කියුබාවේ හිටපු ජනපති ෆිදෙල් කස්ත්‍රෝ මැතිතුමාගේ අභාවය නිමිත්තෙන් ශ්‍රි ලංකා කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිතුමාගේ ශෝක පණිවුඩය
Posted on December 3rd, 2016

සුසිල් ප්‍රේමජයන්ත විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය

කියුබානු සමාජවාදී විප්ලවයේ පෙර ගමන්කරුවා වූ අභාවප්‍රාප්ත ෆිදෙල් කස්ත්‍රෝ 1959 දී කියුබානු විප්ලවය අවසන් කර, එම කලාපයේ ප්‍රථම සමාජවාදී රජය බිහි කළේය. 1959 දී අගමැති ධූරයට පත් ඔහු 1976 දී ජනාධිපති ධුරයට පත්ව 2008 දී එම ධූරය රාවුල් කස්ත්‍රෝට භාර කළේය. කියුබාවේ පමණක් නොව විශේෂයෙන් ලතින් ඇමරිකානු රටවල් වල සමාජවාදී ව්‍යාපාරය සඳහාත් ලෝක සමාජවාදී ව්‍යපාරයටත් විශාල මෙහෙයක් ඉටු කළේය.

ෆිදෙල් කස්ත්‍රෝගේ නැගී ඒමත් සමඟ ශ්‍රී ලංකා හා කියුබා රාජ්‍ය සම්බන්ධතා ඇති විය. මේ අනුව 1959 ජූලි 29වන දින ඇරඹි එම මිතුරුදම 2009 වර්ෂයේ ජූලි 29 වන දිනට වසර 50ක් සපුරා තිබිණ. එම 50වන වර්ෂ පූර්ණය සැමරීම වස් ශ්‍රී ලංකාවේ රන් ජුබිලි සැමරුමක් පවත්වන ලදී.

කියුබාව රාජ්‍යයක් ලෙස පිළිගත් ලෝක ගෝලයෙහි පිහිටි පළමු රටවල් ගොන්නටද ශ්‍රී ලංකාව අයත් වේ. 20වන සියවස වනවිට කියුබාවේ හවානා කලාපවල සිට පැමිණි වෙළෙන්දන් ශ්‍රී ලංකාවේ උතුරු සහ වයඹ ප්‍රදේශවල වාසස්ථාන ගොඩනගාගත්තද, ඔවුන් මේ වනවිට දැක ගැනීමට නොලැබුණද, ඔවුන් රැගෙන ආ යම් යම් සංස්කෘතිකාංග අද ද අප අතර ක්‍රියාවට නැංවේ. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කුඩා ජන කොට්ඨාශ අදටත් කියුබාවේ වාසය කරයි.

ශ්‍රී ලංකාව සහ කියුබාව විදේශ ප්‍රතිපත්තියේදී නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන රාජ්‍ය දෙකකි. එම පිළිවෙතට අනුගතව කටයුතු කරන සමහර රාජ්‍ය අතර යම් යම් අවස්ථාවන්හිදී මතභේද ගොඩනැගුණත් ශ්‍රී ලංකාව හා කියුබාව අතර සම්බන්ධතා අද වන විටත් ඉතා සුහද මට්ටමක පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 මාර්තුවේදී ඇමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී අප මව් රටට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවට විරුද්ධ පාර්ශවයෙහි ප්‍රමුඛ ස්ථානයක් නියෝජනය කරමින් කියුබාව ඡන්දය ලබා දෙන ලදී.

දෙරටෙහි ආපදා කළමණාකරනය, කර්මාන්ත ක්ෂේත්‍රය, වෛද්‍ය ක්ෂේත්‍රය ජෛව තාක්ෂණය යන අංශයන්ගේ නිරන්තර සබඳතාවක් පවත්වාගෙන යනු ලබන අතර, දෙරටෙහිම දේශගුණයේ පවතින සමානතාව නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේද කිට්ටු සහයෝගීතාවයක් පවත්වාගෙන යනු ලබයි. පොල් කර්මාන්තය, සීනි කර්මාන්තය යන අංශයන්හි කියුබාව දක්වන ලද දායකත්වය අති මහත්ය. 1978 දී ශ්‍රී ලංකාව සහ කියුබාව විද්‍යා හා තාක්ෂණය යන අංශයේ ගිවිසුමකටද එළඹි අතර මීට සති කිහිපයකට පෙර දෙරටෙහි විද්‍යා, තාක්ෂණ පර්යේෂණ සහයෝගීතාවය සඳහා වූ අප රටට අතිශයින් ඵලදායී වන ගිවිසුමකටද මා වසින් එළඹෙන ලදී.

විටින් විට හිස ඔසවන ඩෙංගු රෝගය වැනි වසංගතයන් පාලන කිරීම සහ මර්දනය කිරීම සඳහා කියුබාව විසින් සොයා ගනු ලැබූ තාක්ෂණික ප්‍රතිකර්මයන් ඉතා අනලස්ව අප රටට ලබා දීමට ද කටයුතු කරන ලදී.

මේ සියළු සමානාත්මතාවයන් සහෝදරත්වයෙන් යුතුව ආරක්ෂා කොට ගනිමින් තව තවත් වර්ධනයකොට ගැනීමට හැකියාවක් ලැබුණේ අභාවප්‍රාප්ත ෆිදෙල් කස්ත්‍රෝ මහතා විසින් ගමන්ගත් මාර්ගය අතිශයින්ම සුහදශීලී වූ නිසාය. ඔහු ගත් මඟ තුළ අප රටටද වඩා හිතෛෂි මාර්ගෝපදේශකත්වයක් අප වෙත ලබා දී ඇත. ෆිදෙල් කස්ත්‍රෝ 1976 නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර, නොබැඳි ජාතික ව්‍යාපාරයේ පුරෝගාමී සමාජිකයකු විය. ශ්‍රී ලංකාව සමඟ නිරන්තරයෙන් සමීපව කටයුතු කළ එතුමා ජත්‍යන්තර සමුළුවලදී ශ්‍රී ලංකාවට සහය වීමට ඉදිරිපත් විය. ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍ර සංගමය හා එහි සමාජික මන්ත්‍රිවරුන් වෙනුවෙන්  කියුබානු හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරන අතර, එතුමාගේ අභාවය ලෝක සමාජවාදී ව්‍යාපාරයටත් ශ්‍රී ලංකාවටත් පිරිමැසිය නොහැකි පාඩුවක් බව සඳහන් කරමි.

මෙයට,

සුසිල් ප්‍රේමජයන්ත විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය

 ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු

මිත්‍ර සංගමයේ සභාපති 

(කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝ මැතිතුමාගේ අභාවය පිළිබදව කියුබානු තානාපති නිල නිවසේදී ශෝක ප්‍රකාශයට අත්සන් තැබු අයුරු ඡායාරුපයෙන් දැක්වේ )

R&D Media

Ministry of Science,Technology & Research

One Response to “කියුබාවේ හිටපු ජනපති ෆිදෙල් කස්ත්‍රෝ මැතිතුමාගේ අභාවය නිමිත්තෙන් ශ්‍රි ලංකා කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිතුමාගේ ශෝක පණිවුඩය”

  1. plumblossom Says:

    Fidel Castro was a great revolutionary. May he rest in peace.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress