දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට එරෙහිව නඩු ගොඩයි වහාම තනතුරෙන් ඉවත්කර පරීක්‍ෂණයක් පවත්වන්න
Posted on May 23rd, 2017

එස්. පී. විතානගේ  සම කැඳවුම්කරු All Ceylon Railway Employees’ General Union 

අතිගරු ජනාධිපති,
මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට එරෙහිව නඩු ගොඩයි වහාම තනතුරෙන් ඉවත්කර පරීක්‍ෂණයක් පවත්වන්න

තමන්ගේ නිල තත්වය අයුතු සහගත ලෙස යොදා ගනිමින්, අත්තනෝමතික ලෙස කටයුතු කිරීම, තනතුරට නොගැලපෙන ලෙස අනිසි හැසිරීම, රජයේ මුදල් හා දේපල සාවද්‍ය ලෙස පරිහරනය කිරීම හා අන් අයට එසේ කිරීමට ඉඩදීම, රාජ්‍ය සේවයටත්, තනතුරේ ගෞරවයටත් හානිවන ආකාරයට කටයුතු කිරීම ආදි කරුණු හේතුකොට ගෙන වත්මන් දුම්රිය සාමාන්‍යධිකාරි  B.A.P  ආරියරත්න මහතාට එරෙහිව අධිකරණයේ සහ වෙනත් ව්‍යවස්ථාපිත ආයතන ගණනාවකම නඩු ගණනාවක් විභාගවෙමින් පවතින බැව් පෙන්වා දෙන අතර, දෙපාර්තමේන්තු නිලධාරීන්ට හා සේවකයින්ට එරෙහිව  කටයුතු කරමින් පෞද්ගලික සමාගම්  සමග සුහදතාව ගොඩනගා ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුවටත් රජයටත් දැවැන්ත මූල්‍යමය හානියක් සිදුු කරමින් සිටින බව අවධාරණයෙන් යුතුව පෙන්වා දෙමු.

තමන්ට හිමි නැති රාජකාරිමය බලයක් පාවිච්චි කරමින් පළමුපෙල විධායක නිලධාරියෙකු වන සිසිර කුමාර මහතා දුම්රිය වාණිජ අධිකාරි තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව අංක: SCFR 132/2016 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා ඇති අතර, එය විභාගවෙමින් පවතී.

දුම්රිය ආරක්‍ෂක අධිකාරී තනතුරෙන් තමන් ඉවත්කර, ජේෂ්ඨතාවය අහිමිකර, හිතුවක්කාරි ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ බලය පාවිච්වි කරමින් අසාධාරණයක් කලේ යැයි අංක 132/16  යටතේ, හිටපු ආරක්‍ෂක අධිකාරි  J M S ජයසේන මහතා  අභියාචනා අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර, එය විභාග වෙමින් ඇත.

අමාත්‍ය මණඩල අනුමැතියකින් ලබාදුන් උසස්වීම අවලංගු කර තනතුරෙන් පහල දමා තමන්ට අසාධාරණයක් කිරීම සම්බන්ධයෙන් SE /385/2016 යටතේ  R B A රත්නමලල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා ඇත. ඊට අමතරව ආයුධ සන්නද්ධ නිලධාරියෙකු ලඟ තබාගෙන පරුෂ වචනයෙන් බැන වැදී මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අංක 26/230 යටතේම රත්නමලල මහතා විසින් තවත් නඩුවක් පවරා ඇත.

දුම්රිය සේවකයින්ගේ කැමැත්ත නොවිමසා වැටුපෙන් මුදල් අයකර ගංවතුර ආධාර බෙදීම හා පෞද්්ගලික කාරියක් සඳහා රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් ( ආයතන සංග‍්‍රයයේ XLVII පරිච්ජේදයේ 5 ජේදයට පටහැනි ආකාරයෙන්) හා නිලබලය පාවිච්විකර ප‍්‍රධාන මූල්‍ය නිලධාරිගෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ විධිිවිධාන සංග‍්‍රහය යටතේ මූල්‍ය අපරාධ කොට්ටාශය මගින් ආරියරත්න මහතාට එරෙහිව නඩු පවරා ඇත.
 
වෛස්රෝයි විශේෂ දුම්රිය ධාවනය කිරීමේ දී හා එක්ස්පෝ ලංකා, රාජධානි එක්ස්ප‍්‍රස් විශේෂ දුම්රිය මැදිරි ධාවනයේදී සිදුකර ඇති රුපියල් කෝටි 46 අධික මූල්‍යමය වංචාව සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය විසින් වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරි ආරියරත්න මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාද කොට්ඨශයේ නඩු පවරා ඇත.

තනතුරේ බලය පාවිච්චි කරමින්, අයුතු සහගත මුදල් ඉපයීමේ ජාවාරමක යෙදී සිටින දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා තමන්ගේ ජාවාරම්වලට එරෙහි වන නිලධාරීන් සථානමාරු කරමින්, තනතුරු අහිමි කරමින්, හිතුවක්කාරී ලෙස කටයුතු කරමින් දුම්රිය පරිපාලනය අවුල් සහගත තත්වයකට පත්කරමින් සිටී.

මෙම නිලධාරයා තවත් එක් මාසයක් හෝ  එම තනතුරේ රඳවා සිටීමෙන් රජයට දැවැන්ත මූල්‍යමය හානියක් සිදු කරනු ඇත. එබැවින් නිසි විනය කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කර දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එම තනතුරෙන් ඉවත්කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට, දුම්රිය සේවයේ උන්නතිය වෙනුවෙන්,
එස්. පී. විතානගේ
සම කැඳවුම්කරු

සම්බන්ධීකරණය  – 0714 953060 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress