ජනපතිට රණවිරුවන්ගෙන් ලිපියක්‌
Posted on January 6th, 2017

රියර් අද්මිරාල්  සරත් වීරසේකර

නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට පිඹුරුපත් සැකසෙමින් තිබෙන තීරණාත්මක අවස්‌ථාවක රණවිරුවන් වශයෙන් ඉතා වැදගත් යෑයි සිතෙන කරුණු කිහිපයක්‌ ඔබතුමාගේ අවධානයට යොමු කිරීමට සිතුවෙමු. රණවිරුවා යන ගෞරවනීය නාමය ලැබුණේ ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය විජයග්‍රහණය කොට සමස්‌ත ශ්‍රී ලංකා වාසී ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ නිදහස ලබාදුන් බැවිනි.

ඒ වෙනුවෙන් රණවිරුවන් විසිදහසක්‌ (20000) දිවි පිදූ අතර තවත් 14000 පූර්ණ අබාධිත තත්ත්වයට පත්ව සිටිති. අන් අය යුද්ධ කොට නොමැරී ජීවත් වන පිරිස වෙති. ඔවුන් සියලු දෙනාම ඒසා විශාල කැපවීමක්‌ කළේ එකීය රටක්‌ ස්‌ථාපිත කිරීමටය. රට බෙදෙනු වැළැක්‌වීමටය. ජනතාවට මරණ බියෙන් තොරව ජිවත් වීමටය.

එහෙත් මේසා විශාල කැපවීමක්‌ කළ රණවිරුවා අද පත්ව ඇති තත්ත්වය කුමක්‌ද? ඔහු විසින් ආරක්‍ෂා කළ රටට අද සිදුවෙමින් පවතින්නේ කුමක්‌ද?

රටේ ජනාධිපතිවරයා මෙන්ම ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා වශයෙන් රණවිරුවාගේ හද ගැස්‌ම ඔබතුමා විසින් දැනගත යුතු බව විශ්වාස කරමු. එහෙත් සිදුවෙමින් තිබෙන්නේ මොනවාද?

රටක ජාතික ආරක්‍ෂාවේ කොඳුනාරටිය වනුයේ බුද්ධි අංශයයි. ත්‍රස්‌තවාදී සමයේ බුද්ධි අංශ නිලධාරින් තොරතුරු රැස්‌ කළේ කොටි අඩවියට වෙස්‌වලාගෙන ගොසින්ය. එය ජීවිතයත් මරණයත් අතර ක්‍රීඩාවක්‌ විය. එවන් මෙහෙයුම්වල නිරතව සිටියදී කොටි ත්‍රස්‌තයින්ට හසුවූ බුද්ධි අංශ රණවිරුවන්ගේ ඉරණම වූයේ කෲර වධ හිංසාවලට ලක්‌ව ඝාතනයට ලක්‌ වීමය.

සිදුකරන එවන් කැප කිරීම් නිසාම පිටරටවල හමුදාවල බුද්ධි අංශ සාමාජිකයන්ට ඔවුන් සලකන්නේ දැඩි ගෞරවයකිනි. කිසිවිටකත් ඔවුන්ගේ නම් පවා හෙළි කෙරෙන්නේ නැත. මන්ද ඒවා රහස්‍ය තොරතුරු ඝනයට වැටෙන හෙයිනි.

එහෙත් වර්තමාන රජය බලයට පැමිණි විගස කළේ කුමක්‌ද? රටට ඉතා වටිනා සේවයක්‌ කළ බුද්ධි අංශ නිලධාරින් රැසක්‌ සිරභාරයට ගැනීමය. ඔවුන්ගේ නම් ගම් පමණක්‌ නොව මුහුණු පවා රූපවාහිනී නාලිකා ඔස්‌සේ මුළු රටටම දැක ගැනීමට ඉඩලබා දීමය.

ඔවුන්ව සිරගත කළේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේය. ත්‍රස්‌තවාදීන්ට දඬුවම් කිරීමට පැනවූ නීතිය යටතේම ත්‍රස්‌තවාදය පරාජය කිරීමට කැපවූ රණවිරුවන්ද සිරභාරයට ගැනීම තරම් ගුණමකු ක්‍රියාවක්‌ තවත් වේද?

ඔවුන්ට එරෙහිව තිබෙන චෝදනාව වන්නේ ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනය කිරීම යන්නය. එහෙත් එක්‌නැලිගොඩගේ මිනිය මෙතෙක්‌ හමුවී නොමැත. එක්‌නැලිගොඩ මැරුණාද,ජීවත්ව සිටීද යන්න දන්නා කෙනෙක්‌ද නැත. මැරිලා නම් මරණ අයුරු දුටු කෙනෙක්‌ද නැත.

මෙවන් වූ ඉතාම දුර්වල චෝදනාවක්‌ යටතේ එකී බුද්ධි අංශ නිලධාරින් සිරභාරයට ගෙන වසරකටත් අධික කාලයක්‌ සිරගතකර තබාගන්නා විට සහ තවදුරටත් නීතිය ඉදිරියේ චූදිතයන් කරනවිට තෘප්තියට පත්වන්නේ කවුද? කොටි හිතවාදී බෙදුම්වාදී දෙමළ ඩයස්‌පෝරාව සහ දද්‍රවිඩ සන්ධානයේ පුද්ගලයන් පමණය. එය රණවිරුවා නින්දිත ලෙස පාවා දීමක්‌ නොවේද?

ගෙවී ගිය කාලය තුළ එම බුද්ධි නිලධාරින්ව වරින් වර අධිකරණය වෙත ගෙන එනු ලැබීය. ලොව අන් කිසිදු රටක්‌ තමන්ගේ රටේ රණවිරුවන් විශේෂයෙන් බුද්ධි නිලධාරීන්a මෙසේ විවෘත අධිකරණය වෙත ගෙන එන්නේම නැත. ඔවුන් මෙහෙයුම් සමයේ කරන ලද ඉතා රහසිගත මෙහෙයුම් පිළිබඳ තොරතුරු විවෘත අධිකරණයේදී ලබාදීමට බලකරන්නේද නැත.

එසේම රණවිරුවන් අතින් මැරුම් කෑ ත්‍රස්‌තවාදීන්ගේ පවුල්වලට වන්දි ගෙවන ලෙසට අණකෙරෙන්නේද නැත. නමුත් අපේ රටේ ඒ සියලු දේ සිදුවිය.

එසේම මේ වන විට අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත පාර්ලිමේන්තුවේදී සභා සම්මත වී අවසන්ව ඇත. එය සම්මත වූ අකාරය අපි රූපවාහිනී නාලිකා තුළින් සහ පුවත්පත් මගින් දුටුවෙමු. එම පනතට පක්‍ෂව පාර්ලිමේන්තුවේදි ඡන්ද කොපමණ ලැබුණේදැයි කවුරුවත් දන්නේ නැත. ඒ එය සඳහා ඡන්දයක්‌ නොතිබූ නිසාය. එලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස සම්මත කර ගත් මෙම ඊනියා පනත මගින් කෙරෙනුයේ කුමක්‌ද?

යුද්ධය ජයග්‍රහණය කළ යුද සහ දේශපාලන නායකත්වය ඉතාම සාවධ්‍ය චෝදනා මත ජාත්‍යන්තර අධිකරණයකට ගෙන යැමට මංපෙත් විවර කර දීමය.

මේ මව්බිම එකීය රටක්‌ ලෙස රැකගැනීමට වසර 2550 ක්‌ තිස්‌සේ අපේ රජවරු සහ මුතුන් මිත්තන් දිවි පිදූ අන්දම ඉතිහාසයේ ලියෑවි ඇත. එසේම අපේ රණවිරුවන් මේසා විශාල කැපකිරීම් කරනු ලැබුවේ එසේ මුතුන්මිත්තන් ආරක්‍ෂා කළ රටේ ඒකීයභාවය රැක ගැනීමටය.

එසේ ආරක්‍ෂා කළ රට අද නව ව්‍යවස්‌ථාවක්‌ මුවාවෙන් බෙදී වෙන්වී යන්නේ නම් එය කෙසේ හෝ වැළකිය යුතුමය.

වර්තමාන රජය විසින් රණවිරුවා පාවා දුන් තවත් අවස්‌ථාවක්‌ වනුයේ රණවිරුවා අගයන විජයග්‍රහණයේ පෙළපාලිය අවලංගුකොට මියගිය ත්‍රස්‌තවාදීන් උත්සවාකාරයෙන් සැමරීමට අවස්‌ථාව ලබා දීමය. එමගින් අද මිය ගිය ත්‍රස්‌තවාදියා දෙමළ ජනතාවගේ විමුක්‌තිකාමියා බවට පරිවර්තනය කර අවසන්ය.

මෙය රට වෙනුවෙන් දිවි කැප කළ රණවිරුවාට පමණක්‌ නොව ත්‍රස්‌තවාදීන් අතින් ඝාතනයට ලක්‌ වූ ත්‍රස්‌ත ප්‍රහාරවලින් ආබාධිත වූ සමස්‌ත සිවිල් ජනතාවටද කරන ලද මහත්ම වූ අවමානයකි. කොටි නායකයාගේ ඡායාරූප සහ ධජ ඔසවමින් යාපනය පුරා පවත්වන ලද එම උත්සවය සමස්‌ත ජාතියම නින්දාවට පත් කිරීමකි.

ලොව අන් කිසිදු රටක්‌ මෙසේ කරන්නේ නැත. එහෙයින් මේ පිළිබඳ අවධානය යොමු කොට මෙවන් සැමරුම් උත්සව තහනම් කිරීමට ඔබතුමා පියවර ගත යුතුය.

අපේ රණවිරුවන් දිවි පිදුවේ මේ රටේ ජාතික ආරක්‍ෂාවද තහවුරු කරමිනි. නමුත් අද මුදල සහ තාක්‍ෂණ සුදුසුකම් මත ලොව කිසිදු රටක්‌ නොකරන අන්දමින් ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට රජය පිවර ගෙන ඇත. ඉන් රණවිරුවා ආරක්‍ෂා කර දුන් ජාතික ආරක්‍ෂාවට තර්ජන එල්ල වෙමින් තිබේ.

එමගින් ත්‍රස්‌තවාදයට Rජුව සහ වක්‍රව සහාය දුන් දෙමළ බෙදුම්වාදීන් දහස්‌ ගණනකට මේ රටේ පුරවැසිකම හිමිව ඇත. දැනටත් කොටි සංවිධානයේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 300 ක්‌ පමණ වන බව “ජෙනිස්‌ ඩිෙµන්ස්‌ වීක්‌ලි” නමැති සඟරාව සඳහන් කරයි. මේ රටේ පුරවැසිකම ලබා ගන්නා ඉහත පුද්ගලයන් ඒ මුදල්වලින් රටේ වටිනා සම්පත් සහ ව්‍යාපාර මිලට ගනිමින් සිටියි. රණවිරුවන් මුදාගත් රට ක්‍රමක්‍රමයෙන් බෙදුම්වාදීන්ගේ ග්‍රහණයට හසුවෙමින් ඇත.

මේ අන්දමින් අද දිගින් දිගටම සිදු වෙමින් තිබෙන්නේ රට බේරාගත් රණවිරුවා අවමානයට සහ හෑල්ලුවට ලක්‌ කරන දේය. සේනා විධායක ලෙස සන්නද්ධ හමුදා සියල්ලම පවතින්නේ ඔබතුමා යටතේය. එහෙයින් රණවිරුවාට එල්ල වී ඇති තර්ජන ඉවත් කර ඔහුව හෑල්ලුවට සහ උපහාසයට, අවමානයට ලක්‌වන තත්ත්වයන් හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඔබතුමා පියවර ගන්නේ නම් අපට රණවිරුවන් ලෙස අභිමානයෙන් යුතුව ජිවත්විය හැකි වනු ඇත.

රියර් අද්මිරාල්
සරත් වීරසේකර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress