බැඳුම්කර සෙල්ලම මදිවාට  ‘ෆුට්‌ නෝට්‌’ ලෙල්ලමක්‌
Posted on November 5th, 2016

ශ්‍යාම් නුවන් ගනේවත්ත උපුටා ගැන්ම දිවයින

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින් ඉකුත් ඔක්‌තෝබර් මස 28 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාවේ ඇති පාද සටහන් (Foot notes) ගැන පුළුල් කතිකාවක්‌ ඇතිව තිබේ. ඒ පිළිබඳව මේ ලියුම්කරු විසින් ඉකුත් ඔක්‌තෝබර් 31 දින සහ නොවැම්බර් 03 දින දිනපතා ‘දිවයින’ට ලියන ලද ලිපි මගින්ද සාකච්ඡා කරන ලදී. ඒ අනුව අප මූලික වශයෙන්ම කියා සිටියේ එම පාද සටහන් බොහොමයක්‌ කිසිම පදනමක්‌ නැති පුහු බොල් තර්ක බවය. එසේම තවත් ඇතැම් පාද සටහන් අතේ පත්තු වන ‘ටොම් පච’ බවත් අපි කියා සිටියෙමු. ඒ අනුව එම ලිපි දෙක මගින් කෝප් වාර්තාවේ ඇති පාද සටහන් 01 සිට 10 දක්‌වා සාකච්ඡා කර ඒවා නිවැරැදි නොවන බව තහවුරු කර අවසන්ය. මේ නිසා එම පාද සටහන්වලින් හිටපු මහ බැංකු අධිපතිවරයා ‘ක්‌ලීන්’ කිරීමට ගත් උත්සාහය අසාර්ථක කිරීමට ද අපට හැකිව තිබේ. එසේම එම පාද සටහන් ගැන මාධ්‍යයට අදහස්‌ දක්‌වා තිබූ රජයේ විගණකාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ කෝප් වාර්තාවේ පාද සටහන් කිසිවකට තමාගේ අනුමැතියක්‌ නැති බවය. මේ පසුබිම තුළ මේ පාද සටහන් හේතු වී ඇත්තේ කෝප් වාර්තාව ශක්‌තිමත් කිරීමට නොව එය බාල කිරීමට බව පැහැදිලිය. අප මේ ලිපියෙන් කෝප් වාර්තාවේ පාද සටහන් 11 සිට 15 දක්‌වා සාකච්ඡා කර ඒවායේ ඇත්ත නැත්ත ද විමසා බලමු.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභා (කෝප්) වාර්තාවේ 23 වන පිටුවේ 11 වන 12 වන පාද සටහන් ඇත. මෙම පාද සටහන් ඉදිරිපත් කර ඇත්තේ කෝප් වාර්තාවේ සඳහන් වන ‘2015 පෙබරවාරි 27 දින බැඳුම්කර වෙන්දේසිය පෙ.ව. 11.00 ට අවසන් විය යුතුව තිබුණ ද ප්‍රාථමික ගනුදෙනුකරුවකුගේ ඉල්ලීම මත වෙන්දේසිය පෙ.ව. 11.05 දක්‌වා දීර්ඝ කරන ලද බව’ යන සඳහන වෙනුවෙනි. එම 11 වන පාද සටහනේ මෙසේ සඳහන්ය.

‘එලෙස පෙ.ව. 11.00 ට පසුව ලංසු තබා ඇත්තේ එක්‌ ඉල්ලුම්කරුවකු පමණක්‌ වන අතර ඒ රුපියල් මිලියන 100 ක්‌ බවත් පෙ.ව 11.04.26 ට ලංසු තබා ඇත්තේ HSBC බව පෙනේ.’

මේ පාද සටහන කරුණුමය වශයෙන් සත්‍යයකි. එහෙත් 12 වන පාද සටහනේ සඳහන් වන්නේ ‘මහ බැංකු නිලධාරීන් විසින් මෙම ප්‍රශ්නගත වෙන්දේසිය සම්බන්ධයෙන් ඊට කලින් දිනයකදී ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට දුරකථනයෙන් කතාකර රු. බිලියන 10 ක්‌ මිලදී ගැනීමට කැමැත්ත අකැමැත්ත විමසන ලද බව සාක්‍ෂිවල සටහන් වන බවයි. මෙය අසත්‍ය බව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සිරස රූපවාහිනියේ පසුගිය (2016.11.01 දින) ‘සටන’ වැඩසටහනට එක්‌වෙමින් එජාප කෝප් කමිටු සාමාජික අජිත් පී. පෙරේරාට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය. එහෙත් අජිත් පී. පෙරේරා එය සත්‍යයක්‌ බවත් එම වැඩසටහනේදී කියා සිටියේය. මේ ගැන මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වලින් අපට දැනගන්නට ලැබුණේ ද මහ බැංකු නිලධාරීන් මෙම ප්‍රශ්නගත වෙන්දේසියට කලින් දිනයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට කතාකර රු. බිලියන 10 ක්‌ මිලදී ගැනීමට කැමැත්ත අකමැත්ත විමසන ලද බවට සාක්‍ෂියක්‌ නැති බවත් ඒ නිසා එම කරුණ සාවද්‍ය බවත්ය.

කෝප් වාර්තාවේ 24 වන පිටුවේ සඳහන් වන්නේ හිටපු මහ බැංකු අධිපතිවරයා (අර්ජුන මහේන්ද්‍රන් මහතා) පෙ.ව. 12.30 ට පමණ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු සමඟ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවට පැමිණ බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධ කරුණු විමසූ බවයි. එම කෝප් වාර්තාවේ 24 වන පිටුවේම අංක 13 වන පාද සටහනින් කියන්නේ එම නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ආනන්ද සිල්වා මහතා යන දෙදෙනා බවය. එය නිවැරැදිය. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ එම පිටුවේම සඳහන් වන 14 වන පාද සටහන සම්බන්ධයෙනි. එහි මෙසේ සඳහන්ය. ‘මෙහිදී බිලියන 1 සිට බිලියන 10 දක්‌වා මුදලක්‌ සපයා ගනු ලැබූ තීරණය ඉහත සඳහන් නිලධාරීන් විසින් (එදින මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවට අදාළ ටෙන්ඩර් කමිටුව නියෝජනය කළ සාමාජිකයන්) වෘත්තියමය විනිශ්චය අනුව කණ්‌ඩායමක්‌ වශයෙන් ගනු ලැබූ තීරණයක්‌ බව තමන් පිළිගන්නා බව ටෙන්ඩර් කමිටු සභාපති පී, සමරසිරි මහතා ප්‍රකාශ කරන ලදී.’

එහෙත් සමරසිරි මහතාගේ එම ප්‍රකාශයට එරෙහිව ඒ අවස්‌ථාවේම එම ටෙන්ඩර් කමිටුව නියෝජනය කළ සෙසු නිලධාරීන් අදහස්‌ දක්‌වා ඇති බව කෝප් කමිටුව ඉදිරියේ ලබාදුන් වාචික සාක්‍ෂි සටහන් පරීක්‍ෂා කිරීමෙන් තහවුරු කරගත හැකිය. ඒ අනුව රු. බිලියන 1 සිට බිලියන 10 දක්‌වා බැඳුම්කර නිකුතුව වැඩි කිරීමට ගත් තීරණය ටෙන්ඩර් මණ්‌ඩලයේ නිලධාරීන්ගේ වෘත්තියමය විනිශ්චය අනුව ගත් තීරණයක්‌ නොව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් එසේ වැඩි කරන ලෙස ලබාදුන් උපදෙස්‌ නිසා ගත් තීරණයක්‌ බව පැහැදිලි වේ. ඒ බව තහවුරු කරමින්, ඒ අවස්‌ථාවේ සිටි රාජ්‍ය ණය අධිකාරි දීපා සෙනෙවිරත්න මහත්මිය තබන ලද සටහනක්‌ ද තිබේ. මේ සියලු සත්‍ය යටපත් කොට මේ බැඳුම්කර මගඩියට උදව් කරන බවට චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතාගේ සාක්‍ෂිය පමණක්‌ දක්‌වමින් මේ පාද සටහනින් එජාප මන්ත්‍රීවරු උත්සාහ කර ඇත්තේ අර්ජුන මහේන්ද්‍රන් ‘ක්‌ලීන්’ කිරීමටය. අප නම් කියන්නේ මෙය ‘ඩර්ටි’ උත්සාහයක්‌ බවය.

එම 14 වන පාද සටහනේම මහ බැංකුවේ එවකට නියෝජ්‍ය රාජ්‍ය ණය අධිකාරී ආචාර්ය ඒ. ඉසඩ් එම්. ආසිම් මහතා විසින් කරන ලදැයි සඳහන් ඇතැම් ප්‍රකාශ උපුටා දක්‌වමින් (උදා(‘ideal opportunity’) සඳහන් කර ඇත්තේ ආචාර්ය ආසිම් මහතා ප්‍රකාශ කරන ලද්දේ ද අදාළ තීරණය (රු. බිලියන 1 සිට රු. බිලියන 10 දක්‌වා බැඳුම්කර නිකුතුව වැඩි කිරීමේ තීරණය) ටෙන්ඩර් කමිටුවේ තීරණයක්‌ බවයි. මෙය ද සම්පූර්ණ අසත්‍යයකි. එනම් එම පාද සටහනේ ආචාර්ය ආසිම් මහතාගේ අදහස්‌ ලෙස දක්‌වා ඇත්තේ ඒ මහතාගේ අදහස්‌ නොව, මහ බැංකු අධිපතිවරයා (අර්ජුන මහේන්ද්‍රන්) විසින් ආසිම් මහතාට ප්‍රකාශ කරන ලද අධිපතිවරයාගේ අදහස්‌ය. ඒ අනුව එම සියලුම තීරණ (හිටපු) මහ බැංකු අධිපතිවරයාගේ තනි මතයට ගත් තීරණ බව තහවුරු වෙයි. මේ අනුව එවකට හිටපු රාජ්‍ය ණය අධිකාරි දීපා සෙනෙවිරත්න මහත්මිය ඒ බව තහවුරු කරමින් ඉංග්‍රීසියෙන් තබා ඇති සටහන ද කෝප් වාර්තාවේ 26 වන පිටුවේ සඳහන් වේ. ඒ මෙසේය.

‘Governor instructed to place price up to Rs. 10
billion taking in to consideration additional fund
requirments of the Government’

රාජ්‍ය ණය අධිකාරිවරියගේ මෙම සටහනට අදාළව එක්‌ කර ඇති 15 වන පාද සටහනේ සඳහන් වන්නේ ‘වැඩිමනත් අරමුදල්වල අවශ්‍යතාවය සඳහා’ යනුවෙනි. වැඩිමනත් අරමුදල් අවශ්‍යතාව සඳහා වුවත් (ඊට වෙනත් විකල්ප නැති බවක්‌ පාද සටහනේ සඳහන් නොවේ.) බිලියන 10 ක්‌ දක්‌වා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව වැඩිකිරීමට උපදෙස්‌ දී ඇත්තේ හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් බව කෝප් වාර්තාවේ 25 වන පිටුවේ ඇති තොරතුරු වලින් තහවුරුවේ. කෝප් වාර්තාවේ එජාප මන්ත්‍රීවරුන්ගේ ‘පාද සටහන’ ගැන ඉදිරි ලිපි මගින් අපි තවදුරටත් සාකච්ඡා කරමු.

2 Responses to “බැඳුම්කර සෙල්ලම මදිවාට  ‘ෆුට්‌ නෝට්‌’ ලෙල්ලමක්‌”

  1. S.Gonsal Says:

    There is no doubt UNP Pal Horu are getting a cut to save Maha Hora RW and hence the Kakul Notes. When two heads of states are Pal Horu, the country becomes AliBaba land, not a SInhal Buddhist land.
    ALL Pal Horus of current, past and the future shall be caught and hanged in Galle Face Green using Sharia Law if required. We can come back to Buddhism after that.

  2. plumblossom Says:

    Yes, Ranil Wickramasinghe must resign immediately. This is the honourable thing to do. The country should be run by a PM who holds the confidence of most people. This is very important. Someone else who holds the confidence of the people should be appointed the PM by President Sirisena. Besides, Arjunan Mahendran did say the PM, meaning Ranil, asked him to do it. Therefore he should resign immediately which is the honourable thing to do and let any investigations take place without any interference. In other countries, this is what happens after this type of incident. So it is not at all unique.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress