අද පඳුරකට පයින් ගැහුවහම ජනාධිපති උපදේශකයන් දෙතුන් දෙනෙක් විසි වෙනවා
Posted on April 17th, 2017

උපුටාගැණීම  මව්බිම

2014 වර්ෂයේ අවසන් කාලයේ තාර පාරේ ලිව්වේ රට පෙරට හාල් හැටට කියලයි. අද ඒක ලියන්න වෙන්නෙ රට ආපස්සට හාල් එකසිය විස්සට කියලයි. මේ ආණ්ඩුව පත් කරන්න ඡන්දය දීපූ අයටත් අද ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මිනිස්සු කබලෙන් ළිපට වැටිල තියෙනවා. හැබැයි ආණ්ඩුවේ අයට ප්‍රශ්නයක් නැහැ. මහ බැංකුව හොරා කාලා සල්ලි තියෙනවා.

මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාද කර ගැනීමේ වරද දැන් රටේ ජනතාවට තේරිලා හමාරයි. වරද නිවැරැදි කර ගන්න මේ අවුරුද්දේදි හැකි වෙනවා. පාර්ලිමේන්තුවෙ ඔළුගෙඩි ගණනින් මේක කළත් ගමේ මිනිස්සුන්ගේ ඔළුගෙඩි වෙනස් වෙන්නෙ නැහැ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ කාලේ උපදේශක කම් හැට හුටහමාරක් තියෙනවා කිව්වා. නමුත් දැන් පඳුරකට පයින් ගැහුවම ජනාධිපති උපදේශකයො දෙතුන් දෙනකු විසිවෙනවා.

ඊළඟ ප්‍රාදේශීය සභාවට ඉල්ලන්නෙත් මෛත්‍රිපාල රනිල් පාර්ශ්ව දෙක එකතු වෙලයි. එහෙම නැති වුණොත් මේ අයට යන එන මං නැති වෙනවා. එතකොට මේ දෙගොල්ල කා – කොටා ගන්න හැටි බලාගන්නත් පුළුවන් වෙනවා. අපේ කාලයේ ඒකාධිපති කියලා කිව්වා. දැන් දෙන්නම ඒකාධිපතියො වෙලා.
මිනිස්සුන්ගේ සාක්කු සල්ලිවලින් පුරවනවා කිව්වා. මහ බැංකුවේ සල්ලිවලින් ඒ ගොල්ල සාක්කු පුරවාගෙන තියෙනවා. ආයෙත් වෙන කාවවත් නායකයා කරන්න අපි සූදානම් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ නායකයා කළ යුතුයි. මේ ආණ්ඩුව එපාවූ අය හුඟක් ඉන්නවා. සමහරු කියනවා ඒ පැත්තට ගිය අය ආයෙ ගන්න එපා කියලා. නමුත් එසේ නැතිව සියලු දෙනා එකතු කරගෙන මේ ආණ්ඩුව වෙනස් කරනවා.

ලබන අගෝස්තු මාසෙන් පසු ඔළුගෙඩි වෙනසක් කර හෝ ආණ්ඩුවක් හැදිය යුතුයි. ඒක මහින්ද මහත්තයගෙ නායකත්වයෙන් යුතු එකක් පමණක් බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර මහතා පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress