ගංවතුරෙන් පාඩම්
Posted on June 3rd, 2017

නලින් ද සිල්වා

 ආපදා තත්වය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කී විධියට නොවූවත් ක්‍රමයෙන් පහව යනවා. දැන් ඇත්තේ සාමාන්‍ය මෝසම. ඒ ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට යමක් කියන්න පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කියන්න බැරි අසාමාන්‍ය දේ. ඒවාට පදනම්වන කරුණු නිව්ටන්ට හසුවන්නේ නැහැ. තව කොපමණ ඊනියා දියුණු උපකරණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගෙනත් දුන්නත් ඔවුන්ට නිව්ටන්ට හසු නොවන කරුණු ගැන කියන්න බැහැ. දෙවියන් භූතයන් නිව්ටන්ගේ සමීකරණවලට අහුවෙන්නෙ නැහැ. පංචෙන්ද්‍රිය ගෝචර නොවන කිසිවක් නිව්ටන්ගෙ විද්‍යාවෙ උපකරණවලට හසු වන්නේ නැහැ. ඇතැමුන් හිතන්නෙ මේ කරුණු තවමත් බටහිර විද්‍යාව හොයා ගෙන නැහැ කියලා. ඒ බටහිර විද්‍යාව ගැන විශ්වාසය නිසා කියන දෙයක්. බටහිර විද්‍යාවට කවද හරි නිවන තේරුම් ගන්න පුළුවන් වෙයි ද? එහෙම වුණොත් විද්‍යාඥයන් නිවන් දකීවි ද? 

බටහිර විද්‍යාවට ගුරුත්වාකර්ෂණයවත් හසු වන්නෙ නැහැ. ඊනියා ගුරුත්වකර්ෂණය යොදා ගෙන තේරුම් ගන්නේ යැයි කියන පංචෙන්ද්‍රිිය ගෝචර දේ පමණක් ඒ උපකරණවලට හසු වෙනවා. ඒත් ඒ ගුරුත්වාකර්ෂණය නො වෙයි. ඊනියා ගුරුත්වාකර්ෂණය සෘජුව හසු වන උපකරණයක් ගැන මෙරට සිටින ඊනියා විද්‍යාඥයකුට කියන්න පුළුවන් ද?  අර පිටි මුට්ට කර තියාගෙන යැමට කතා කරන කැනඩාවේ පාසල් ගුරුවරයාට හරි ඔහුගෙ ගුරුවරයාට හරි ගුරුත්වාකර්ෂණය තමන්ගෙ මොකක් හරි ඉන්ද්‍රියකට දැනිලා තියෙනවා ද? ගුරුත්වාකර්ෂණ බලයත් (ක්‍ෂෙත්‍රයත්), අනෙක් ක්‍ෂෙත්‍රත් , වෙනත් ප්‍රවාදත් බටහිර විද්‍යාඥයන්ගෙ යම් තරමකට හරි ගිය හිතළු පමණයි. හරි ගිය කියන එකෙන් කියැවෙන්නෙ නැහැ හරි කියලා. බටහිර විද්‍යාඥයන් මේ හිතළු වෙනස් කරනවා. 

ඒ කොහොම වුණත් ගංවතුර ආපදාවෙන් බොහෝ කරුණු හෙළි වුණා. අපේ රටේ ප්‍රාදේශීය ව හා සාමූහික ව කෙරෙන  කටයුතු යම් ප්‍රමාණයකට කඩා වැටිලා. ඒ කියමන ගැන කාටදෝ බොහොම කේන්ති ගිහිල්ලා තිබුණා. ඔහු අසා තිබුණා හමුදාව කළ වැඩ පෙණුනේ නැද්ද කියලා. හමුදාව පමණක් නොවෙයි විද්‍යුත් මාධ්‍ය ද කළ වැඩ දැක්කා. ඒ සියල්ල මධ්‍යගත ව කෙරුණු දේ. මාධ්‍යට පුළුවන් කම තිබුණෙ බොහෝ විට තමන්ට ජනතාව ගෙනැවිත් දුන් භාණ්ඩ ප්‍රාදේශීය මධ්‍යස්ථාවලට දෙන්න. ඇතැම් තැන්වල කෙළින් ම විපතට පත්වූවන්ටත් භාණ්ඩ ලබා දුන්නා. මාධ්‍ය ඒ සියල්ල කෙළේ මනුෂ්‍යත්වය නිසා පමණක් නො වෙයි. ඔවුනොවුන් අතර තරගයක් ද තිබුණා. ප්‍රසිද්ධියක් ද ලැබුණා. ඒ කොහොම වුණත් කළ දේ හොඳයි. මාධ්‍ය බටහිර විද්‍යාවට දක්වන මානුෂිකත්වය සිංහල වෙදකමට දක්වන්නෙ නැහැ. මහවිලච්චියේ වකුගඩු රෝගීන්ට සිංහල වෙද මහතකු ප්‍රතිකාර කිරීම ගැන ඔවුන් කිසිම ප්‍රසිද්ධියක් දුන්නෙ නැහැ. ඔවුන් ඒ වෙදමහතාගෙන් ඉල්ලා සිටියේ රෝගීන් සුව වූ බවට බටහිර වෛද්‍ය සහතික!

සිංහල වෙදකම රැකීමට විද්‍යුත් මාධ්‍ය කරන සේවය කුමක් ද? ගංවතුර උවදුරට පත් වූවන්ට ප්‍රතිකාර කිරීමට සිංහල වෙදමහතුන්ගේ සහාය ලබා නොගන්නේ ඒ වෙදකම ගැන විශ්වාසයක් නැති කම නිසා නො වේ ද? එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැමුන් පෞද්ගලික ව අදෘශ්‍යමාන ප්‍රාණීන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. ඔවුන් සමාජයට ඒ බව කියන්නේ නැහැ. පෞද්ගලික ව කුමක් විශ්වාස කළත් සමාජයීය ව බටහිර විද්‍යාවේ හා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට සියල්ලන් ම පාහේ යටවෙනවා. 

හමුදාවට කා සමගවත් කිසිම තරගයක් තිබුණේ නැහැ. හමුදාවට ප්‍රසිද්ධියක් ලැබුණෙත් නැහැ. හමුදාව ප්‍රසිද්ධිය ලබා ගත්තෙත් නැහැ. කොටින්ට එරෙහිව කරන ලද මානුෂීය මෙහෙයුමේ දීත් ප්‍රසිද්ධියක් ලැබුණේ නැහැ. දැන් මේ ආණ්ඩුව යටතේ ගෞරවයක් ලැබෙන්නේත් නැහැ. ඔවුන් සැමරීමටවත් මේ් නිවට ආණ්ඩුවේ ඇමතිවරුන් අවසර දෙන්නේ නැහැ. හමුදාවට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන අවසානයේ දී ලැබුණේ හා ලැබෙන්නේ සිර දඬුවම්. මෙහි දී හමුදාව කියන්නෙ නාවික, ගුවන් හා සිවිල් ආරක්‍ෂක බලකායත් එක්ක. අවසානයේ දී ගංවතුර උවදුරේ දී බර වැඩ සියල්ල ම පාහේ කෙරුණේ රණවිරුවන් අතින්. ජීවිත ගණනාවක් ම ගලවා ගැනීමට ඔවුන්ට හැකි වුණා. 

ඒ එක පැත්තක්. පීඩාවට පත් ජනයාට රජයේ පාසල්වල නවාතැන් ලැබුණා. එයට අමතර ව පන්සල්වල ද නවාතැන් ලැබුණා. පන්සල්වල ලැගුම් ගත්තේ සිංහල බෞද්ධයන් පමණක් නො වෙයි. ජනවර්ගවලට අයත් උදවියත් පන්සල්වල හිටියා. ආණ්ඩුවේ ඊනියා සංහිඳියාව වෙනුවෙන් බෞද්ධයන්ට පහර දීමට ඔවුනුත් බටහිරයනුත් බටහිරයන්ගෙන් නඩත්තු වන්නවුනුත් එකතු වන නමුත් පන්සල්වල දැක හත හැකි වූ සංහිඳියාව වෙනත් කොහේවත් දැක ගන්න පුළුවන් ද? මේ සිංහල බෞද්ධකමයි. හැමෝගෙන් ම බැට කන සිංහල බෞද්ධකමයි. 

ජනතාව ආධාර ගෙනැවිත් දුන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතික පදනම නිසයි. ප්‍රාදේශිකත්වය හා සාමූහිතකත්වය තරමක් කඩා වැටී ඇති නමුත් සිංහල බෞද්ධ මානුෂිකත්වය නැති වී ගොස් නැහැ. අපට තවමත් ශක්තියක් සපයන්නේ මේ සිංහල බෞද්ධ මානුෂිකත්වය මගිනුයි. ත්‍රස්තවාදයට එරෙහිව කළ සටන්වල දී ද මේ මානුෂිකත්වය දැක ගන්න පුළුවන් වුණා. එය එසේ නො වේ යැයි කියන්නේ බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් ඇතුළු නිවටයන්. ඔවුන් තම නිවටකම හා කෘරබව සිංහල බෞද්ධයන් මත පටවන්න හදනවා. මේ අයත් විද්‍යුත් මාධ්‍යත් කියන්නේ මට නම් මානුෂිකත්වයක් නැති බවයි.

දේශපාලනඥයන් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඔවුන් ගංවතුරේ බෝට්ටු පදිමින් මනාප එකතු කළා. මට නිච්චියක් නැහැ විපක්‍ෂ නායක සම්බන්ධන් ගංවතුර ආපදා ගැන ප්‍රකාශයක් කළ බවට. ප්‍රකාශයක් කළත් දෙමළ ජාතික සංධානය සක්‍රිය ව යමක් කෙළේ නැහැ. ඒ ඔවුන්ට අදාළ ප්‍රදේශවල මනාප නැති නිසා ද? නැත්නම් වෙනත් කරුණු නිසා ද? කොහොමටත් විපක්‍ෂ නායක රටට ම විපක්‍ෂ නායක බව ඔහුට අමතක වෙනවා. අගමැතිටත් වැඩි යමක් කරන්න බැරි වුණා. ඔහු සෞඛ්‍ය හේතුන් මත නිව්යෝක් ගිය බවයි කියැවෙන්නේ. අගමැති ආපසු පැමිණ ආර්ථිකය ගැන කතාව අරඹාවි. එයින් සිදුවන්නේ අප ඇඹරීම පමණයි. චම්පකට නම් මේ සියල්ලට හේතුව අධිවේගී මාර්ගය. ඔහු අප කී පරිදි ම තම මාර්ගය දිගේ අධිවේගයෙන් එ ජා පෙරමුණට ගිහින්. ඔහුටත් මහින්ද අමතක කරන්න බැහැ. ඒ හොඳට නො වෙයි.

මෙරට තවමත් යම්තම් හරි ගැටගසා ගන්නේ සිංහල බෞද්ධකම නිසයි. සිංහල බුද්ධාගම නිසයි. සිංහල බුද්ධාගම විනාශ කිරීමට  බටහිරයන් හා ඉන්දියාව පමණක් නොව චීනයත් උත්සාහ ගන්නවා. චීන ගැත්තන් මෙරට යක්‍ෂ ජනතාව අමතක කරන්න හදනවා. යක්‍ෂ සංස්කෘතියෙන් රටට වෙච්ච දෙයක් නැති බව කියනවා. අපි පසුව යක්‍ෂයන් ගැන කතා කරමු. සිංහල බුද්ධාගමේ යක්‍ෂ සංස්කෘතික ලක්‍ෂණ තිබෙනවා. ඒ නොවන්නට සිංහල බුද්ධාගමත් නැහැ. ගංවතුර ආධාරත් නැහැ. නිව්ටන්ට තේරුම් ගන්නට බැරි ගංවතුර තේරුම් ගන්නත් බැහැ.  

නලින් ද සිල්වා

2017 ජූනි 03  

One Response to “ගංවතුරෙන් පාඩම්”

  1. Ananda-USA Says:

    Dear Nalin,

    Yes, Indeed! What we saw during the flood relief opetation was the Sinhala Buddhist Paradigm at work. The Sinhala Buddhist Ethos is alive, well and thriving in our land.

    While the GOVERNMENT HID out of sight, rendered IRRELEVANT, the ORDINARY largely Sinhala Buddhist people surged forth, in their teeming millions, to join hands with PATRIOTIC Media organizations, the much-maligned Armed Forces, and the Buddhist Clergy to aid the flood-affected people MAROONED in their thousands by the floodwaters, and cut-off from road access by landslides and floods.

    It was a REMARKABLE DISPLAY of the Sinhala Buddhist Society of Sri Lanka in ACTION, moving as ONE to aid their OWN.

    I am FILLED WITH PRIDE as I reflect upon the SHEER GOODNESS and WISDOM our people, just I shake with anger at the SHEER INCOMPETENCE and LACK OF CARING of the Yamapalana government now back at work politicking in the aftermath of the great flood.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress