අලූත් විගණන පනතින් විගණකාධිපතිගේ බලතල විශාල ලෙස කපලා..කෝප් කමිටුවට වාර්තා දෙන්නත් බෑ..
Posted on March 19th, 2017

යසවර්ධන රුද්රිගු– Deshaya.lk

සංශෝධිත විගණන පනත මගින් විගණකාධිපති ආණ්ඩුවේ වෛරක්කාරයකු ලෙස සලකා කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබෙන නිසා තමා සංශෝධිත විගණන පනතට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටි බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පැවසුවේය.

තමාගේ නිරීක්ෂණ සඳහා එවා ඇති සංශෝධිත විගණන පනතේ අවසාන කෙටුම්පත පිළිබඳ තමා කිසිදු මතයක් ඉදිරිපත් නොකරන බව වාචිකව දැනුම් දුන්නේ යැයි ඔහු කීවේය. මුලින් කෙටුම්පත් කළ විගණන පනතට දීර්ඝ කාලයක් තිස්සේ විටින් විට සංශෝධන එක් කිරීම නිසා එය කිසිදු බලයක් නොමැති ලියැවිල්ලක් බවට පත්ව ඇතැයි ඔහු කීය. පනතේ සංශෝධන සිදුකර ඇත්තේ තවත් වෙනසක් කිරීමට ඉඩ නොලැබෙන පරිදි යැයි ඔහු සඳහන් කරයි. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් තමා සතු ස්වාධීන බලතල පවා සංශෝධන මගින් අහිමිකර ඇති බව පවසන විගණකාධිපතිවරයා තවදුරටත් අවධාරණය කරන්නේ විගණනය කිරීමෙන් පසු විගණක මතය ඉදිරිපත් කිරීමේ බලතල පවා විගණන කොමිසමට පවරා ඇති බවයි.

කෝප් කමිටු ආදී පාර්ලිමේන්තු කමිටුවලට සහය දීමේ බලය විගණකාධිපතිගේ රාජකාරියක් ලෙස මුල් පනතේ සඳහන් කර තිබුණද, සංශෝධනය කිරීමේදී එම මුළු ඡේදයම ඉවත්කර තිබීම නිසා තම මතය එම කමිටුවලට ලබාගැනීම අහිමිකර ඇති බව ඔහු පවසයි. කැඳවීමක් ලැබුණහොත් පමණක් තමාට එම කමිටුවලට පැමිණීමට හැකිවන බවද ඔහු පෙන්වා දෙයි. මෙලෙස සංශෝධනය කර තම බලතල කප්පාදුවට ලක්කර ඇත්තේ විගණකාධිපති රාජ්‍ය අංශයේ පවතින දූෂණ, වංචා සහ අවිධිමත් ක්‍රියා නිරතුරුව හෙළිකිරීම නිසා දූෂිත නිලධාරීන්ට ඒවායේ නිරතවීම අපහසුවීම නිසා යැයි ඔහු හෙළි කළේය. මෙම විගණන පනත ගැසට් මගින් ප්‍රකාශයට පත්කළද, එයට දැඩි ලෙස විරෝධතා එල්ලවීමට ඉඩ ඇති නිසා කිසිදු විටෙක එය ක්‍රියාත්මක කළ නොහැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව හෙතෙම පැවසීය.

 

One Response to “අලූත් විගණන පනතින් විගණකාධිපතිගේ බලතල විශාල ලෙස කපලා..කෝප් කමිටුවට වාර්තා දෙන්නත් බෑ..”

  1. Kumari Says:

    Rogue King Ranil has good foreign advisors who are determined in destroying the country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress