රණවිරු දීමනා කපා දැමුවේ පලිගැනීමට ද?
Posted on March 12th, 2017

සමන් ගමගේ උපුටා ගැන්ම දිවයින

වත්මන් ආණ්‌ඩුව සහ ඒ ආණ්‌ඩුවේ නිලධාරීන් සිතාමතාම මේ රටේ විමුක්‌තිය උදෙසා ජීවිත පූජා කළ සහ රට වෙනුවෙන් සටනට ගොස්‌ ආබාධිත වූ සහ අනෙකුත් සමස්‌ත රණවිරු ප්‍රජාවෙන්ම පලිගනිමින් සිටින්නේයෑයි යන්න දැන් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

අප එසේ කියන්නේ කට කසනවාට නම් නොවේ. වත්මන් යහපාලනය තුළ සිදු වෙමින් තිබෙන දේ හමුවේය. ජනාධිපතිවරයා රණවිරුවන් සුරකින්නේ යෑයි කියද්දී අපේ පොලිසිය නොහොත් සීඅයිඩීය රණවිරුවන් අත්අඩංගුවට ගෙන විවිධ චෝදනා නගමින් සිරගත කිරීමට අපමණ වෙහෙසක්‌ දරන්නේය.

එහිදීත් බොහෝ විට දඩයම් කෙරෙන්නේ ප්‍රභාකරන් වැනසූ ඉකුත් සටනේදී බොහෝ කැපවීමෙන් කටයුතු කළ බුද්ධි අංශ නිලධාරීහු වන්නාහ. පසුගිය කාලයේ සීඅයිඩීය අත්අඩංගුවට ගැනීමෙන් පසු සිරගත කෙරුණු බුද්ධි අංශ නිලධාරීන් සහ මේ මොහොතේත් අත්අඩංගුවේ පසුවන නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳ විමර්ශනාත්මකව බැලීමේදී එය පැහැදිලිවම තහවුරු වන්නකි.

ඒ සඳහන් කෙරුණේ විරෝදාර රණවිරුවන්ගෙන් අද මෘග ලෙස පලිගැනීම සිදු කෙරෙන ආකාරය ය. ඒ පසුපස සිටින්නේ එන්ජීඕ නඩ සහ විදේශීය කුමන්ත්‍රණකරුවෝ බව ඉකුත් දිනෙක යහපාලනය ගෙනඑන්නට බොහෝ සේ වෙහෙසුන අතුරලියේ රතන හිමියෝම පැවසූහ.

පොලිසියේ කෙරුවාව එසේ වෙද්දී දැන් තවත් පැත්තකින්ද අපූරු වැඩක්‌ සිදුව ඇත. එල්ටීටීඊය අවසානය සටහන් වූ ඉකුත් 2009 වසරේ මැයි මස 19 වැනිදායින් පසු රැස්‌වූ පළමු පාර්ලිමේන්තුවේදී රට රැක ගත් සමස්‌ත රණවිරුවන් දිවි ඇති තෙක්‌ සුරකින්නෙමියි යන්න හැන්සාඩ්ගත කිරීමට කටයුතු කෙරිණි.

එහෙත් එවන් රටක ඇති විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ලොකු පුටුව දරන අධ්‍යක්‍ෂ ජනරාලවරයා විසින් අද තමන්ගේ ජීවිත සුරක්‍ෂිත කරන්නැයි ඉල්ලා ආබාධිත රණවිරුවන් විදී බසිද්දී මෙතෙක්‌ එකී ආබාධිත රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දැවරු ඇතුළු පවුල්වලට ගෙවන ලද සියලු අතුරු දීමනා මේ මස සිටි කපා දැමීමට පියවර ගෙන තිබීම ඒ අපූරු කටයුත්ත ය.

වසර දොළහට අඩු සේවා කාලයක්‌ තුළ වෛද්‍ය හේතූන් මත ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගැන්වූ ආබාධිත රණවිරුවන් ඉකුත් දිනවල සේවා විශ්‍රාම වැටුප ඉල්ලා වීදබට අවස්‌ථාවේ ජනාධිපතිවරයා කීවේ ඔවුනට දිවි ඇති තෙක්‌ සම්පූර්ණ වැටුප ගෙවන බවය.

එය කෙසේ වෙතත් පසුව ඔවුන් ඉල්ලූ සේවා විශ්‍රාම වැටුප ලබා දෙන්නට කටුයුතු කෙරුණු අතර එහිදීත් බොහෝ ගැටලු නිර්මාණය වී තිබිණ. පසුව මෙසේ ලබා දෙන ලද සේවා විශ්‍රාම වැටුප නිල වශයෙන් ප්‍රදානය කිරීම යෑයි සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක්‌ද පැවැත්විණ. සියල්ල සිදුවූයේ ඉහත කී ආබාධිත රණවිරුවන්ගේ ගැටලුව නිසි ලෙස විසඳී නොතිබියදීය.

ඒ හේතුවෙන් ඔවුහු යළිත් පාරට බැස උද්ඝෝෂණද කරන්නට වූහ. කතාව එතන තිබියදී දැන් විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කර ඇත්තේ පනස්‌ දහසක්‌ පමණ වන ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් මෙතෙක්‌ ගෙවන ලද වැටුපට අදාළව තිබූ අතුරු දීමනා සහ අයවැය දීමනා ආදී වශයෙන් වූ සියලු දීමනා කපා දැමීමට පියවර ගැනීමය.

රණවිරුවා තමන්ට ප්‍රශ්න ඇතැයි කියමින් ආණ්‌ඩුවට දුක කියද්දී විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එසේ කටයුතු කෙරුවේ කාගේ වුවමණාවටද? මේ අන්දමට මෙතෙක්‌ ඉහතකී රණවිරු ප්‍රජාව ලද දීමනාවන් කපා දැමීම පසුපස සිටිනුයේ කවරෙක්‌ද?

ඒ පසු පස මොකා සිටියත් මෙහිදී අපට කියන්නට එක්‌ කතාවක්‌ ඇත. අද ආබාධිතව සිටින රණවිරුවාගේ අත්පා සහ අනෙකුත් ශරීරාංග ඔවුනට අහිමි කරනු ලැබුවේත් මියගිය රණවිරුන්ගේ ජීවිත උදුරා ගත්තේත් වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. වෙනත් විදිහකට එය පැවසුවහොත් රට වෙනුවෙන් පෙරට ගිය රණවිරුවන්ගේ හිස්‌ අත්පා කපා දමා දහස්‌ ගණනක්‌ ජීවිත රටට අහිමි කර අපේම වූ මිනිසුන් පිරිසක්‌ ආබාධිතයන් ලෙස අපට ඉතිරි කෙරුවේ ප්‍රභාකරන්ය.

එදා ප්‍රභාකරන් ඒ කැපිල්ල කැපුවා සේ අද දවසේ රණවිරුවන් ඉලක්‌ක කර විශ්‍රම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාත් මේ අන්දමට රණවිරුවන්ට මෙතෙක්‌ දුන් දීමනා කපා දැමීමෙන් සිදු කර ඇත්තේ ප්‍රභාකරන්ට නොදෙවැනි වන්නා වූ කැපිල්ලක්‌ නොවන්නේද?

රාජ්‍ය චක්‍රලේඛ, ලිපි ආදිය පසෙක තබා කොන්දේසි විරහිතව රණවිරුවන් වෙනුවෙන් කටයුතු කරන්නැයි අපි ආණ්‌ඩුවට සහ ඒ ආණ්‌ඩුවේ සිටි නිලධාරීන්ට වරින් වර කීවෙමු. ඒ අප සහ රට වෙනුවෙන් පෙරට ගොස්‌ ආබාධිත වූ හා මියගිය රණවිරුවන් අමතක කරන්නට තරම් අප කාලකණ්‌ණි ජාතියක්‌ නොවිය යුතු නිසාය.

එහෙත් කොතෙක්‌ කීවද ටයිකොට්‌ අඳින ලොක්‌කන්ට සහ ඇතැම් නිල යුනිෙµdaම්කාරයන්ට මෙන්ම සුදු පිරුවට අඳින බහුතර උත්මයන්ටද එය තවමත් වැටහී නොමැත. ඇත්ත එය නොවේ නම් මේ අන්දමට පනස්‌ දහසක්‌ පමණ වන ආබාධිත රණවිරුන් මෙන්ම මියගිය රණවිරුවන්ගේ බිරින්දැවරු ඇතුළු පවුල්වල සාමාජිකයන්ට මෙතෙක්‌ ලබා දුන් මුදලින් රුපියල් තුන්තහසත් හයදහසත් අතර මුදලක්‌ හිටි හැටියේ කපා දමන්නට සිහිබුද්ධිය ඇති කිසිවකුත් තීරණය නොකරන්නේය.

ආබාධිත රණවිරුවන් සේම මියගිය රණවිරුවන්ගේ බිරින්දැවරු සියල්ල කළමනාකරණය කරගනිමින් මෙතෙක්‌ ජීවත් වූයේ එසේ ලද මුදලිනි. ඔවුහු ඉන් දරුවෝ පාසල් යෑවූහ. උසස්‌ අධ්‍යාපනයට වැය කළහ. බැංකු ණය ගෙන ගේදොර ඉදිකර ගත්හ. එසේ ගත් ණය තවමත් ගොවන්නෝද අති බහුතරයක්‌ සිටින්නාහ. එසේම නිවසේ ජලවිදුලි බිල් ආදියත් ගෙවාගෙන දෛනික ජීවිතයේ අවශ්‍යතා සපුරා ගන්නා අතරේ දරු පැටවුන් සමඟ ඔවුන් ජීවත් වූයේ මාස්‌පතා ලැබෙන එකී මුදල පිළිබඳ බොහෝ බලාපොරොත්තු තබාගෙනය.

අද රෝගීව සිටින ඇතැම් ආබාධිත රණවිරුවෝ තමන්ගේ ජීවිතය රැකගනුවස්‌ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ බෙහෙත් ආදිය ගැනීමට ඒ මුදල් වැය කළේය.

එම තත්ත්වය තුළ විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ එක පෑන් පාරකින් ඔවුන් ලද ඒ මුදලින් රුපියල් හයදහසක්‌ තරම් වූ කොටසක්‌ හිටි හැටියේ කැපී යැමෙන් වත්මන් ආර්ථික තත්ත්වය තුළ ඇතිවන අසීරුතාව කිසිවකුටත් අමුතුවෙන් කියා දිය යුතු නැත.

යථාර්ථය එය වුවද විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නම් ඒ බවක්‌ දැනී නැති සේය. ඔහුට එසේ දැනෙන්නේ නම් මේ අන්දමට ප්‍රභාකරන්ගේ කැපිල්ල වැනි කැපීමක්‌ රණවිරුවන් අරබයා සිදුවන්නේද නැත.

මේ රටේ දේශපාලනඥයන් වේදිකාවකට ගොඩ වුවහොත් ඔවුන් තරම් රණවිරුවන් සුරකින්නට වෙහෙසෙන පිරිසක්‌ තවත් නැත. බොහෝ සුරංගනා කතා වේදිකා මතදී කියෑවෙන්නේය. එහෙත් ඒ සෑම කතාවකින්ම සිදුවන්නේ තමන්ව මුරුංගා අත්තට නැග්ගවීම බව රණවිරුවෝ දැන් වටහාගෙන සිටින්නාහ.

රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරන ලද විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ 2017/01 දරන ලිපියක්‌ මගින් සිදු කර ඇති ඉහත කී රණවිරුවන්ගේ ලැබීම් කප්පාදුව දෙස බැලීමේදී පෙනී යන එක්‌ වැදගත් සිදුවීමක්‌ වන්නේ නින්දෙන් පිබිදුනාක්‌ මෙන් හිටි හැටියේම සියල්ල සිදුවී තිබෙන බවය.

විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ලිපියට සමගාමීව ඇතැම් රණවිරුවන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් කප්පාදු පිළිබඳ සඳහන් කර ඇති ලිපි දෙස බැලීමේදී එය මනාව පැහැදිලි වන්නකි. එදා පාර්ලිමේන්තුවේදී කියෑවුණු ලෙසම රාජ්‍ය සේවකයනට යම් දීමනාවක්‌ ගෙවීමේදී එය රණවිරුවන්ට ලබා දීම කාලයක සිටම සිදු විය.

ඒ බවක්‌ කිසියම් රාජ්‍ය නිලධාරියකු නොදැන සිටියේ නම් ඔහු සේවය කළේ ලංකාවේ නොව අඟහරු ලෝකයේ විය යුතුය. දිය යුතු සියල්ල මෙතෙක්‌ කලක්‌ රණවිරුවන් අරබයා ලබා දුන්නේ ඔවුනට කරනු ලබන ගෞරවයක්‌ සේ සලකාය. කැපිල්ල කෙසේ වෙතත් තව මොන දේ දුන්නත් රට වෙනුවෙන් ආබාධිත වූ රණවිරුවනට අහිමි වූ කිසිවක්‌ දෙන්නට අපට නොහැකිය. එසේම ඒ අහිමි වීම මුදලකින් මැන බලන්නටද නොහැකිය. කොතෙක්‌ දේ දුන්නත් මියගිය රණවිරුවාට යළි ජීවය දෙන්නට ද අපට නොහැකිය.

ආණ්‌ඩුවේ ඇතැම් නිලධාරීන්ගේ සහ රණවිරුවාගේ දොස්‌ දකිමින් බයිලා කියන ඇතැමුන්ගේ ටිකිරි මොලවලට ඒ බව නොවැටහෙන්නේද?

විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ කැපිල්ල එසේ වෙද්දී මේ වන විට බහුතරයක්‌ වූ රණවිරුවන්ගේ හිස මතට තවත් කැපිල්ලක හෙණගෙඩියක්‌ද පහත් වී ඇත. ඒ ඉකුත් කාලයේ රණවිරුසේවා අධිකාරිය මැදිහත් වී එක්‌තරා බැංකුවකින් සියයට පහක පොලියක්‌ මත ලබාදුන් න්‍ය මුදලක පොලිය මෙම මස පළමුවැනිදා සිට සියයට දහසය දක්‌වා ඉහළ දැමීමට පියවර ගෙන තිබීමය.

මෙහිදී ණය ලබා ගත් රණවිරුවන් ඒ බව රණවිරු සේවා අධිකාරියට දන්වා සිටියද ඔවුන්ට ලැබී ඇත්තේ කැකිල්ලේ පිළිතුරක්‌ බවද දැන ගැනීමට ඇත. එසේ දැනුම් දීමේදී එයට පිළියමක්‌ යෙදීමට නම් ණය ලබා ගත් සියලු දෙනාම ලිත විරෝධය ප්‍රකාශ කර ලිපි ලබා දියයුතු බව රණවිරු සේවා අධිකාරියේ උත්මාවියන් සඳහන් කර ඇත.

මේ ණය මුදල රණවිරුවන් අදාළ බැංකුවෙන් ලබා ගත්තේ රණවිරු සේවා අධිකාරියේ මැදිහත් වීම මත නම් මෙසේ පොලී අනුපාතය අධික ලෙස ඉහළ දැමීමේදී ඒ වෙනුවෙන් කතා කරන්නට රණවිරුසේවා අධිකාරියට නොහැකිව ඇත්තේ කුමක්‌ නිසාද? වැඩි වෙන පොලියේ කොමිස්‌ මුදලක්‌ කාගේ හෝ අතට එන නිසාද? එසේ නැතිනම් මේ දිනවල රණවිරුවන්ගේ වැඩවලට වඩා දේශපාලන වැඩ වැඩි වී තිබෙන නිසාද?

මෙසේ සිදු වන කැපිලි දෙස බැලීමේදී අපේ සිහියට එන දෙයක්‌ද ඇත. ආබාධිත රණවිරුවා වීදි බසිද්දී ඔවුන් ඉල්ලූ සේවා විශ්‍රාම වැටුප එපා වාහෙට හොදි බෙදන්නාක්‌ සේ දෙන්නට ආණ්‌ඩුව කටුයුතු කළේය. එසේම මියගිය රණවිරුවන්ගේ බිරින්දැවරුන්ට සියයට සියයක විශ්‍රාම වැටුපක්‌ ලබා දෙන බවක්‌ද දැන් කියෑවෙමින් ඇත. ඒ අතරේ ආබාධිත රණවිරුවන්ට ජීවිත කාලය පුරා වැටුප් දෙන්නේ යෑයිද කියන්නේය.

සියල්ල දෙන්නේ නම් ඉතා හොඳය. ඒත් ඒවා දෙන්නේ රණවිරුවන්ගේ සාක්‌කුවටම පොකට්‌ ගහලා නම් ඊට වඩා කුජීත වැඩක්‌ මේ තුන් ලෝකයේම නැත. අප ඒ ටික කියන්නේ ඔය කපන මහත්වරුන්ට ඇසෙන්නටය. කෙසේ වෙතත් මේ කැපිලිවලට පිළිතුරු ඉදිරියේදී ආණ්‌ඩුවට හැරෙන තැපෑලෙන් ලැබෙනු ඇතැයි කියාද නිකමට වගේ අපට සිතෙන්නේය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress