Railway Museum (Guarantee) Limited සමාගම අහෝසි කරන ලෙස ඉල්ලීම
Posted on July 12th, 2017

දුම්රිය සේවාවේ උන්නතිය වෙනුවෙන් එස්. පී. විතානගේ

ගරු ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය,නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා,
ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය.

Railway Museum (Guarantee) Limited සමාගම අහෝසි කරන ලෙස ඉල්ලීම

දුම්රිය දෙපාර්තමේන්තුව තුල කෞතුකාගාරයක් ඉදිකිරීමේ මුවාවෙන් Railway Museum ( Guarantee ) Ltd. නමින් සමාගමක්, මේ වන විටත් ලියාපදිංචි කර ඇත. 2007 අංක 07 දරන සමාගම් ලියාපදිංචි කිරීමේ ආඥ පනත යටතේ මෙම සමාගම ලියා පදිංචි කර ඇති අතර, එහි ලියාපදිංචි අංකය: ඨඛ 2409 වේ. 09 දෙනෙකුගෙන් යුත් අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත්කර ගෙන ඇති අතර, එහි ප‍්‍රධානියා මහජන බැංකුවේ වත්මන් සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතාය. මෙම සමාගම නමින් මහජන බැංකුවේ ගිණුමක් විවෘත කර ඇති අතර, රුපියල් කෝටි 05 ක ආරම්භක ප‍්‍රාග්ධනයක් එම ගිණුමේ තැන්පත් කර ඇත.

සමාගමක් යනු ව්‍යාපාරික ආයතනයකි. ලාභ ලැබීමේ පෞද්ගලික පරමාර්ථයක් සහිතව සමාගමක් ආරම්භ කිරීමට හැකියාව තිබුණද, රාජ්‍ය ආයතනයක් වන දුම්රිය දෙපාර්තමේන්තුව තුල ලාභ ලැබීමේ අරමුණක් සහිතව එවැනි සමාගමක් ලියාපදිංචි කිරීම, දුම්රිය ආඥා පනතටත්, දුම්රිය ව්‍යවස්ථා සංග‍්‍රහයටත් සම්පූර්ණයෙන්ම පටහැනි බව පෙන්වා දෙමු.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වන විට කෞතුකාගාර තුනක් ඇත. අවශ්‍ය වන්නේ නම් එම කෞතුකාගාර තව දුරටත් ජාත්‍යන්තර මට්ටමට වුවද වැඩි දියුණු කිරීමේ බාදාවක් නැත. එසේ තිබිය දී කෞතුකාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් ම සමාගමක් ලියාපදිංචි කිරීම තුල දැවැන්ත ජාවාරමක් පවතින බව ඉතාමත් පැහැදිලිය.

දුම්රිය දෙපාර්තමේන්තුව තුල කෞතුකාගාරයක් ඉදිකිරීම සඳහා මුදල් ප‍්‍රදානය කරනු ලබන්නේ, මහජන බැංකුව, මර්චාන්ට් බැංකුව හා පීපල්ස් ලීසිං සමාගම යන ආයතන ති‍්‍රත්වය විසිනි. එම මුදල රුපියල් මිලියන 300 කි (කෝටි 30 ). එසේ නම්, එම මුදල එක එල්ලේ ලබාදිය යුත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවටය. එම මුදල දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා නොදී, පෞද්ගලික සමාගමක ගිණුමක තැන්පත් කර ඇත. කෞතුකාගාරයක් ඉදිකිරීමේ මුවාවෙන් මහජන බැංකුවෙන් මුදල් ප‍්‍රදානයක් ලබාගෙන, දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් හා ගොඩනැගිලි ඒ සඳහා යොදා ගනිමින් පෞද්ගලික ධනය රුපියලක් හෝ වැය නොකර, මහා දැවැන්ත ජාවාරමක් කිරීමේ යම් අරමුණක් මේ සඳහා සම්බන්ධවී සිටින පුද්ගලයන්ට තිබෙන බව ඉතා පැහැදිලිය.

දුම්රිය දෙපාර්තමේන්තුවට විධිමත් කෞතුකාගාරයක අවශ්‍යතාවය අප කිසි විටකවත් බැහැර නොකරමු. එහෙත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ මොහොතේ කෞතුකාගාරයකට වඩා අවශ්‍යවන්නේ මැදිරි නිෂ්පාදනය කරන නවීන තාක්‍ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාවකි. එවැනි කර්මාන්ත ශාලාවක අවශ්‍යතාව අප මීට පෙර ද ඔබතුමාගේ අවධානයට ලක්කර ඇත. එහෙත් ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු නොකිරීම ගැන කණගාටු වෙමු.

ගරු ඇමති තුමනි,

මේ කරුණු පිලිබඳව ඔබ තුමාගේ දැඩි අවධානය යොමුකර, කඩිනම් තීන්දුවක් ගතයුතු බව අවධාරණය කර සිටිමු. කෞතුකාගාරයක් ඉදිකිරීමේ මුවාවෙන් එන ජාවාරම් සමාගම වහාම අවලංගු කිරීමටත්, තිබෙන කෞතුකාගාර පද්ධතිය විධිමත් පරිදි පවත්වාගෙන යාමට වැඩ පිලිවෙලක් සකසන ලෙසත්, කෞතුකාගාර සමාගම විසින් සිදුකරන දුම්රිය ඉඩම් හා ගොඩනැගිලි පවරා ගැනීම වහාම නතර කරන ලෙසත්, මේ සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ගයක් ගන්නා ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

මේ සම්බන්ධයෙන් ඔබතුමා ගනු ලබන කි‍්‍රයාමාර්ගය පිලිබඳව අප සන්ධානය දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

 

මෙයට,

දුම්රිය සේවාවේ උන්නතිය වෙනුවෙන්

එස්. පී. විතානගේ

සම කැඳවුම්කරු

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress