යහපාලකයින් ජිනීවා යෝජනාවට හිස නමා ඇත්තේ ජාතිද්‍රෝහි නිසයි
Posted on March 30th, 2017

උපුටාගැණීම අදදෙරණ

March 30, 2017  12:24 pm

2015 ඔක්තෝම්බර් මස සම්මත කරගනු ලැබූ ජිනීවා යෝජනාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය යළි වරක් ප්‍රතිඥා දී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තමන් තුළ නෛසර්ගිකව ඇති ජාති ද්‍රෝහී ආකල්පය හේතුවෙන් මිස එවන් වාර්තාවක් පිළිගැනීමට යහපාලකයන්ට වෙනත් කිසිදු හේතුවක් නොවන බව හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එකී සම්පූර්ණ නිවේදනය මෙසේය.

පසුගිය සතියේ අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදී 2015 ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහකත්වය සහිතව සම්මත කර ගන්නා ලද යෝජනාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට යහපාලන ආණ්ඩුව නැවතත් ප්‍රතිඥා දුන්නේය. මේ අනුව විදේශීය විනිසුරුවන්, පරිචෝදකයන් හා විමර්ශකයන් සහිත යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමටද, එවන් අධිකරණයක් ඉදිරියට ගෙන යාමට තරම් සාක්‍ෂි නොමැති නමුත් යුද අපරාධ සිදුකළ බවට සැක කෙරෙන ත්‍රිවිධ හමුදා නිලධාරීන් පරිපාලනමය ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කිරීමටද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කොට ඒ වෙනුවට බටහිර බලවතුන්ට පිළිගත හැකි නව නීතියක් ගෙන ඒමටද, ලංකාවේ රණවිරුවන්ට එරෙහිව පිහිටුවන යුද අපරාධ අධිකරණය ඇතුළු වෙනත් යාන්ත්‍රණයන් වලට බටහිර රටවලින් ඍජුවම මුදල් ලබා ගැනීමට ඉඩ දීමටද, ලංකාවේ ආණ්ඩුව නැවතත් එකඟ වී ඇත.

 අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට එරෙහිව නඩු ඇසීමට විදේශීය විනිශ්චයකාරවරුන් ගෙන්වන්නේ නැතැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලංකාවේ ජනතාවට පුන පුනා කීවද ජිනීවාහිදී ඔවුන් ගිය සතියේ දුන් ප්‍රතිඥාව ඊට හාත්පසින්ම වෙනස්ය.

2015 හා දැන් නැවතත් 2017 ලංකාවේ සම අනුග්‍රාහකත්වයද සහිතව ජිනීවාහිදී සම්මත කරගත් යෝජනාවල භයානකම අංගය වන්නේ 2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් මානව හිමිකම් කවුන්සිලයට ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාව කිසිදු ව්‍යතිරේකයක් නොමැතිව පිළිගෙන තිබීමයි. මෙකී වාර්තාවේ සිවිල් වැසියන් ඝාතනය කිරීම, වධ බන්ධන පැමිණවීම, ලිංගික අපරාධ, පැහැරගැනීම්, සිවිල් වැසියන්ට ආහාර හා බෙහෙත් නොලැබීමට සැලසීම ඇතුළු යුද අපරාධ චෝදනා අපේ ත්‍රිවිධ හමුදාවට එල්ල කොට තිබුණි. තමන් තුළ නෛසර්ගිකව ඇති ජාති ද්‍රෝහී ආකල්පය හේතුවෙන් මිස එවන් වාර්තාවක් පිළිගැනීමට යහපාලකයන්ට වෙනත් කිසිදු හේතුවක් නොවීය.
 2010 දී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද මේ ආකාරයටම ලංකාවට එරෙහිව විමර්ශනයක් ආරම්භ කොට එහි වාර්තාව 2011 අප්‍රේල් මාසයේදී එළි දක්වන ලදී. නමුත් මගේ ආණ්ඩුව ඒ වාර්තාව පිළිගැනීම එකහෙළාම ප්‍රතික්‍ෂේප කළේය. අද  එවන් වාර්තාවක් තිබුණු බවක්වත් කිසිවෙකුට මතක නැත. 

සාමාන්‍ය ක්‍රියා පටිපාටියට අනුව යම්කිසි රටක් සම්බන්ධයෙන් වාර්තා කිරීමට එක්සත් ජාතීනගේ මහලේකම්වරයාට විද්වත් මණ්ඩලයක් පත්කළ හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ උපදෙස් මත පමණි. එවන්  උපදේශයක් නොතිබුණද ඔබාමා ආණ්ඩුවේ බලපෑම මත බැන් කි මූන් විසින් ලංකාව සම්බන්ධයෙන් විද්වත් මණ්ඩලයක් පත් කිරීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවුරුදු 70ක් මුළුල්ලේ පරිණාමය වූ  ක්‍රියාපටිපාටිය උල්ලංඝණය විය. 2014 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ලංකාවට එරෙහිව ආරම්භ කරන ලද විමර්ශනයද එවැනිම ක්‍රියාපටිපාටියෙන් පිට පිහිටුවන ලද විමර්ශනයක් විය. සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව යම්කිසි රටක තත්ත්වය පිළිබඳ සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් විමර්ශන කොමිසමක් පත් කරන්නේ නම් එම කොමිසමට සාමාජිකයන් නම් කරන්නේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයාය. මේ සභාපතිවරයා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටක තානාපතිවරයෙකි. නමුත් 2014 දී ලංකාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මණ්ඩලයක් පත්කරන ලද්දේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයා නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙවන පෙළ නිලධාරියෙකු වන මානව හිමිකම් කොමසාරිස්වරයා විසිනි.

ඒ අනුව යහපාලන ආණ්ඩුව විසින් හිස් මුදුනින් පිළිගෙන තිබෙන මෙම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමාසාරිස් කාර්යාලයේ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පිළිගත් ක්‍රියාපටිපාටියට අනුව පිහිටුවනු ලැබූ විමර්ශන කොමිසමක වාර්තාවක් නොවේ. එපමණක්ද නොව මේ වාර්තාව සම්පාදනය කළ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය බටහිර රටවල මුදල් මත යැපෙමින් බටහිර ජාතිකයන්ගේ අධිපත්‍ය යටතේ කටයුතු කිරීමට විරෝධය පාමින්  සෑම වසරකම තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්දයෙන් මානව හිමිකම් කවුන්සිලය තුළම යෝජනා සම්මත කරනු ලැබේ. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ගැන මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල්ද සිටින්නේ මහා කලකිරීමකිනි.  බටහිරට ගැතිවීම සම්බන්ධයෙන් සෑම වසරක් පාසාම මානව හිමිකම් කවුන්සිලයේම දෝෂදර්ශනයට ලක්වන ආයතනයක් විසින් සම්පාදනය කරන ලද වාර්තාවක් පිළිගැනීමට වත්මන් ආණ්ඩුවට කිසිදු සාධාරණ හේතුවක් නොවීය.

අපගේ සන්නද්ධ හමුදාවලට එරෙහිව විවිධ පාර්ශව විසින් එල්ල කරන චෝදනා වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ලංකාවට එරෙහිව එල්ල වෙන චෝදනා සහ ඉදිරිපත් කරන  සාක්‍ෂි ගැන, යුද නීතිය පිළිබඳ ජාත්‍යන්තර විශාරදයින් වන ඩෙස්මන්ඩ් ද සිල්වා, රොඩ්නි ඩික්සන්, මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන්, ශ්‍රීමත් ජෙෆ්රි නයිස්, මහචාර්ය මයිකල් නිවුටන් සහ මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස් යන අය ගෙන් අපි ලිඛිත අදහස් දැක්වීමක් ඉල්ලා සිටි අතර, මේ විද්වතුන් හයදෙනාම අප වෙත දන්වා සිටියේ ලංකාවේ ත්‍රස්තවාදය මැඬලීමේදී පවතින ජාත්‍යන්තර යුද නීතිය කිසිසේත්ම උල්ලංඝණය වී නැති බවයි. යුද නීතිය පිළිබඳ  ජාත්‍යයන්තර විද්වතුන් හයදෙනාගේම ලිපි  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අපි සූදානම් වෙමින් සිටි අතරතුර 2015 ජනාධිපතිවරණයෙන් අප පරාජය විය.  අලුතින් පත් වු ආණ්ඩුව ලංකාවේ කිසිදු යුද අපරාධයක් සිදු නොවු බවට මේ ජාත්‍යන්තර විද්වතුන් හයදෙනා ලබා දුන් ලිඛිත විශ්ලේෂණ සියල්ල යටපත් කරන ලදී. (නමුත්  මේ විශ්ලේෂණ ද අයිලන්ඩ් පුවත්පත විසින් සම්පූර්ණයෙන්ම  පල කරනු ලැබූ නිසා ඒවා දැන් ඕනෑම කෙනෙකුට කියවා බැලිය හැක.)

ලංකාවට බෙහෙවින්ම වාසිදායක වූ මේ  ජාත්‍යන්තර විද්වතුන්ගේ ලිඛිත කරුණු දැක්වීම්  සියල්ල යටපත් කිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ලංකාවේ සියලු ආකාරයේ යුද අපරාධ සිදු වූ බවට චෝදනා කරමින් නිකුත් කරන ලද වාර්තාව කිසිදු විරෝධතාවයකින් හෝ සංශෝධනයකින් තොරව යහපාලන ආණ්ඩුව පිළිගත්තේය. වත්මන් පාලකයන්  ජිනීවාහිදී රට, ජාතිය හා අපේ සන්නද්ධ හමුදා පාවාදුන්නේ ඒ ආකාරයටය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress