වෛද්‍ය රුවන් එම් ජයතුංග
සීලදාස මහත්මිය මහ රෝහලේ මේට්‍රන්වරියක ලෙස සේවය කළාය. ඇය අපගේ පවුලේ හිතවතියක වූ අතර මම ඇයව දන්නා කාලයේ ඇය සිටියේ විශ්‍රාමිකවය. සීලදාස මහත්මිය සේවය කලේ වෛද්‍ය ආර් එල් ස්පිට්ල් යුගයේය. ඇය වෛද්‍ය ආර් එල් ස්පිට්ල් ගේ හෙදියකද වී සිටියාය. එම නිසා මම සීලදාස මහත්මිය ගෙන් වෛද්‍ය ආර් එල් ස්පිට්ල් ගැන ඇසුවෙමි.
ඒ කාලයේ මම සිටියේ අට වසරේදීය. ආර් එල් ස්පිට්ල් ගේ සුදු ගෝනා, සුදු වැද්දා යන පොත් කියවා සිටි මම සීලදාස මහත්මිය ඔහු ගැන කියන කතා වලට ආශාවෙන් සවන් දුන්නෙමි.
සීලදාස මහත්මිය කියූ ආකාරයට වෛද්‍ය ආර් එල් ස්පිට්ල් දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි. එහෙත් තද නීති කාරයෙකි. වරක් කම්කරුවෙක් ශල්‍යාගාර පොළව නිසි අයුරින් මැද නොතිබීම නිසා ඔහු එම කම්කරුවාගේ කන හරහා පහරක් දී තිබේ. මේ පහර නිසා කම්කරුවාගේ කන් අඩිය පැලුනි. තරහ ගිය මුත් ඒ හා සැනින් කෝපය නිවී යන වෛද්‍ය ස්පිට්ල් කම්කරුවාගේ කන පරික්‍ෂා කොට බෙහෙත් කලේය. පසුව වෛද්‍ය ස්පිට්ල් ගේ මරණය තෙක් මෙම කන් අඩිය පැළුනු කම්කරුවාට හානිපූරණ දීමනාවක් ඔහු ගෙව්වේය. මෙම ගෙවීම කලේ කිසිදු නෛතික නියෝගයක් අනුව නොව හුදු වරදකාරිත්වය මතය.
වෛද්‍ය ආර් එල් ස්පිට්ල් ගේ අතේ ඇනුනු එන්නත් කටුවක් නිසා අත ආසාදනය වී ඔහුගේ එක් අතක් හරි හැටි වැඩ කලේ නැත. එහෙත් මේ ආබාධිත තත්වය සමග වූවද ඔහු හොඳින් ශල්‍යකර්ම කලේය.
ස්වභාව ධර්මයට ඇළුම් කල වෛද්‍ය ස්පිට්ල් වැද්දන් හමු වීම සඳහා නිවාඩු දමා යාමට පුරුදුව සිටි බවද සීලදාස මහත්මිය පැවසුවාය. එහෙත් වෛද්‍ය ස්පිට්ල් ගේ සැවේජ් සැන්ච්චුවරි කෘතිය කියවා තිබේදැයි සීලදාස මහත්මිය ගෙන් ඇසීමට මට අමතක විය. වෛද්‍ය ස්පිට්ල් ගේ සැවේජ් සැන්ච්චුවරි හෙවත් මැකී ගිය දඩමං සහ වන සරණ මම ආශාවෙන් කියවන ලද පොත් වේ. එම පොත් කියවන විට අපට මෙම අපූරු මිනිසාගේ ආධ්‍යාත්මය ස්පර්ශ කල හැකිය.
වෛද්‍ය ආර් එල් ස්පිට්ල් ගේ හෙදියක වී සිටි සීලදාස මහත්මිය අසූව දශකයේ අග භාගයේ මිය ගියාය. මිය යන විට වයස අවුරුදු අසූ පහද ඇය පසු කොට තිබුනාය. වරක් කොලඹ කනත්තේදී අහඹු ලෙස සීලදාස මහත්මියගේ සොහොන් කොත මගේ නෙත ගැටුනි. සීලදාස මහත්මියගේ සොහොන අසල ඇයගේ පුතා වූ මංගල කුමාර සීලදාස ගේ සොහොනද විය.
සීලදාස මහත්මිය යනු විශේෂිත යුගයකට අයත් වූ හෙදියකි. ඇය පුහුණුව ලබන්නේ බ්‍රිතාන්‍ය හෙදියන් යටතේය. ඔවුන් වැඩ කලේ ඉංග්‍රීසි භාෂාවෙනි. වෘත්තීය අභිමානය මෙන්ම වෘත්තීය ගරුත්වය තිබූ ඇය තමා වෛද්‍ය ආර් එල් ස්පිට්ල් ගේ හෙදියකද වී සිටි බව කීවේ ආඩම්බරයෙනි.