නීතිය නැවීම හා කැඩීම
Posted on March 27th, 2017

නලින් ද සිල්වා

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර දෙමළ ජාතිවාදයට කප්පන් දීම සඳහා බටහිරයන් හා ඉන්දියාව, විශේෂයෙන් ම ඔවුන්ගේ ඔත්තු සේවා විසින් පිහිටුවනු ලැබූ ආණ්ඩුව රට විකිණීම හා රට බෙදීම තම ප්‍රධාන කාර්යය බවට පත් කරගෙන තිබෙනවා. ආණ්ඩුව විකිණීමට යන්නේ, දැනටමත් විකිණීමට ගිවිසුම් අත්සන් කර ඇත්තේ, උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට ඇති ඉඩම් හා දේපොළ. උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් හා දේපොළ දෙමළ ජාතිවාදී ඊළමකට ලබා දීමට ආණ්ඩුව අදහස් කරනවා ද? ඒසේ වන්නේ දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාවට ද? හම්බන්තොට ඉඩම් විකිණීම පිළිබඳ දෙමළ ජාතික සංධානයේ ස්ථාවරය කුමක් ද? සුපුරුදු පරිදි ඔවුන්ට ඒ පිළිබඳ ස්ථාවරයක් නැද්ද? සම්බන්ධන්ගේ විරුද්ධ පක්‍ෂ නායකකම උතුරු හා නැගෙනහිර පළාත්වලට පමණක් බව පැහැදිලියි.

 හම්බන්තොට වරාය විකිණීම ගැන නොයෙකුත් කතා පැතිරෙනවා. එක් වාර්තාවකට අනුව, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව, අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය අදාළ අමාත්‍යාංශයට වරාය විකිණීම ගැන ඊනියා අමාත්‍ය මණ්ඩල තීරණයක් ඇති බව දන්වා තිබෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණ ගැන හරිහැටි යමක් කීමට බැහැ. චීනය සමග ගිවිසුම අත්සන් කරලා ද නැත් ද? අගමැති ගිවිසුම අත්සන් කර ඇත්නම් එය වෙනස් කරන්නේ කෙසේ ද? වරාය ඇමති හා ජනාධිපති රටේ නැති විට ගිවිසුමක් අත්සන් කෙළේ ද? මෛත්‍රිපාල ලංකාවට පැමිණීමෙන් පසුව ඒ ගැන යමක් දැන ගැනීමට හැකි වේව ද?. සියලු දෙනා ම එකතු වී කරුණු වසන් කිරීමට ද ඉඩ තිබෙනවා. අද ආණ්ඩුවේ කෙතරම් මතභේද තිබුණත් ඔවුන් සියල්ලන් ම එකතු වී ආණ්ඩුව පවත්වා ගෙන යනවා. අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් නැතිව රනිල් ගිවිසුම අත්සන් කර ඇත්නම් කළ යුත්තේ ඔහු අගමැතිකමින් ඉවත් කිරීමයි.

 මෛත්‍රිපාලගේ කණ්ඩායමට ආණ්ඩුව දිගට ම පවත්වා ගෙන යෑමට අවශ්‍ය වෙනවා. ඒ ඔවුන් දේශපාලන වශයෙන් නන්නත්තාර වේය යන බයට. ඔවුන්ට අවශ්‍ය නම් රනිල්ගෙන් කැඩී ඒකාබද්ධ විපක්‍ෂය සමග එකතු වී අන්තර්කාලීන ආණ්ඩුවක් 2020 වන තුරු පවත්වා ගෙන යන්න පුළුවන්. ඒ සඳහා පළමුවෙන් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි. මෛත්‍රිපාලට නෛතික ව එය කළ හැකියි. ඔහුට ඇත්තේ ශක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. නෛතික බලයක් තිබූ පමණින් බොහෝ දේ කිරීමට විධායක ජනාධිපති කෙනකුට නොහැකි බවට මෛත්‍රිපාල හොඳ උදාහරණයක්. නෛතික බලය මෙන් ම දේශපාලන බලයත් තිබිය යුතුයි. මෛත්‍රිපාලට දේශපාලන බලයක් ලබා ගැනීමට ජන බලයක් නැහැ. ජනාධිපතිවරණයේ දී ඔහුට කියා ලැබුණු ඡන්ද එපමණ නැහැ. ඔහුට ලැබුණේ එ ජා ප, දෙමළ ජාතික සංධාන, මුස්ලිම් කොංග්‍රස් ඡන්ද.

 අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුත්තේ ප්‍රධාන වශයෙන් ම රට බෙදීම හා විකිණීම නැවැත්වීමට. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බලාපොරෙත්තු වන්නේ (කෙටුම්පත් කර ඇති නව ව්‍යස්ථාව ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ) ප්‍රධාන වශයෙන් ම රට බෙදීමට. එය කෙසේ කරනවා ද යන්න පැහැදිලි නැහැ. බණ්ඩාරනායක මැතිණිය උදාහරණයට ගනිමින් යැයි කියමින් ව්‍යවස්ථා මණ්ඩලයෙන් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමටත් ඉඩ තියෙනවා.

 ඒත් අද වැඩි බරක් දමන්නේ, අඩු තරමින් වැඩි බරක් දරන බව පෙන්වන්නේ, නව ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් පැවැත්වීම ගැනයි. ඇතැම් විට ව්‍යවස්ථා මණ්ඩලයෙන් නව ව්‍යවස්ථාව සම්මත කරගෙන බණ්ඩාරනායක මැතිණියටත් වඩා හොඳින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන බවක් කියමින් ජනමත විචාරණයට ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. නව ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙක බහුතරයක් ලබා ගැනීමට තිබෙන ඉඩකඩ අඩුයි. ඒනිසා ආණ්ඩුව පාර්ලිමේන්තුවට නොගොස් වෙනත් ක්‍රියා මාර්ගවලට තල්ලු වීමට ඉඩකඩ තිබෙනවා.  පඬියන් කියාවි එහෙම කරන්න බැහැ කියලා. ඒ රනිල් ක්‍රියා කරන ආකාරය නොදැන. රනිල් නීතිය ක්‍රියාත්මක කරන බව පෙන්වමින් නීතියෙන් පිට වැඩ කරනවා. ඒකාබද්ධ විපක්‍ෂයට ඔහු පරාජය කිරීමට තවමත් ක්‍රමයක් සොයා ගෙන නැහැ. රනිල් පාර්ලිමේන්තුව ගණන් ගන්නේ නැහැ. නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට රනිල් නීතියට පිටින් පාර්ලිමේන්තුවෙන් පිටතට  යෑමට හොඳට ම ඉඩ තියෙනවා.

 එවැනි කියා මාර්ගයක් ව්‍යවස්ථානුකූල නොවන නමුත් මේ ආණ්ඩුවට එවැනි ක්‍රියාමාර්ග ගැනීම අපහසු කටයුත්තක් නො වෙයි. ඒ ඒකාබද්ධ විපක්‍ෂයේ දුර්වලකම නිසායි. එහි උපදේශකයන් බලන් ඉන්නේ පාර්ලිමේන්තුවේ දී ව්‍යවස්ථාවට තුනෙන් දෙක දීම වැළැක්වීමට. ඔවුන් විකල්ප ක්‍රියා මාර්ග ගැන හිතන පාටක් නැහැ. අප ලියන දේ කියවන්නෙවත් නැහැ. ජී එල්ලාට ඩලස්ලාට අනුව අප ප්‍රබුද්ධයන්වත් අවංක අයවත් නො වෙයි. ඔවුන්ට අනුව අප ජාතිවාදීන්. ජාතික ව්‍යාපාරයේ අයත් හිතන්නේත් බොහෝ විට එසේ ම. ඔවුන් අපට ජාතිවාදීන් යැයි කියන එකක් නැහැ. එහෙත් ඔවුන් සිතන්නේ අප වංක අප්‍රබුද්ධයන් කියා. ඔවුන්ට අනුව අපට දේශපාලන දැනුමක් නැහැ.

 නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුත්තේ පවත්නා ව්‍යවස්ථාවට අනුකූලවයි. එහෙත් මේ ආණ්ඩුව තරම් නීතිය නවන ආණ්ඩුවක් තවත් නැහැ. ඇතැම් විට නීතිය නැවීමේ දී නීතිය කඩෙනවා. නීතිය ඇතැම් තැන්වල දිරලා තියෙන්නෙ. ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කිරීම ම වැරදියි. ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේ රැස්වෙනව ද පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වෙනව ද කියන එක වැදගත් නැහැ. පාර්ලිමේන්තුව තුළ ම රැස්වුණා කියලා සැනසෙන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂය මේ ව්‍යවස්ථා මණ්ඩල ක්‍රියාවලියෙන් ඉවත්විය යුතුව තිබුණා. ඒත් ඔවුන් එසේ කෙළේ නැහැ. රනිල්ගේ ගැටයට හසුවුණා.  අද කරන්න තියෙන්නෙ ජනමත විචාරණයෙන් ආණ්ඩුව පැරැද්දවීමට කටයුතු කිරීම පමණක් නොවෙයි, ජනමත විචාරණය නීත්‍යානුකූල නොවන බව පෙන්වීමයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනමත විචාරණයක් පවත්වන්නේ ව්‍යවස්ථාවට අනුකූල ව නො වෙයි. සියල්ලට ම පළමු ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්විය යුතුයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress