මේ ගයන්නේ හංස ගීතය
Posted on April 27th, 2017

උඋපුටාගැණීම  මව්බිම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හංස ගීතය ගැයෙමින් තිබේ. මේ ගෙවෙන්නේ එහි උච්චතම මොහොතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙඩිය පිටින්ම එක්සත් ජාතික පක්ෂයේ සිරකරුවකු බවට පත් වී හමාරය. මේ වෙනකොට පක්ෂයේ අනන්‍යතාව නැතිවී ගොස් හමාරය. පක්ෂයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලා, දිනා නැවත පක්ෂය අල්ලාගත් නායකත්වයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.

ඒ විතරක් නොවේ. පරාජයේ සදාකාලික ලේබලය නිල මුද්‍රාවක් සේ අලවන්නට වුවමනා පිඹුරුපත් සැකසී අවසන්ය. එහි උච්චතම මොහොම මේ වන විට සිදුවෙමින් පවතී. නායකයෝ දෙකොනින් හිනා යන සංවිධායකකම් බෙදා දෙමින් ”සිඟිති ආතල්” ගනිමින් සිටිති. පාක්ෂිකයා අන්දමන්දව සිටී.
මාතලේ දිස්ත්‍රික්කයේ අංක එකේ ශ්‍රී ලංකාකාරයා වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් සංවිධායකකමෙන් නෙරපා හැරීමට පක්ෂ නායකත්වය කටයුතු කොට තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ පතාකයෙක් වූ ලොහාන් රත්වත්තේටද ඒ හැන්දෙන්ම බෙදා තිබේ. බදුල්ලේ තේනුකටත් ඒ හැන්දය.

පක්ෂය කනත්තට රැගෙන යෑම සම්බන්ධ මේ උදාහරණම හො¼දටම ප්‍රමාණවත්ය. නිකවැරටියෙන් එළවා දැමූ ජොනී යූ.එන්.පි.යෙන් ආව අයෙක් කියා හිතන්නට පුළුවන. එහෙත් ජනක සහ ලොහාන් නොම්මර එකේ ශ්‍රී ලංකා බල කණුය. ඒ දෙදෙනා එළවා දැමීම පාක්ෂිකයන් කරකවා අතහැරීමක් බව අමුතුවෙන් කිව යුතු නැත.
ජනක ටී.බී. තෙන්නකෝන්ගේ පුතාය. ටී.බී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක්ය. 1956 සිට 1977 දක්වා අඛණ්ඩව විසි එක් වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාකයෙක්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොඩි මිනිහාගේ පක්ෂයක් බවට වූ සලකුණ ටී.බී.ය. ඔහු කවිකොළකාරයෙක්ය. සෙල්ලම් නැත. ඔහු පිට පිටම 6 වතාවක් පාර්ලිමේන්තු ආ ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයෙක්ය. 1956 මැතිවරණයෙන් ඡන්ද 9155කින් ”දඹුල්ල” මන්ත්‍රි ලෙස ජයග්‍රහණය කළ මේ කවිකොළකාරයා 1960 මාර්තු මැතිවරණයේදී ද, 1960 ජූලි මැතිවරණයේදී ද, 1965 මැතිවරණයේදී ද, 1970 මැතිවරණයේදීද ශ්‍රී ලංකා එක බිංදුවට වැටුණු 1977 මැතිවරණයේදී ද ටී.බී. තෙන්නකෝන් පාර්ලිමේන්තු ආවේය. ඔහු හැප්පුණේ යූ.එන්.පී. පතාකයන් එක්කය. අතිශය අහිංසක මිනිසකු වූ ඔහු පාර්ලිමේන්තුව දෙවනත් කළේ අසාධාරණයට එරෙහිවය. තෙන්නකෝන්ලා ඔය කොයි කාටත් වඩා පක්ෂයට කිට්ටුය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරිපාලන ලේකම්වරයකු වූ යසරත්න තෙන්නකෝන් ජනකගේ සහෝදරයා ය. ජනක පාර්ලිමේන්තුවට පැමිණියේ 1994 දීය. මධ්‍යම පළාත් සභාවේ ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජනකගේ පුතණුවන්ය. මධ්‍යම පළාත් සභාවේ තිළිණ බණ්ඩාර තෙන්නකෝන් යසරත්න තෙන්නකෝන්ගේ පුතණුවන්ය.
ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොත්තක් මෙන් තෙන්නකෝන්ලා බැඳී සිටිති. ඔවුන් කවම කවදාවත් පක්ෂයෙන් පිටමං වී නැත. යූ.එම්.පී. ආණ්ඩුවක් ආව හැම වෙලාවකම ඔවුන්ට හිරගෙදරනම් උරුම විය.

ජනක කවදත් අසාධාරණයට එරෙහි විය. එමෙන්ම ඔහු සංවේදී අයෙකි. රාජපක්ෂ පාලන සමයේ තම පක්ෂයේම මාතලේ ප්‍රදේශයේ තවත් දේශපාලනඥයකු සමඟ එළිපිටම ඔහු ගැටුණු අතර මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ආණ්ඩුවෙන් ඉවත්වන පිරිසටද ජනකගේ නම කියැවුණේය. එහෙත් ඔහු හඬා වැළපෙමින් පක්ෂය හැරදා නොයමින් එහි රැඳුණේය.

ඡන්දයෙන් පසු පතාකයන් පනිද්දීත් ඔහු නිහඬව සිටියේය. අන්තිමට දැඩි අසනීප තත්ත්වයෙන් සිටි ජනක 1999දී සිදුවූ මිනීමැරුමක් සම්බන්ධයෙන් කියා හදිසියේම පැමිණි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. වරින් වර හෘද රෝග හේතුවෙන් බයිපාස් සැත්කම්වලටත්, පිළිකා රෝගියකු බැවින් එම ප්‍රතිකාරවලටත් එසේම ආඝාත තත්ත්වයත් නිසා එම ප්‍රතිකාරවලටත් ලක්වෙමින් රෝහලේ ප්‍රතිකාර ලැබූ ජනකට මාංචු වැටුණේ සිරිසේන මහතාගේ ආණ්ඩුවෙනි.
අන්තිමට ඔහුට සංවිධායකකමත් නැති විය. එහෙත් එදා මහින්ද ආණ්ඩුවේ වැඩියෙන්ම උදවු ගෙන රැස් පෙන්වූ වසන්ත, ලක්ෂ්මන්ලා අදත් යහතින් වැජඹෙති. ඒ යහපාලනයට ”සෙට් වීම” නිසාය.

”ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපේ හදවත. අපේ පණ. අපි මේ ඉවත් කරලා තියෙන්නේ ඒකෙනුයි. ශ්‍රී .ල.නි.ප.ය කියන්නේ සියලු දෙයින් සර්ව සම්පූර්ණ පක්ෂයක් නෙවෙයි. හැබැයි අපි කවදාවත් මේ පක්ෂය දාලා ගියේ නෑ. ශ්‍රී .ල.නි.ප.ය අද මේ යන ගමන දැක්කම මට කනගාටුවෙන් වුවත් කියන්න තියෙන්නේ මීතොටමුල්ලේ කුණු කන්දට වෙච්ච දේ තමයි ශ්‍රී .ල.නි.ප.ය.ට වෙන්නෙත් කියලා. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය කරා යන ගමනක්.”
සංවිධායකකම ගැලවුණු ජනක කීවේ එහෙමය.

උඩින්ම දිනූ ජනකට සංවිධායකකම අහිමි වෙද්දී ප්‍රමිත කළේ මධ්‍යම පළාත් සභාවේ යෞවන කටයුතු ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමය. නායකයන්ට අමතක වුණාට ප්‍රමිත මාතලේ අංක එකය. ”අප්පච්චි නැති ක¼දවුරක මට හෘද සාක්ෂියට එකඟව තනතුරක් දරන්න පුළුවන්කමක් නැහැ.” ප්‍රමිත එහෙම කීවේය.
ඒ සියල්ලටම වඩා ජනකලා ප්‍රකටවන්නේ මැයි දිනයට වැඩිම ජන ගඟක් ගෙන්වන අය ලෙසය. මැයි දිනය කට උඩ තියාගෙන ජනකලා එළෙව්වේ මැයි දිනයට උතුරන්නට සෙනඟ ඉන්න නිසා වෙන්න ඇත.

ලොහාන් රත්වත්තේ අනුරුද්ධ රත්වත්තේගේ පුතාය. රත්වත්තේලාද පාරම්පරික ශ්‍රී ලංකාකාරයෝය. හැමදාම දිස්ත්‍රික්කයේ ඉහළින්ම දිනූ අය ය. ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා ලෝකයේ පළමුවන අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනියගේ ඥාති සොයුරෙකි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ මාමා කෙනෙකි. ඔහුගේ පුතා වූ ලොහාන් ගිය මැතිවරණයේදී ද ඉහළින්ම ජය ගත්තෙකි. ඔහුගේද සංවිධායකකම අහෝසි විය.

තමන්ගේ අණට කීකරු වී සිටීම පාක්ෂිකත්වය ලෙසත් වැරැදි පෙන්වා පක්ෂය හරි මඟට ගැනීම විපක්ෂය ලෙසත් දැකීම තරම් වරදක් තවත් නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද අත්වී තිබෙන්නේ ඒ අවාසනාවන්ත තත්ත්වයය. මොන තරම් වැරැදි කළ අයෙක් වුවත් හීලෑ වී සිටින්නේ නම් ඔහු සුරක්ෂිතය. අද පක්ෂය තුළ තවදුරටත් සැබෑ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේගවලට හඬක් නොමැති තත්ත්වයක් දක්නට ඇත. මහින්ද යුගයේදී ද එහෙම බලවේග නොතිබුණා යැයි කෙනෙක් කියන්නට පුළුවන. එහෙත් පක්ෂය ජයග්‍රාහී තලයක තිබුණේය. අනෙක් අතට අද ඉන්නා කල්ලිය ජාමෙ බේරා ගන්නට මෛත්‍රි වෙතට ආව අය ය.

අවසන් වශයෙන් එකක් කිව හැකිය. මේ අලුතින් පත්කරන සංවිධායකලාගේ අති බහුතරයට ”සමුපකාර ඡන්දයක්වත්” දිනන්න බැරිය. මේ යන විදියට පාක්ෂිකයා විකල්ප සොයන එක නවත්වන්න ශක්‍රයාටවත් බැරිය. අසරණ වූ පාක්ෂිකයාගේ වේදනාවේ තරමත් ඔවුන් විකල්ප තෝරන හැටිත් මෙදා මැයි දිනයේදී නම් බලාගත හැකිය. ඒ ගැටඹෙට ගියොත්ද ගාලු මුව‍ෙදාරට ගියොත්ද යන්න කීමට කල වැඩිත් නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress