මහ බැංකුවේ තීරණවලට දේශපාලන බලපෑම් – මාධ්‍ය නිවේදනය – දූෂණ විරෝධී පෙරමුණ
Posted on September 8th, 2016

මහ බැංකුවේ තීරණවලට  දේශපාලන  බලපෑම් –  තෙවරක් ඉවත් කළ  ලංකා පුත්‍ර සංවර්ධන බැංකු සභාපති  ලසන්ත ගුණවර්ධන තවමත්  සේවයේ. 

සේවයෙන් ඉවත් කළ බව සඳහන් වන ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ හිටපු සභාපති ලසන්ත ගුණවර්ධන මහතා බැංකු අධීක්ෂණ ක්‍රියාවලිය විහිලුවට ලක් කරමින් තවදුරටත්  ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ කටයුතු සඳහා මැදිහත් වෙමින් සිටින බවට දූෂණ විරෝධී  පෙරමුණ චෝදනා කරයි.

මීට පෙර  අවස්ථා තුනකදී ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සේවයෙන් ඉවත් කල බවට වාර්තා පළ විය. වහාම සේවයෙන් ඉවත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  ලිඛිතව දැනුම් දී තිබුණ ද ඔහු තවදුරටත් බැංකුවේ කටයුතු සඳහා බලපෑම් කරමින් සිටියි.  මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කළ ද බැංකු පද්ධතිය තුළ තවදුරටත් දේශපාලන මාෆියාවක් ක්‍රියාත්මක වන බව මෙම සිදුවීමෙන් තවදුරටත් පැහැදිලි වන බව දූෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරයි. මෙරට බැංකු පද්ධතිය සඳහා යහ පාලන සංකල්පය ආදේශ කිරීමට වත්මන් රජය අපොහොසත් වීම කණගාටුවට කරුණක් බවද එම පෙරමුණ පෙන්වා දෙයි.

ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ ලසන්ත ගුණවර්ධන මහතා ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති වරයා වශයෙන් පිළිගනු ලබන යෝග්‍යතා සහතිකය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර නොමැති බවයි. අදාල තනතුර සම්බන්ධයෙන් මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සලකා බලන සුදුසුකම් ලසන්ත ගුණවර්ධන මහතා සපුරා නොමැති බවද හේවාවිතාරණ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. මේ අතර පසුගිය මාර්තු 23 වනදා ප්‍රකාශයට පත්කළ කෝප් කමිටු වාර්තාව මඟින්ද ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතා මැදිහත්වූ අක්‍රමිකතා කිහිපයක් පිළිබඳව හෙළිදරව් කර තිබේ.ණය ලබාදීමේදී සභාපතිවරයා නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව එහි සඳහන් වෙයි.අක්‍රිය ණය අනුපාතය 39% ක තරම් ඉහළ අගයක පැවතියද  එය වෙනස් කිරීමට සභාපතිවරයා කටයුතු කර නොමැති බවටත් කෝප් වාර්තාව මඟින් අණාවරණ කර තිබේ. ගණුදෙනුකරුවන්ට ණය ලබාදීමේදී සභාපතිවරයාට අවශ්‍ය පරිදි පොලී අනුපාත තීරණය කර ඇති බවටද කෝප් වාර්තාවේ දැක්වෙයි. එමෙන්ම 2015 ජනවාරි 1 වනදා සිට 2016 මාර්තු 03 වනදා දක්වා නියමිත සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන් 64ක් බැංකුවේ සේවයට බඳවාගෙන ඇති බව එම වාර්තාවේ දැක්වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණ නොතකා දේශපාලන බලාධිකාරිය විසින් තම අභිමතය පරිදි මෙරට බැංකු පද්ධතිය මෙහෙයවීමේ  භයානක පෙරනිමිති ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ අර්බුධය තුළින් මැනවින් පැහැදිලි වෙයි.ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධික්ෂණ  දෙපාර්තමේන්තුවේ තීරණ වලට පටහැනිව  කටයුතු කිරීමෙන් ඉවත් වන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන්, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයාගෙන් ඇතුළු දේශපාලන නායකත්වයෙන් දුෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරයි.

මාධ්‍ය ඒකකය

දුෂණ විරෝධී පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress