ක්‌ලේමෝ බෝම්බ තැබූ දේශපාලන සිරකරුවෝ
Posted on September 25th, 2016

කීර්ති වර්ණකුලසූරිය23/09/2016 Divaina

හිටපු කොටි ත්‍රස්‌තයන් රැසක්‌ තවදුරටත් රැඳවුම්භාරයේ සිටි මේ ත්‍රස්‌තයන් මුදාගැනීමට උතුරු මහ ඇමැති විග්නේස්‌වරන් එක්‌සත්ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගෙන් ඉල්ලීමක්‌ කළේය.

අව් කණ්‌ණාඩි පැළඳ ගත් කොළඹ එන්.ජී.ඕ නෝනලා පිරිසක්‌ද කොළඹදී දේශපාලන සිරකරුවන් මුදාහරින ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්‌ පවත්වනු ලැබීය.

එහෙත් මේ අපූරු අහිංසක දේශපාලන සිරකරුවෝ කවුරුන්ද?

බස්‌රථ වලට සහ දුම්රිය පාලම්වල ක්‌ලේමෝ බෝම්බ තැබීම.

මගීන් 55 ක්‌ සමඟ ලයන්එයාර් යානාව වැනසීම.

විල්පත්තුවේදී හමුදා භටපිරිසක්‌ සහ ගත්කතුවරයකු ඇතුළු පිරිසක්‌ බිම්බෝම්බ තබා ඝාතනය කිරීම.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ලකර මහත් විනාශයක්‌ කිරීම.

හමුදා කඳවුරුවලට සහ මායිම් ගම්මානවලට පහරදී ළදරුවන් ඇතුළු සිවිල් වැසියන් ඝාතනය කිරීම

මේ පසුබිම මැද එක්‌සත්ජාතීන්ගේ අතුරුදන්වූවන් සෙවීමේ කමිටුව පවසන්නේ අපරාධවලට සම්බන්ධවූවන්ට ගැලවීයාමට ඉඩනොදිය යුතුබවයි.

එසේනම් එම ඉල්ලීම බලපාන්නේ ආරක්‍ෂ හමුදා සාමාජිකයන්ට පමණද?

මේ දේශපාලන සිරකරුවන් යයි හඳුන්වනු ලැබූ හිටපු ත්‍රස්‌තයන් උපවාසයක්‌ ආරම්භ කරමින් තම නඩු යාපනය අධිකරණය වෙත මාරුකරන ලෙස ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම කර යාපනයට තම නඩුව මාරුකරගත් ආනන්ද රාජා නැමැති ත්‍රස්‌තයා සිරභාරයෙන් මිදී පලාගියේය.

තමන්ගේ එම ඉල්ලීම ඉටුනොකළහොත් මැරෙනතුරු උපවාසයක්‌ පවත්වන බව අනුරාධපුර සිරගෙදර සිටින හිටපු කොටි ත්‍රස්‌තයන් ප්‍රකාශ කර ඇත.

මේ හිටපු ත්‍රස්‌තයන් කවුරුන්ද?

දර්ශන්, සුලක්‌ෂන්, පාතියන්, රමේෂ්, සිවලිංගම්, යුරේන්, සලීම්, රාමසාම්, ජෙයකුමාර්, අරවින්දඩු, ජෙයචෙන්ද්‍රවු මෝගන්, සිවසිලන්, උම්මාර්, නගුලරාසා, මරියසිලඩු, කුරුපරන් විජයකුමාර, ජෙගන්, නිල්ලෙයිරාජා, සන්තියාගේ නමින් ඔවුහු හඳුන්වති.

මෙලෙස හිටපු ත්‍රස්‌තයන්ගේ ඉල්ලීම් රජය ඉටුකළ යුතුද? මේ පිරිස අහිංසකයන් නොවේ. සැබෑ අපරාධකරුවන්ය. එසේ නම් මොවුන් දඬුවම් නොලබා නිදහස්‌ කළ යුතුද?

කොටි සංවිධානය තම අත්අඩංගුවේ සිටි සෙබළුන් නිදහස්‌ කළේ ශ්‍රී ලංකාවේ සිරගෙවල්වල සිටි කොටි කීපදෙනෙක්‌ නිදහස්‌ කිරීමෙනි. අත්අඩංගුවේ සිටි පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම් සහ හමුදා සෙබළුන් රැසක්‌ මරා පුළුස්‌සා දැමීමේ සිද්ධියක්‌ද වාර්තා විය. එවන් කෲර පිලිවෙතක්‌ අනුගමනය කළ කොටි යුද අපරාධ වලින් ගැලවීමට තමන්ව මුදාහරිනලෙස ඉල්ලා ඇත.

එසේම තම නඩු යාපනයට මාරුකරන ලෙස කොටි ඉල්ලා ඇත්තේ යාපනය බන්ධනාගාරයෙන් පැනයාමට බවට සක්‌සුදක්‌ ලෙස පැහැදිලිය.

මේ පසුබිම මැද ත්‍රිකුණාමලයේ පැවැති කොමෝරන් ස්‌ට්‍රයික්‌ නැමැති යුද අභ්‍යාස මෙහෙයුම වාර්තා කිරීමට ගිය මාධ්‍ය පාර්ශවයන් හිටපු කොටි ත්‍රස්‌තයන්ට විෂ එන්නත් විදීමේ චෝදනාව ගැන පුනරුත්ථාපන කටයුතු භාරව සිටි මේජර් ජනරාල් සුදන්ත රණසිංහගෙන් ප්‍රශ්න කර ඇත.

එහෙත් එම චෝදනාව මේජර් ජනරාල්වරයා එකහෙලාම ප්‍රතික්‍ෂේප කර තිබේ.

කොටි ත්‍රස්‌තයකු එල්ල කල සාවද්‍ය විෂ එන්නත් චෝදනාව ගැන විමසන මාධ්‍ය පාර්ශව කොටි සිදුකළ යුද අපරාධ ගැන නිහඬව සිටී.

මේ අතර ත්‍රස්‌තවාදී පණත යටතේ රැඳවුම් භාරයේ සිටින ත්‍රස්‌තයන් පිරිසකගේ දඬුවම් ලිහිල් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

එලෙස දඬුවම් ලිහිල් වුවහොත් විපතට පත්වූවන්ට යුක්‌තිය ඉටුවේද?

මේ අතර රජය සංහිඳියා යාන්ත්‍රණය දියත් කිරීමට සැළසුම් කර ඇත.

එහෙත් ඊ.ඩී.ආර්.එල්.එස්‌. සංවිධානය ප්‍රමුඛ ද්‍රවිඩ පක්‍ෂ මෙම 24 වැනිදා යාපනයේදී උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට සැලසුම්කර තිබේ. ඒ උතුරේ සිංහලයන් පදිංචි කිරීමෙන් වලකින ලෙසය. බුද්ධ ප්‍රතිමා ස්‌ථානගත කිරීම නතර කරන ලෙස ඉල්ලීමෙනි. මේ සංහිඳියාවද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress