අයගම විපත හා ජීවිත නැගුම
Posted on June 13th, 2017

විද්‍යා , තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරෙන් හා නායයෑමෙන් ආපදාවට පත් වූ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද රජයේ ආපදා කළමනාකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් පත් කිරීමෙන් අනතුරුව අයගම හා කළවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි සහන සේවා කළමනාකරණ කමිටු නිර්මාණය කරමින් එහි ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳ සොයා බැලීම සඳහා ගරු අමාත්‍යතුමන් 2017 ජූනි මස 11 වන දින එම ප්‍ර‍දේශයන්හි මෙහෙයුම් සංචාරයන්හි නිරත විය.

ඒ අනුව අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ආපදාවන්ට ලක් වූවන් හට සහන සේවා සැලසීමේ කමිටුව අයගම ගංගාරාම ශ්‍රී මහා විහාරයේදී රැස් වූ අතර ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රධාන එහි නිළධාරීන්, ප්‍රාදේශීය සභාව,පොලීසිය ඇතුළු රජයේ ආයතන නියෝජනය කරනු ලබන නියෝජිත පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

මෙම විපත පිළිබඳ අදහස් දැක් වූ ප්‍රාදේශීය  ලේකම් අනුරාධ ජයකොඩි මහතා ආපදා තත්වය පිළිබඳ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විපත සිදු වූ මොහොතෙහි ක්‍රමිකව අයගම පරිපාලන නගරයේ සිට පිටත නගරයන් හා දිවෙන ප්‍රධාන නගර සියල්ලක්ම අවහිර වූ බැවින් ක්ෂණික සහන සේවා සැපයීමට බාධාවක් වූ අතර ප්‍රවේශ මාර්ග වෙත කඩා වැටී තිබු පස්කඳු ,කළුගල් ,ගස් ඇතුළු අවහිරතාවන් ඉවත් කිරීමෙන් අනතුරුව සහන සේවා කටයුතු ආරම්භ කළ බවයි. තම කොට්ඨාසය තුළ පිහිටි නිවාස දේපල පුර්ණ හානි 139ක් මේ වන විට වාර්තා වී ඇති බවත් ග්‍රාම නිළධාරීන් විසින් තම වසම් තුළ සිදු ව ඇති එවන් හානි පිළීබඳ නැවත සමීක්ෂණයන් සිදු කරමින් පවතින බවත් දන්වා සිටින ලදී.

එමෙන්ම අර්ධ හානි 672ක් දැනට වාර්තා වී ඇති අතර වෙනත් ගංවතුරට යටවීම් සහ වගා හානි ඇතුළත්ව දේපල හානි 1400ක් වාර්තා වී ඇති බවයි. විපත සිදු වීමෙන් අනතුරුව අවතැන් කඳවුරු 70ක් පවත්වා ගෙන යාමට සිදු වූ අතර මේ වන විට එය කඳවුරු 05ක් දක්වා අඩු වි ඇති අතර එහි පවුල් 72ක සාමාජිකයින් 221 දෙනෙකු ලැගුම්ගෙන සිටින බව ප්‍රකාශ කරන ලදී. එම පිරිස නායයෑමේ අවදානමට ලක් වුණු ස්ථානයන්හි පදිංචිකරුවන් වීම විශේෂත්වයකි .තවද,පුද්ගලයන් 1452 ක් ඥාතී නිවාස 422ක තාවකාලිකව ලැගුම් ගෙන සිටින බව තොරතුරු දන්වා සිටින ලදී.

ඒ අනුව අවතැන් කඳවුරු 05 තුළ සිටින්නන් සහ ඥාති නිවෙස් තුළ රැඳී සිටින්නන් සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙහෙයවීමෙන් වියළි පාරිභෝගික ආහාර ද්‍රව්‍ය සහනාධාර අඛණ්ඩව ලබා දීම සිදු කරන ලද බව දන්වා සිටී. මෙම පිරිස පූර්ණ දේපළ හානි සහ අර්ධ හානි සහ අවදානම මත පදිංචියට යා නොහැකි නිවෙස් සහ ඉඩම් හිමියන් වන අතර ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් කටයුතු සංවිධානය කරන බව සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් මෙහිදි කරන ලදී.

ප්‍රදේශයෙහි පොදු පහසුකම් අඩාල වීම් සම්බන්ධව කරුණු විමසූ අමාත්‍යවරයා වෙත රාජ්‍ය නිළධාරීන් කරුණු දක්වමින් සිටියේ රෝහල සහ පොලිස් ස්ථානය පිහිටි බිම් නාය යෑමේ අවධානම් සහිත තත්වයක පවතින බැවින් වෙනත් විකල්ප ස්ථානයන් තුළ එම සේවා ස්ථාපනය කොට ඇති බවයි.

මේ වන විට ප්‍රධාන මාර්ගයන්හි බස්රථ ඇතුළු ප්‍රවාහන කටයුතු සාමාන්‍ය තත්වයට පත් කොට ඇතත් අතුරු මාර්ගයන්හි සිදු ව ඇති අවහිරතාවයන් යම් පමණකට ඉවත්කොට ඇති බවයි. ඒ අනුව ප්‍රාදේශීය සභාවේ මෙහෙයුම් මත ගංගොඩකන්ද බදුවල කන්ද මාර්ගය , ගංගොඩකන්ද වටඋළුගල මාර්ගය ,තේ ජනපදය පිට කන්ද මාර්ගය, පිංතැන්න ඒ කොටස මාර්ගය, වැරණියකැටිය මාර්ගය , නමුන්තැන්න අක්කර 100 මාර්ගය, අයගම තොරණ ගොඩමාර්ගය, අයගම කලමැටියන මාර්ගය, රයිගම් කන්ද මාර්ගය, පිඹුර කරවැටි මාර්ගය යන මාවත් තුළට කඩා වැටී තිබූ පස්කඳු, කළුගල් හා ගස් වැනි අවහිරතාවයන් ඉවත් කර ඇති අතර කැටේපොළ කුට්ටි කන්ද මාර්ගය ගිලා බැසීම හේතුවෙන් මාර්ගය පිළිසකර කිරිම් සිදු කිරීමට නොහැකි බව හෙළි කරන ලදී. කළුමැදිරිය මාර්ගයද එසේ අබලන් තත්වයට පත්ව ඇති අතර ඒ සඳහා නව මාර්ගයක් කැපීමේ අවශ්‍යතාවය තහවුරු කර ඇත.

විදුලි බලය ප්‍රධාන මාර්ගය දෙපස වෙසෙන දේපල සඳහා අළුත්වැඩියා කටයුතු සිදු කොට ඇති අතර අධිබලැති විදුලි රැහැන් කඩා වැටී ඇති ස්ථානයන් සහ අතුරු මාර්ගයන්හි විදුලි කණු සහ ට්‍රාන්ස්‍ෆොමරයක් අළුතින් සවි කළ යුතු ස්ථානයන් වෙත කඩිනමින් එම අඩුපාඩු සපුරා ජන ජීවිතය පෙර පරිදි පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීමේ උවමනාව පිළිබඳ ගරු අමාත්‍යතුමන් කරුණු දක්වන ලදී. එසේම ජා ඇල පිහිටි නර්ඩ් ආයතනය විසින් ප්‍රදේශයේ ගොඩනැගිලි පරික්ෂා කිරිම් සහ නව ගොඩනැගිල්ලක ස්ථාපනය කල පොලිස් ස්ථානයේ අභ්‍යන්තර ඉදිකිරිම් කටයුතු සිදුකරමින් පවති.

මෙම අවස්ථාව සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ යටතේ පවතින ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, ශ්‍රි ලංකා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය විසින් විපතට පත් වූවන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය මලු ප්‍රදානය කිරීමක්ද සිදු කරන ලදී.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress