට දමලා මේ ආණ්ඩුව සිදුකළ නීතියට පටහැනි ක්‍රියාවක්. ‘අපට බලය තිබෙනවා. අපට පාර්ලිමේන්තුවේ අනුමැතිය උවමනා නැහැ. අපි ඕනෑ බද්දක් වැඩි කරනවා’ කියලයි මේ අෘණ්ඩුව කටයුතු කළේ. අපි එම නීතියට පටහැනි ක්‍රියාවයි අභියෝගයට ලක්කළේ.

‘අපි සටන් කළේ කුමකටද?’

අපේ සටන මේ රටේ පාරිභෝගීක ජනතාව මත නීතීයට පටහැනිව ඇද හෙළන ලද අධික බදු බරෙන් ඔවුන් නිදහස්කර ගැනීම සඳහා වූ සටනක් පමණක් නොවෙයි, අපේ සටන, රටේ මූලික නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලබාදී ඇති රාජ්‍ය මූල්‍ය පාලනය කිරිමේ බලය නොතකා හරිමින් මේ ආණ්ඩුව යන්න හැදූ ගමනට එරෙහිව කළ සටනක් ද වූ බවත් මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගය මගින් මේ අණ්ඩුවට ඉතා බරපතල සංඥාවක් ලැබී තිබෙනවා. ‘නීතියට පටහැනිව ඔබලා යම් ගමනක් යන්න හදනවා නම් අපි ඒකට ඉඩ තබන්නේ නැහැ’ කියන සංඥාවයි ආණ්ඩුවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබෙන්නේ, ‘මේ පනත් දෙක සංශෝධනයකර නිසි පරිදි පාර්ලිමේන්තුවේ සම්මතකර ගත්තොත් මේ අතුරු තහනම් නියෝගය ඉවත් වෙනවා, එහෙම නැත්තම් නඩුව අසා අවසන් තීන්දුව ලබා දෙන තෙක් එය ක්‍රියාත්මක වෙනවා’ කියලයි.

ඊයේ(11) තමයි අපේ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ අතුරු තහනම් නියෝගය ලබා දීමට නියමිතව තිබුණේ. ඒ නිසාම පසුගිය සිකුරාදා(08) වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට පළමුවර කියැවීම සඳහා ඉදිරිපත්කර තිබෙනවා. අතුරු තහනම් නියෝගය ලබා දුන්නාට පසුව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියනවා, ‘මේ පනත් කෙටුම්පත ජූලි මාසයේ අගභාගය වන විට දෙවනවර කියැවීමේ විවාදයට ගත හැකියි’ කියලා. අපි අධිකරණයට නොගියානම් මේ සංශෝධන පනත් කෙටුම්පත කඩිමුඩියේ එන්නේ නැහැ. මේ ආණ්ඩුවට අධිකරණය හමුවට ගිහිල්ලා දෙන්න උත්තරයක් නැහැ. ඒ නිසා නඩු දිනයේදී නිතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අධිකරණය හමුවේ පවසන්න පුළුවන් ‘යමක්’ කරන්න ඕනේ. ඒකයි පනත් සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතක් කඩිමුඩියේ ගෙනාවේ.

‘ජනපතිට විමල්ගෙන් පුංචි උපදෙසක්’

අපි කියනවා, ‘දැන් පාර්ලිමේන්තුවට අවස්ථාව තිබෙනවා, මේ පනත් කෙටුම්පතේ තිබෙන බදු ප්‍රතිශතය, බදු බලපාන පරාසය වැඩි නම් ඒවා අඩු කරන්න. මේ රටේ මහජනතාවට දැරිය හැකි ආකාරයට වෙනත් සංශෝධන ගෙන එන්න. එහෙම නැත්තම් මේ සංශෝධන සියල්ල සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න’ කියලා. දැන් මේ වැඬේ පාර්ලිමේන්තුව අතේ තිබෙන්නේ. අපි හිතනවා, ‘දැන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට කියමින් හිටපු දේ ඉටු කරන්න අවස්ථාවක් ලැබී තිබෙනවා’ කියලා. ‘වැට් බද්දෙන් ජනතාව පීඩාවට පත් වෙලා. ඒකෙන් ජනතාව මුදවා ගන්න ඕනේ’ කියලා ජනාධිපතිවරයාට අවංක චේතනාවක් තිබෙනවා නම් එතුමාට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තමන්ගේ ගෝලබාලයෝ ලවා ඒ දේ ඉටු කරවා ගන්න පුළුවන්. ‘අපි ඡන්දය දෙන්නේ ජනතාවගේ පැත්තෙන් අපි ගෙන එන සංශෝධන ඇතුළත් කළොත් පමණයි, කියන ස්ථාවරය රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට ඉදිරිපත් කරන්න’ කියලා තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමට කියුවොත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට තමන්ගේ අදහස ඉටුකර ගන්න පුළුවන් වේවි. අපි මේ දෙන්නේ එතුමාට පුංචි උපදෙසක්. හැකිනම් මේක කරලා බලන්න.‘අත්දුටුවයි! ප්‍රත්‍යක්‍ෂයි! හොඳ ප්‍රතිඵල ලබා දේවි’ කියලා අපි විශ්වාස කරනවා.

‘ව්‍යාපාරිකයන් පිරිසකට අයුතු ලාබයක් ලබාදුන්නා’

මුදල් ඇමති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය ‘මේ බදු පැනවීම් නීතියට පටහැනියි’ කියලා දන්නේ නැද්ද? ඇමතිවරයාගේ බලපෑම අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය කටයුතු කළාද? කොහොම වුණත් අවසානයේදී මේ අය ව්‍යාපාරිකයන් පිරිසකට අයුතු ලාබයක් ලබා ගැනීමට ඉඩ හදලා දීලා තිබෙනවා. ව්‍යාපාරිකයන් රැස්කර ගත් මේ බදු ආදායම් තවම දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවලා නැහැ. මහා පරිමාණ ව්‍යාපාරිකයන් මසකට වතාවක් සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් කාර්තුවකට වතාවක් තමයි බදු වාර්තාව ලබා දෙන්නේ. එහෙම වාර්තා ලබා ගත්තාට පසුවයි, අදාළ අය කිරිම් සිදු වන්නේ. මැයි 02 වැනිදා සිට ඊයේ වන තෙක් කිසිම ව්‍යාපාරිකයකු තමන් අය කළ බදු ආදායම් දේශීය ආදායම් දෙපාර්ත්මේන්තුවට බැර කරලා නැහැ. මහජනයාගෙන් එකතු කළ මේ මුදල් දුරකථන සමාගම්වල, රෝහල්වල හා වෙනත් ව්‍යාපාරික ස්ථානවල තිබෙනවා. මහජනයාගෙන් මේ ආණ්ඩුව මේ විදියට කොල්ලකාපු මුදල් ටික අඩුම ගණනේ ආණ්ඩුව ළඟවත් නොවෙයි තිබෙන්නේ, ව්‍යාපාරිකයන් රොත්තක් අතේ. ඒ සල්ලි ටිකට මොකද වෙන්නේ? ඒ සල්ලි ටික දැන් ආණ්ඩුව ආපසු අයකර ගන්නේ කොහොමද? අපි දන්නවා, මැයි 02 වැනිදා සිට වැට් බදු සඳහා ලියාපදිංචි නොවූ ආයතන පවා බදු අය කළා. මේ මගින් අයුතු ලාබයක් උපයන්න ව්‍යාපාරික පැළැන්තියකට ඉඩකඩ හදලා දීලා තිබෙනවා. මේකට වග කියන්න ඕනේ කවුද? මුදල් ඇමතිවරයා නොවෙයිද? මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාද? දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරියද? මේ කවුරුන් හෝ මේකට වගකිව යුතුයි. නීතියට පිටින් මහ දවාලේ ජනතාවගේ සල්ලි මංකොල්ල කෑවා, නමුත් අද වගකිව යුතු කෙනෙක් නැහැ. මේ අය කියනවා, ‘අපි පනතක් ගෙනල්ලා මේක ෂේප්කර ගන්නම්’ කියලා. අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ තිබෙනවා. ‘අතුරු තහනම් නියෝගයෙන් රජයේ ආදායමට දැඩි බලපෑමක් නැහැ’ කියලා. අපි කියනවා ‘දැඩි බලපෑමක් නැත්නම් වික්‍රමසිංහ මහත්තයෝ මේ බදු වැඩි කිරීම අල්ලලා දානන්කෝ’ කියලා. මේ බදු වැඩි කිරීම නතර කිරීම දැඩි බලපෑමක් නොවෙයි නම් ඇයි මේ විදියට ජනතාවගේ ‘රීරිමාංශය’ හුරා කන්න හැදුවේ?

‘මේක කමයි වියරුව’

වැට් බද්දට එරෙහිව අතුරු තහනම් නියෝගය අපි ජනතාව වෙනුවෙන් ඊයේ(11) ලබා ගත්තා. අද(12) උදේ මගේ සහෝදරයා සරත් වීරවංශ පදිංචිව සිටින පානදුරේ නිවස FCIDයේ සහ පානදුර පොලීසියේ නිලධාරීන් විසින් වට කළා. මූල්‍ය අපරාධ විමර්ශනය පිළිබඳ නීතිවිරෝධී පොලිස් කොට්ඨාසය අද(12) මගේ සහෝදරයාට යම් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා තිබුණා. ඔහුගේ කොදු ඇට පෙළේ ඇතිව තිබෙන යම් ආබාධයක් නිසා ඔහු රෝගාතුරවයි සිටින්නේ. ඔහු පත්තු බැඳීම් ඇතුළු දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබමිනුයි ඉන්නේ. ඔහු දුරකථනය මගින් ඒ බව අදාළ නිලධාරීන්ට දැනුම්වත්කර තිබුණා. ඒ අනුව එම නිලධාරීන් අද වෙනුවට ලබන බදදා පැමිණෙන ලෙස අමතර දිනයක් ලබාදී තිබුණා. ඉන් අනතුරුව ඔහු අද උදේ නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියා. එසේ FCID නිලධාරීන් විසින්ම වෙනස් දිනයක් ලබා දී තිබියදී තමයි, අද(12) පාන්දර ඒ නිවස වට කරලා මේ රෝගාතුරව, පත්තු බැඳලා එක ඉරියව්වක ඉන්න බැරි මගේ සහෝදරයාව FCIDයට රැගෙන යන්න හැදුවේ. ඔහු එසේ යෑම ප්‍රතික්ෂේප කළා. යාමට නොහැකි බව ඒත්තු ගැන්වූවා. යන්න බැරි බව ඒ නිලධාරීන්ටත් අවසානයේදී පිළිගන්න වුණා. අන්තිමේදී මේ අය යන්න ගියා. මේ නිලධාරීන්ට ඉහළින් ආපු බලපෑම නිසා ඒ දෙය නොකර බැරි වෙන්න ඇති. මේක තමයි වියරුව. මේ ආණ්ඩුව වැට් බද්දට එරෙහිව අතුරු තහනම් නියෝගය එනකොට මොනවාට හරි පටලලා නාමල් රාජපජෂ මහතා අත්අඩංගුවට ගෙන හිරේ දැම්මා. අතුරු තහනම් නියෝගය ගන්න මූලික වූ අපට ගහන්න ක්‍රමයක් නැති හින්දා වෙන්න ඇති, අද උදේ සහෝදරයාව අත්අඩංගුවට ගන්න සොයා ගෙන ගියේ. අද මේ දඩයමට තමයි ජවිපෙ ‘රතු සහෝදරවරු’ සුදුහුණු ගාන්නේ.

‘අපේ සටන තීව්‍ර වෙද්දී පවුලේ සාමාජිකයන් එකිනෙකා බිල්ලට ගන්නවා’

මහජනයා වෙනුවෙන් අප දියත් කරන සටන තීව්‍ර වෙද්දී ආණ්ඩුවෙන් FCIDයට එන බලපෑම් වැඩි වෙලා අපේ පවුල්වල සාමාජිකයන් එකිනෙකා දඩයම් කරන බව ඉතා පැහැදිලියි. කලින් බිරිඳව අත්අඩංගුවට ගෙන හිරේ දැම්මා. අද ගියා වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගන්න. මෙහෙම ගියොත් දරුවෝ, මුණුබුරන් දක්වා මේ දඩයම ව්‍යාප්ත වේවි.

අපි කියනවා සිරිසේන-වික්‍රමසිංහ ජෝඩුවේ ආණ්ඩුවට, ‘කවර මර්දනයක් ගෙන ආවත් අපි යටත් වෙන්නේ නැහැ. මේ රටත්, ජනතාවත් වෙනුවෙන් අපි අපේ වගකීම සහ යුතුකම අපේ ජීවිතයේ අන්තිම මොහොත දක්වා ඉටු කරනවා. ඒක තමුන්නාන්සේලාගේ බියගුළු, තුට්ටු දෙකේ, මර්දනකාරී ක්‍රියාදාමයන්වලින් ආපස්සට හරවන්න බැහැ’ කියලා.”

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක සහ නියෝජ්‍ය ලේකම් නීතිඥ කපිල ගමගේ යන මහත්වරු ද එක්ව සිටියහ.

– අනුරුද්ධ බණ්ඩාර

One Response to “VAT තහනමෙන් පසු හැකිනම් කර බලන්න.. අත්දුටුවයි.. ප්‍රත්‍යක්‍ෂයි.. – විමල්ගෙන් ජනපතිට උපදෙසක්”

  1. Christie Says:

    මේක සින්හලයන් නැතිකර දමන්න කරන වැඩක්. බඩු ගනගියාම වැඩියෙන්ම බල පාන්නෙ සින්හලයන්ට.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress