ජිනීවා යෝජනාවේ විදෙස්‌ විනිසුරුවන් ගැන ඡේදය ඉවත් කර ගැනීමට තාමත් කල් ඇති – ජී. එල්. පීරිස්‌
Posted on March 21st, 2017

අනුර බාලසූරිය උපුටා ගැන්ම දිවයින

ශ්‍රී ලංකා රජයට පිටකොන්දක්‌ සහ අවංකභාවයක්‌ තිබේ නම් ජිනීවා යෝජනාවේ විදේශ විනිසුරුවන් පිළිබඳව සඳහන් වන 6 වැනි ඡේදය ඉවත් කරගැනීමට තවමත් අවස්‌ථාව ඇතැයි හිටපු විදේශ ඇමැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා සඳහන් කළේය.

දෙවන වරටත් ඉදිරිපත් කෙරෙන අලුත් යෝජනාවට කිසිසේත් සම අනුග්‍රයක්‌ නොදක්‌වන ලෙසත්, එම යෝජනාව සංශෝධනය කරගැනීමට මෙම දින දෙක තුළ කඩිනම් වැඩ පිළිවෙළක්‌ දියත් කරන ලෙසත් හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා ශ්‍රී ලංකාව පිළිබඳ දෙවැනි යෝජනාව මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් එම යෝජනාව ලබන සිකුරාදාට පෙර සංශෝධනය කර ගැනීමට තවමත් ප්‍රමාද නැති බවත් ජී. එල්. පීරිස්‌ මහතා සඳහන් කළේය.

විදේශ විනිසුරුවන් පත්කිරීම ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සම්පූර්ණයෙන් පටහැනි නම් දැන දැනම නීතියට පටහැනි ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට ජිනීවා මානව හිමිකම් මණ්‌ඩලයට පොරොන්දු දුන්නේ කවුදැයි යන ප්‍රශ්නය පැන නගින බවත් හෙතෙම කීවේය.

මානව හිමිකම් මණ්‌ඩලය මේ සතියේදී ශ්‍රී ලංකාවට සෘජු ලෙස බලපාන ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කරන බවත් ඒ අනුව සති අන්තයට §පෙර ශ්‍රී ලංකාව පිළිබඳව අවසන් තීරණය ගන්නා බවත් පැවසූ ජී. එල්. පීරිස්‌ මහතා මේ සතියේ සම්මත කිරීමට බලාපොරොත්තු වන අලුත් යෝජනාවෙන් විදේශ විනිසුරුවන් පිළිබඳව සඳහන් වන බවත් එයටද සම අනුග්‍රහයක්‌ දැක්‌වුවහොත් ත්‍රිවිධ හමුදාවට හා රටට අහිතකර දුර්විපාක උද්ගත විය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

ජිනීවා මානව හිමිකම් මණ්‌ඩල යෝජනාවේ සඳහන් වන්නේ නිර්දේශ බවට මංගල සමරවීර විදේශ ඇමැතිවරයා කරන ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදි බවත් මෙය නිර්දේශ නොව ශ්‍රී ලංකා රජය තමන්ගේ යෝජනාවක්‌ ලෙස පිළිගත් යෝජනාවක්‌ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පුංචි බොරැල්ල ශ්‍රී විජිතාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේ ඊයේ (21දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා මේ බව පැවැසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress