සයිටම් සාකච්ඡාව
Posted on April 27th, 2017

නලින් ද සිල්වා

 ජනමාධ්‍ය කිහිපයක සහභාගීත්වයෙන් ජාතික රූපවාහිනිය විසින් සංවිධානය කෙරුණු නිදහස් අධ්‍යාපනය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීමට නොහැකිවීම ගැන කණගාටුවෙනවා. මට ඒ සඳහා ආරාධනය ලැබුණේ ඉරිදා. එහි දී පළමුව කියැවුණේ සාකච්ඡාව විසිපස්වැනි දා පැවැත්වෙන බව. ආරාධනය ලැබුණු විගස මා එය පිිළිගත්තේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඇති දුර්මත රාශියක් ඛණ්ඩනය කිරීමට ඉන් අවස්ථාව ලැබෙන බව මා දත් බැවින්. එහෙත් සාකච්ඡාව පැවැත්වෙන්නේ අඟහරුවාදා බව කී විට මට වෙනත් නාළිකාවක පටිගත කිරීමකට සහභාගි වීමට ඇති බව මතක් වුණා. එවිට මා ඒ බව පවසා අදාළ නාළිකාවට කතා කර හැකිනම් පටිගත කිරීම් දිනය වෙනස් කර ගැනීමට උත්සාහ කිරීමට එකඟ වුණා. එහෙත් අවාසනාවකට අදාළ වැඩ සටහන් නිෂ්පාදක පැවසුවේ දිනය වෙනස් කිරීමට නොහැකි බව. සඳුදා ද තවත් වැඩ සටහනක් පටිගත කිරීමට තිබුණු බැවින් දිනය වෙනස් කිරීමට නොහැකි බව ඔහු පැවසුවා. එබැවින් මා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවට සහභාගි වීමට නොහැකි බව ආරාධනය ලත් දින ම දැන්වූවා.

පසුව පියෝටීවී තාක්‍ෂණය ඔස්සේ මා නිදහස් අධ්‍යාපන සාකච්ඡාව නැරඹුවා. රාජිත තම මතය සනාථ කළා.  ඔහු සාධක සහිතව තම මතය ජනතාවට ඒත්තු යන ආකාරයට ඉදිරිපත් කළා. බොහෝ කරුණුවල දී මා ඔහු සමග එකඟ නොවන නමුත් සයිටම් සම්බන්ධයෙන් ඔහු දරණ මතය අනුමත කරනවා. එය කාටවත් කඩේ යෑමක් නොව මගේ මතය කියා පෑමක් පමණයි. මා මහින්දටවත්, මෛත්‍රිපාලටවත්, වෙනත් කිසිවකුටවත් කඩේ යන්නේ නැහැ. ඇතැම් ජනමාධ්‍යවේදීන් සූදානමක්, දැනුමක් නැතිව පැමිණි බව පෙනී ගියා. දිස්ත්‍රික් කෝටා ක්‍රමය, විශ්වවිද්‍යාල ප්‍රවේශය  ආදිය පිළිබඳ ව ජනමාධ්‍යවේදීන් කිසිවක් දැන සිටියේ නැහැ. එය කලකට ඉහත වික්ටර් අයිවන් විශ්වවිද්‍යාල ප්‍රවේශයේ ප්‍රමිතිකරණය යනු කුමක් දැයි නොදැන ඒ ගැන කතා කළා වගේ.

 රාජිත සමග මා ප්‍රධාන වශයෙන් එකඟ නොවන්නේ ඔහු  කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ගැන කී දේ පිළිබඳ ව පමණයි. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් නො වෙයි. ඇයට අදෘශ්‍යමාන ප්‍රාණීන් සමග සන්නිවේදනය කිරීමේ හැකියාවක් ඇති බව මා පෞද්ගලික ව දන්නවා. එහෙත් ඇයට ඇගේ ම දේශපාලනයක් තිබෙනවා. ඇය යහපාලනයට ආධාර කළා. ඒ අතර ඇය ඇතැම් වෛද්‍යවරුන්ට ජනාධිපති විය හැකි බව පැවසුවා/පවසනවා. ඇගේ දේශපාලනය සහ තවත් කරුණු කිහිපයක් නිසා මා පසුව ඇයගේ සන්නිවේදන ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. එහෙත් කිහිප වරක් ඇය මට ප්‍රතිකාර කර තිබෙන බව ද කෘතඥතා පූර්වක ව පැවසිය යුතුයි. ඇතැම් ළමා රෝග විශේෂඥයන් තම දරුවන්ට ඇගෙන් ප්‍රතිකාර ලබා ගන්නා බවත් මා දන්නවා. රාජිත දන්නා විද්‍යාව අනුව ඔහු පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංසිද්ධි නොපිළිගන්වා විය හැකියි. එහෙත් මා දන්නා විද්‍යාවේ ප්‍රවාද පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. හැරත් බෞද්ධයකු ලෙස මා පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංසිද්ධි පිළිගන්නවා. එහෙත් මේ කරුණ සයිටම් සමග සම්බන්ධ නැහැ.

 අද සයිටම් ප්‍රශ්නයට වග කිව යුත්තේ වෛද්‍ය සභාව බව මගේ පිළිගැනීමයි. මා සාකච්ඡාට සහභාගි වුණා නම් ඒ බව ප්‍රකාශ කරනවා. ඒ අතර ප්‍රශ්නය අවුල් කරන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඔවුන් ඇතැමකුට දේශපාලන න්‍යාය පත්‍ර තිබෙනවා. ඔවුන්ගේ සංගමයේ නිලධාරීන් අතර පිටරට විශ්වවිද්‍යාලවලින් උපාධි ලත් අය සිටිනවා. ඔවුන් කියාවි ඒ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය උසස් කියා. ඒ ඇතැම් විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් ලංකාවට පැමිණීමෙන් පසු සායනික පුහුණුව ලබන බවට සාක්‍ෂි තිබෙනවා. සයිටම් ප්‍රශ්නය පිටුපස සිසුන් පිටරට යවා මුදල් උපයන අයත් සිටිනවා. ඔවුන් පවත්වාගෙන යන්නේ කඩ ද සාප්පු ද කියා මා දන්නේ නැහැ.

 මා සයිටම් හා නිදහස් අධ්‍යාපනය ගැන ලිපි කිහිපයක් ම ලියා තිබෙනවා. ඒ කරුණු නැවත සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. සයිටම් ගැන අභියාචනාධිකරණ තීන්දුව ගැන ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දුවක් දේවි. ඒ ගැන මා දැනටමත් කියා ඇති දේට වඩා යමක් ඒ තීන්දුව ලබා දෙන තෙක් මට කියන්න බැහැ. එය උසාවියට අපහාස කිරීමක් වන්නත් පුළුවන්. සයිටම් ගැන මා යෝජනා කළ බොහෝ දේ ද ආණ්ඩුවේ තීරණයේ අඩංගු වෙනවා. මා එකඟ නොවන්නේ සයිටම් උපාධිධාරීන්ට වැඩිදුර  සායනික පුහුණුවක්  ලබා දීමට කර ඇති යෝජනාවට පමණයි. ඒ පුහුණුව ලබා දීමට කටයුතු කළ යුත්තේ වෛද්‍ය සභාව බවයි මගේ වැටහීම.

 මා යෝජනා කර සිටියේ සයිටම් උපාධිධාරීන්ට නඩු තීන්දුව අනුව තාවකාලික ලියා පදිංචිය දී ඔවුන්ගේ සීමාවාසික පුහුණු කාලය මාස හයකින් හෝ අවුරුද්දකින් හෝ දීර්ඝ කිරීමට. එය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේවත් කටයුත්තක් නොව වෛද්‍ය සභාවේ කටයුත්තක්. ඒ පුහුණුව ලබා දීම මගින් සයිටම් උපාධිය පිළිගැනීම වැරදි යැයි කියැවන්නේ නැහැ. උපාධියක් පිළිගැනීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වගකීමක්. වෛද්‍ය වෘත්තියට බඳවා ගැනීමේ නිර්ණායක ඉදිරිපත් කිරීම වෛද්‍ය සභාවේ කටයුත්තක්. ඒ දෙක දෙකක් බව ඇතැමුනට අවබෝධයක් නැහැ. රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිධාරීන්ටත් සීමාවාසික පුහුණුවක් ලබා දෙනවා. එයින් රජයේ වෛද්‍ය පීඨවල උපාධි පිළිගැනීම වරදක් වෙන්නේ නැහැ. උපාධි ලත් අයකුට වෘත්තියකට බඳවා ගැනීමට පෙර අදාළ බලධාරීන්ට ඔහුට හෝ ඇයට හෝ  පුහුණවක් ලබා දිය හැකියි. වෛද්‍ය වෘත්තියට බඳවා ගැනීමේ කොන්දේසි සහිත තාවකාලික ලියා පදිංචිය ලබා දෙන්නේ වෛද්‍ය සභාව. එහි දී උපාධිධාරියකුට දිය යුතු සීමාවාසික කාල පරිච්ඡෙදය වෛද්‍ය සභාවට තීරණය කළ හැකියි. එය සෑම විශ්වවිද්‍යාලයකට ම පොදු වු කාල පරිච්ඡෙදයක් විය යුතු නැහැ. ඇතැම් රජයේ වෛද්‍ය පීඨවල උපාධිධාරීන්ටත් අවුරුද්දකට වැඩි සීමාවාසික පුහුණුවක් ලබා දීමට වෛද්‍ය සභාවට හැකියාව තිබෙනවා. ඒ පුහුණුව සාර්ථක ව නිම කිරීමෙන් පසුව වෛද්‍ය සභාව ස්ථිර ලියා පදිංචිය  ලබා දෙනවා. සයිටම් සම්බන්ධයෙන් අද ඇත්තේ තාවකාලික ලියාපදිංචිය පිළිබඳ නඩුවක්. අධිකරණය තීරණය කෙළේ වෛද්‍ය සභාව සයිටම් උපාධිධාරිනියට තාවකාලික ලියා පදිංචිය දිය යුතු බවයි. 

සයිටම් සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ නිර්දේශ ගැන නඩු තීන්දුවේ තිබෙනවා. සයිටම් උපාධිධාරීන්ට වැඩිදුර සායනික පුහුුණුවක් ලබා දිය යුතුය යන්නත් ඔවුන්ගේ නිර්දේශයක්. වෛද්‍ය සභාවට ම සීමාවාසික  පුහුණු කාල සීමාව දීර්ඝ කිරීමෙන් හා අදාළ රෝහල් ලබා දීමෙන් ඒ කාරයය කරන්න පුළුවන්. ඒත් මේ වෛද්‍ය සභාව ක්‍රියා කරන්නේ ඉතාමත් අවිධිමත් අසංගත ආකාරයකින් බව පැහැදිලියි. එබැවින් ආණ්ඩුව ඒ තීරණය වෛද්‍ය සභාවට ගැනීමට ඉඩ නොතබා තමන් ම ගත්තා විය හැකියි. එහෙත් එහි වරදක් ඇති බව මගේ වැටහීමයි.

 සයිටම් කියන්නේ වෛද්‍ය විද්‍යාලයක් පමණක් නො වෙයි. එහි තවත් පීඨත් තියෙනවා. තවත් පෞද්ගලික උපාධි ලබා දෙන ආයතන රාශියක් මෙරට තිබෙනවා. ඒවාහි ප්‍රමිතිය අඩු කියා හෝ එයින් නිදහස් අධ්‍යාපනය ඉවර බවක් හෝ කිසිවකු කියන්නේ නැහැ. මේ කිසිවක් ගැන නිරවුල් ව කල්පනා කිරීමට නොහැකි බොරු සමාජවාදීන් පිරිසකගේ උද්ඝෝෂණවලට ආණ්ඩුව යටවිය යුතු නැහැ. මේ බොරු කාරයන් චීනයේ පෞද්ගලික වෛද්‍ය පීඨ ගැන කිසිවක් කියන්නේ නැහැ. ඒවාහි උපාධිධාරීන් ද ලංකාවේ ඉන්නවා. චීනයේ නිදහස් අධ්‍යාපනය  ඉවර ද? නිදහස් අධ්‍යාපනය කී ගමන් හැඟීමෙන් පමණක් වැඩ කරන ඇතැමුන්ගේ ලේ කිපෙනවා. ඔවුන් කල්පනා කරන්නේ නැහැ. ඒ අතර බටහිර වෛද්‍යවරුන්ගේ ඊනියා සමාජ තත්වයක් ද බොහෝ රටවල තිබෙනවා. මෙරට ඇතැමුන් මේ ඊනියා සමාජ තත්වය, වෛද්‍යවරුන් දරණ සමාජ බලය ද තම දේශපාලන ව්‍යාපෘති සඳහා යොදා ගන්නවා. 

මේ සාකච්ඡාවට සහභාගි වීමට නොහැකි වීම ගැන නැවතත් මා කණගාටු වෙනවා. ඇතැමුන් සිතන විධියට මා සිතන්නේ නැහැ. මා රාජිතට බොහෝ දේ සම්බන්ධයෙන් විරුද්ධයි. එහෙත් සයිටම් සම්බන්ධයෙන් ඔහු සමග එකම වේදිකාවක පෙනී සිටීම කාට ප්‍රශ්නයක් වුවත් මට ප්‍රශ්නයක් නො වෙයි.  

 

 නලින් ද සිල්වා

 2017 අප්‍රේල් 26 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress