ආයුෂ කොටයි: පුපුරන්න ළඟයි
Posted on April 2nd, 2017

උපුටා ගැන්ම මව්බිම

මෛත්‍රිට හේත්තු වී යහපාලනයට උදවු කරන්න කටයුතු කරමින් ඉන්න ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට හිතේ හැටියට කටයුතු කරන්න ඉඩක් නැති බව රටම දක්නා කරුණක්ය. මේ බැරිකම මෛත්‍රි ළඟට ගියත් විසඳගන්නට බැරි තරමට නරක අතටය. මෛත්‍රි වැනෙන උත්තර දෙද්දී අන්ද මන්ද වන ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට කර කියා ගන්නට දෙයක් නැති ගාණට වැටිලාය. ඒ බැරියාවට වැට බැඳ තියෙන්නේ අගමැති ප්‍රමුඛ යූඑන්පී බලය ශක්තිමත් නිසා බව මෛත්‍රි නොදන්නා ගාණට හැසිරෙන බව තැන තැන කතා වෙන්නේය.
“ශ්‍රී ලනිප මැති ඇමැතිවරු හා අගමැතිගේ වැඩ අතර බරපතළ අර්බුදයක් මතුවෙලා”.

මෙහෙම කියන්නේ මහ පොළොවේ යථාර්ථය කියාපාන දේශපාලන විචාරකයෝය. ඒ වුණාට තවත් පිරිසක් කියන්නේ “ශ්‍රී ලංකා එකේ මැති ඇමැතිවරු විතරක් නොවේ යූඑන්පියේ මැති ඇමැතිවරුත් කලකිරිලා. රනිල් – මලික් හා පිරිස පාලනය කරන රටක යූඑන්පියට ශක්තියක් වෙච්ච මන්ත්‍රිවරුන්ට කටක් අරින්න බෑ. තමන්ගේ පළාත වෙනුවෙන් සේවයක් කරන්න කොන්ද කෙළින් තියාගෙන තීන්දුවක් ගන්න බෑ” කියලාය. ඒ බව ඔප්පු වන, හැඟෙන, දැනෙන කතාවක් යහපාලන ආණ්ඩුව ගෙන එන්න කසකාරයෙක් වෙලා උෟවේ යූඑන්පී සටන කරට ගත්තු හරීන් ප්‍රනාන්දු මෙහෙමත් කියුවේය.

“කරන්න පුළුවන්නම් කරනවා නැත්නම් දමල ගහලා යනවා”
හරීන්ට වැඩක් කරන්න දෙන්නේ නැති විදියට ටෙලිකොම් එකට අරක්ගත්ත බලවන්තයා කවුදැයි රටම දන්නේය. මෛත්‍රිගේ බලය තියෙන ටෙලිකොම් එකට හරීන්ගෙ අලියාගේ ප්‍රමාණයවත් නැත. ඒ නිසා යාදෙක නොරත රත කීවාක් මෙන් මේ එකතුවීම හරියන්නේ නැත. ගැළපෙන්නේ නැත. මේ කැඳ හැළියෙන් වැඩක්ම නැත කියලා හරීන් වැනි කෙනකුටම තේරෙනවා නම් ඡන්ද දීලා යහපාලනයක් බලාපොරොත්තුවෙන් ඉන්න ඡන්දදායකයන්ට මොනවා නොහිතේද කියලා කියන්නට පුළුවන්ය.
මේ පෙළ ගැහෙන සිදුවීම් ගැන හොඳ සිහියෙන් බලා සිටින මහින්ද, ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන්ගේ වගේම යූඑන්පියේ හිත කලකිරී බලාඉන්න මැති ඇමැතිවරුන්ගේද හදවතට කතාකරන්නා වගේ මෙහෙමත් කීවේය.

“ජනතාව දැන් හිතන්නේ තමන්ගේ දුක දෙවියන්ටවත් කියනවාද කියලයි”.
ජනතාවගේ කලකිරීම දැඩිව තියෙද්දී මහින්ද මේ කියන දෙයින් කුපිත වන මැති ඇමැතිවරු වෙන්න යන විපත්තිය දැනගෙන දැනුවත්ව ආණ්ඩුවට එරෙහි වන දිනය වැඩි අෑතක නොවේය.

ඊටත් වඩා දේශපාලන හේතු මත මැති ඇමැතිවරුන් සිරගත කරන, චෝදනා ගොනු කරන යාන්ත්‍රණයත් සිර කූඩු ඇතුළේ සිරගත කළ ඇත්තන්ගේ හද ගැස්මත් මහින්ද ජනතාවට හෙළි කළේ මෙහෙමය.

“අද මම විමල් වීරවංශ මහත්තයා බලන්න හිරගෙදරට ගියා. එතුමා උපවාසයක් ආරම්භ කර තිබෙනවා. එතුමාගේ ඉස්සරහ කූඩුවේ ඉන්නේ රණවිරුවන් හය දෙනෙක්. ඊළඟට තවත් රණවිරුවන් කණ්ඩායමක් ඉස්පිරිතාලේ ඉන්නවා. ඒ අය බලන්න මම ගියා. මේ හැමෝම යුද්ධය ජයග්‍රහණය කරගන්න කොටින්ට එරෙහිව දිවිහිමියෙන් සටන් කරපු අයයි. මරාගෙන මැරෙන කොටියා ඒක පුපුරුවා ගන්න ඉස්සෙල්ලා අත්අඩංගුවට අරන් කූඩුවට දාපු පුද්ගලයා අද ඇතුළේ. බෝම්බය ගෙනාපු කොටියා එළියේ”.
මේ සිරගත කළ රණවිරුවන්ගේ හද ගැස්මය. සැබෑවය. මෙය ජනතාව අතරට යන වේගය අනුව තව තවත් යහපාලකයන්ගේ නිරුවත හෙළි වන්නේය. ඒ තරමටම ජනතාව අතර ඔවුන් කලකිරවන්නේය.

“රටේ හැමෝම නීතිය ඉදිරියේ සමානය කියනවා නම් මුල ඉඳලා පටන් ගන්න” කියල මේ අතර පැවැසුවේ බොදුබල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝය. ඊටම තවත් යමක් එකතු කළාක් වාගේ පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසුවේ….
“රටට වෙලා තියෙන දේ ගැන දැන්වත් පාලකයන් හිතා බලන්න ඕනෑ. පලතුරු වට්ටි ගත්තා ඇති. සම්මාන ගත්තා ඇති”ය කියලාය.
මෙය රට්ටු කියන පදේට නටලා හොඳම මුදල් ඇමැති සම්මානය ගත්තට මොකෝ මීට වඩා රට කරවද්දී
හොඳ වෙන්න ඕනෑය කියා නොකියා කියා පෑමක් වැනිය.

පෙළ ගැහෙන ආණ්ඩු විරෝධය තියුණු බව පසක් කරමින් වගේ ජාතික බලවේග නියෝජනය කරමින් වෙන් වෙන්ව කටයුතු කරන සියලු බෞද්ධ ආගමික සංවිධාන එක්කර වත්මන් ආණ්ඩුවට එරෙහි එක් ප්‍රබල බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීමට තීරණය වී තිබීමත් තීරණාත්මක සාධකයක්ය.
සයිටම් ගැටලුවටද ආණ්ඩුව දෙන විසඳුමක් නැති නිසා රජයේ වෛද්‍යවරු රජයට සතියක් කල් දී ඇත. එම කාලය තුළදී එය විසඳුවේ නැත්නම් යළි විරෝධතා ක්‍රියාමාර්ගයක් වෙත යෑමට එම සංවිධානය තීරණය කිරීමට නියමිතය.

රට උද්ඝෝෂණ හා අවුල් වියවුල්වලින් රත් වෙද්දී උතුර නැඟෙනහිර පළාත්වල ආරක්‍ෂාවව පිළිබඳ රික්තයක් ඇති බව යළි යළිත් තහවුරු වන සිදුවීම් දැක ගන්නට හැකිය. ඒ අනුව කෝටි 2ක කුඩු තොගයක් සමඟ වැලිවැටිතුරේදී අයකු අත්අඩංගුවට පත්ව ඇත. කෝටි ගණනින් කුඩු උතුරින් කොළඹට එන තත්ත්වයට පත් වූ ආරක්‍ෂාව හා සම්බන්ධ කාරණා දැඩි සැලකිල්ලට ගත යුතු තැනකය.

එහෙත් මේ වන විට පැහැදිලිවම රට, ජාතිය ගැන කතා කරන බලවේග මොට කර දමන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත් එම කටයුතුවලදී ප්‍රමුඛ වන පුද්ගලයන් සිරගත කර දැමීම එහි එක් ජවනිකාවක් බවත් ප්‍රකට හිමිවරු කිහිප දෙනෙක් වරින් වර හෙළි කළහ. උන්වහන්සේ තදින්ම කියා සිටින්නේ….
“අපි ආණ්ඩුවට කියන්නේ ජාතික බලවේගවල ඉවසීමේ සීමාවන් පරීක්‍ෂා කර බලන්න එපා කියලයි. රතු කට්ට පැන්නොත් මේ ජාතික බලවේග ආණ්ඩුවට එරෙහිව මහා බලවේගයක්ව නැඟී සිටිනවා සත්තයි” කියලාය. මේ අතර ලෝකෙටම ඇහෙන්න හොඳම සෞඛ්‍ය ඇමැතිගෙ පාට් එකට ඇඳලා කතා කරපු රාජිතලගෙ දත කට පූට්ටු වෙන වැඩක් රාජ්‍ය ඔෟෂධ සංස්ථා ගබඩා තුළින් රටටම හෙළි වුණේය. ජනතාවට දෙන්න තිබුණු කෝටි 11ක බෙහෙත් තොගයක් කල් ඉකුත්වී විනාශ කර දමන තත්ත්වයකය. ගමේ ඉස්පිරිතාලෙට එන ජනතාවට පැනඩොල් පෙත්තක් දීගන්න බැරිව ළතැවෙන යහපාලකයන්ට මේ හෙණගහන අපරාධ නොපෙනීම ගැන ජනතාව හිතන දේ අපට කියන්නට ඕනෑ නැත.

රට කොයිතරම්ද කියනවා නම් මානසික රෝග පිළිබඳ විශේෂඥවරියක් පෙන්වා දෙන විදියට සෑම වසරකම තුන්දාහකට වැඩි පිරිසක් සියදිවි නසා ගන්නා බවත්, ඉන් බහුතරයක් නව යොවුන් වියේ දරුවන් බවත් කියැවෙන්නේය.
මේ අතර ඕස්ට්‍රේලියාවේදී මන්ත්‍රි ප්‍රසන්න රණතුංග අමුතු හෙළිදරව්වක්ද පසුගියදා කළේය. ඔහු කියන්නේ ඇතැම් දේශපාලනඥයන් සමඟ කොටි කිහිපදෙනකු එකතු වී ඇතැයි කියලාය. තත්ත්වය එසේනම් යුද්ධයට නායකත්වය දුන් මහින්දටත් ප්‍රගතිශීලී පිලේ සැමටත් අවදානමක් ඇති බව පෙනෙන්නේය.
තත්ත්වය මෙසේ තියෙද්දී ගෝඨාභය උගතුන්, වියතුන් හා ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීමකට අනුව “වියත් මඟ සංවිධානය” හරහා රටේ ඇතිවී තිබෙන ප්‍රශ්නය අධ්‍යයනය කරමින් ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග අධ්‍යයනය කරමින් සිටින්නේ නිකමට නොවේය කියා ජනතාව හිතන්නට පටන් අරන්ය. ගෝඨා මේ දිනවල පොත්පත් කියවමින් දැනුවත් වෙමින් සිටින්නේය. දේශපාලනයට එනවාය කියලා කෙළින් නොකීවත් ඔහු දේශපාලනමය නොවන ප්‍රමුඛ කාර්ය භාරයක් වෙනුවෙන් හෝ දැනුවත් වෙමින්, සූදානම් වෙමින් සිටීම ගැන රට ජාතිය ගැන හිතන රටවැසියන් සිටින්නේ ප්‍රබෝධයෙනි.

මේ සියල්ල එකට ගෙන සාරාංශගත කරමින් මහින්ද එක් දෙයක් පැහැදිලිව කීවේ….
“ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවට දැන් කරකියා ගන්න දෙයක් නෑ. ආණ්ඩුවේ ආයුෂ කෙටියි. ළඟදීම පිපිරෙනවා” කියලාය.
ඒක මහින්ද කියලා කරවගන්නවාට වඩා යහපාලකයන්ම හත්පොළේ ගාගෙන දහ අතේ අනාගෙනම කරගන්න හැටි කාට කාටත් හොඳ හැටි පෙනෙනවාය. මහින්දට තියෙන්නේ මේ අනාගැනීම තව තවත් වෙන හැටි කියන එකය. ජනතාවට ඒ අනාගැනීම දැනෙන්නේය. එහෙව් පල්ලම් බැහිල්ලකට වැටී තියෙන යහපාලනය පෙරළා දමා ජනතාව වෙනසක් කරන්නට වැඩි කලක් ගත වන්නේ නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress