අධිකරණ අපහාස කිරීම මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය දැඩිව හෙළාදකිමු!
Posted on June 16th, 2026

නීතිඥ අතුල ද සිල්වා සම කැඳවුම්කරු රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රධාන විධායක නිලධාරි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන පක්ෂ නායකයින් හා දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට භාධා කිරීම ෆ්‍රී ලෝයර්ස් සංවිධානය දැඩිව හෙළාදකී.  ඉතිහාසයේ පක්ෂ නායකයින් පස් දෙනෙකුට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එකම නඩුවකදී මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමේ සිදුවීම් අති දුර්ලභය. එය පැහැදිලිවම මර්ධන උත්සාහයකි.

2024 අංක 8 දරණ අධිකරණයට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ පොලීසියට, ස්වාධීන අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට හෝ පවත්වාගෙන යාමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැත. එසේ තිබිය දී, දේශපාලනඥයින් නිහඬ කිරීමට පොලිස් බලය යොදාගැනීම ශිෂ්ඨ සමාජය සිදු නොවිය යුතු තත්වයකි.

පොලිස් රාජ්‍යයක පෙර මග සලකුණු!

පාලක පක්ෂය බලයට පත් කිරීම සඳහා ක්‍රියාකාරීව දායක වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොණු කර ඇති දිවුරුම් පෙත්සමක් මගින් පිළිගෙන ඇති විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගෙන, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත් කොට ඇත. එපමණක් නොව අතීතයට බලපාන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරන ලදී. එවැනි දේශපාලනික සහ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් රජය විවේචනය කරන සෑම තරාතිරමකම පුද්ගලයින් අපහසුතාවය පත් කොට මෙල්ල කර ගැනීම සඳහා රජය විවිධ උපක්‍රමය යොදාගනිමින් ඇත.

අදහස් ප්‍රකාශ කිරීමේ හා භාෂණයේ නිදහස  ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (a) කොටස මඟින් සහතික කර ඇත්තකි. දේශපාලන පක්ෂ නායකයින් හා ක්‍රියාකාරීන් දේශපාලන අදහස් ප්‍රකාශ කිරිම වැලැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් නැත.  10 වැනි ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති සිතීමේ, විමසීමේ සහ හෘද සාක්ෂියේ නිදහස දේශපාලනීකරණය වූ පොලිස් සේවයේ පක්ෂග්‍රාහී ක්‍රියාකාරකම් මගින් විනාශ කළ නොහැකිය.  

දේශපාලන පක්ෂ නායකයින්, ක්‍රියාකාරීන්ගේ නිදහස් අදහස් දැක්වීම් වැලැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුව දරණ උත්සාහය පරාජය කළ යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය දැඩීව අවධාරණය කරයි.

නීතිඥ අතුල ද සිල්වා                                          රජිත් කීර්ති තෙන්නකෝන්

සම කැඳවුම්කරු                                                ප්‍රධාන විධායක නිලධාරි

ෆ්‍රී ලෝයර්ස් සංවිධානය  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress