ඒඩ්ස් සම්බන්ධව වෛද්‍යවරුන් ගේ හෙදියන් ගේ ආකල්ප
Posted on October 9th, 2016

 වෛද් රුවන් එම් ජයතුංග 

1993 දී අපට අධිකරණ වෛද්‍ය පුහුණුවක් තිබුණා කොලඹ ෆ්‍රැන්සිස් පාරේ මෘතශරීරාගාරේ. එහිදී අපට මිනී කැපීමටත් සිදු වුණා. වරක් පුද්ගලික බස් රථයක ගැටී මිය ගිය තරුණියකගේ මළ සිරුරක් ගෙනාවා. මමත් තව වෛද්‍යවරු දෙදෙනෙකුත් එම මිනිය කපමින් සිටින විට එක් ජේෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් පැමින සරදමට මෙන් “පරිස්සමෙන් මිනිය කපන්න මේ තරුණිය ගාමන්ට් කෙල්ලෙක් ඒඩ්ස් තියනවාද දන්නේ නෑ ” කියලා කිව්වා. ඇය ද්‍රවිඩ කාන්තාවක්. ඒවගේම ඒ කාලයේ ළමයෙකු ලැබීමටත් සිටියා. මේ වචන ඇය කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඇයගේ ජාතිය මෙතනට අදාල නෑ. නමුත් ඇය දිස්ත්‍රික් කෝටාව මත පිටිසර ප්‍රදේශයකින් වෛද්‍ය විදුහලට ආ තැනැත්තියකුත් නොවේ. ඇය කතා කල ඉංග්‍රීසි අනුව ඇය කොලඹ ප්‍රදේශයේ උසස් පාසලක ඉගෙනුම ලැබූ අයෙකු බව මට තේරුණා. නමුත් මට අද වන තෙක් නොතේරෙන්නේ මළ මිනියකට එවැනි අපහාසාත්මක සරදම් විහිළුවක් පොශ් සමාජයකින් ආ තරුණ වෛද්‍යවරියකට කල හැකිද යන්න. එසේම ඒ කාලේ ඒඩ්ස් ගැන වෛද්‍යවරුන් අතර තිබූ අවිචාරක හැඟීමද මේ කතාවෙන් හෙලි වෙනවා.

ruwan09101601

තවත් වරක් 1998 දී පමණ මම මීගමුව රෝහලේදී තරුණ කාන්තාවක් සිසේරියන් සැත්කමකට ලක් කරන්න සූදානම් වූවා. ඒ වෙන කොට ඇයව සිහි නැති කරලයි තිබුනේ. මම සැත්කමට පෙර ග්ලවුස් දාන විට තරුණ හෙදියක් මට කිව්වා ඩොක්ටර් ඩබල් ගල්වුස් දාන්න මෙයා ගාමන්ට් කෙල්ලෙක් ඒඩ්ස් තියනවාද දන්නේ නෑ කියලා. ඒකත් කියන්නේ විහිළුවට වගේ. මේ හෙදිය කිරිමැටියාන ප්‍රදේශයෙන් පැමිනි තැනැත්තියක්. ඇයගේ පියා වඩුවෙක්. ඒත් එම කතාවෙන් පසුව මට හිතුනා කාන්තාවකට  තවත් කාන්තාවක් ගැන මෙසේ සහාසික ප්‍රකාශයක් කල හැකිද කියා. එසේම ඒඩ්ස් ගැන පන්ති බේධයකින් තොරව වෛද්‍යවරු / හෙදියන් අතර අනිසි බයක් මෙන්ම ප්‍රාග්විනිශ්චයන් තිබෙනවා නේද කියා.

එදා මෙදා අතර තුර ඒඩ්ස් සම්බන්ධව වෛද්‍යවරුන් ගේ හෙදියන් ගේ ආකල්ප වෙනස් වී ඇතැයි මා සිතනවා.

 වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress