පළාත් පාලනයෙන් තරුණ කෝටාව ඉවත් කළේ පාර්ලිමේන්තුවේ ‘තරුණයින්ගේ ආකර්ෂණයක් නොමැති‘දේශපාලන පක්ෂ උවමනාවටයි
Posted on August 28th, 2017

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය    

පලාත් පාලන ඡන්ද විමසීමේ නාම යෝජනා සදහා 30% ක තරුණ පිරිසක් අනිවාර්යයෙන්ම ඇතුලත් විය යුතුය යන යෝජනාව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ බහුතරයක් විසින් සහාසික ලෙස කප්පාදු කරනු ලැබ ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පළාත් පාලන මැතිවරණ සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට බදුන් කළ අවස්ථාවේ දී අජිත් පී.පෙරේරා, ලසන්ත අලගියවන්න යන නියෝජ්‍ය අමාත්‍යවරු ප්‍ර‍මුඛ පිරිසක් 30% ක තරුණ නියෝජනයක් සහිත නාම යෝජනා පත්‍ර‍යක් වෙනුවෙන් පෙනී සිටියේය.  තරුණ සංවිධාන, මැතිවරණ කොමිෂන් සභාව සහ වෙනත් සිවිල් සංවිධානයන්ගේ ඉල්ලීම මත 2017 ජූනි 2 දින ප්‍ර‍කාශයට පත් වූ ජූනි 20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ තරුණයින් සදහා 30%ක නාම යෝජනා කෝටාවක් වෙන් කර තිබුණි.

අගෝස්තු 24 දින පාර්ලිමේන්තුවේ විවාද සිදු වන විටත් 30% න තරුණ නියෝජනය ආරක්ෂා විය. නමුත්, අගෝ 25 දින පාර්ලිමේන්තුවේ සම්මත වූ පලාත් පාලන පනතේ සංශෝධනයන්ගෙන් ‘තරුණ නියෝජනය‘ ගලවා දැමීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එකගත්වය පළ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා ද තරුණ නියෝජනය ඉවත් කිරීමට පක්ෂව කරුණු ඉදිරිපත් කළේය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිසත්, බහුජන නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ පක්ෂය තරුණ නියෝජනය සදහා ඉඩ ලබාදීම වෙනුවෙන් පෙනීසිටියේය. නමුත් බහුතර දේශපාලන පක්ෂ එම මතයට එරෙහිවීම හේතුවෙන්, පාලන නාම යෝජනා සදහා  30% ක තරුණ නියෝජනය අනිවාර්ය කිරීමේ ප්‍ර‍තිපාදන ඉවත් විය.  

1992 වසරේ ලක්මන් ජයතිලක මහතා ගේ සභාපතීත්වයෙන් යුතු ‘තරුණ අසහන කමිටුව‘ මගින් සිදුකළ යෝජනාවක් අනුව පලාත් පාලන ඡන්ද විමසීම් සදහා  40% ක තරුණ නියෝජනයක් සහිතව නාම යෝජනා ක්‍ර‍මයක් හදුන්වාදෙනු ලැබීය.  2012 වසරේ දි එය ඉවත් වූයේ බැසිල් රාජපක්ෂ මහතා ප්‍ර‍මුඛ පිරිසක් විසින් ඉදිරිපත් කළ පළාත් පාලන සංශෝධන අනුවය.  ආර්.ප්‍රේමදාස මහතා ගේ රජය යටතේ ‘තරුණ අසහන කමිටුවේ‘ සාමාජිකයෙකු වූ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඒ සදහා දායක වූ එක් අයෙකි.

තරුණ අසහන කමිටු යෝජනා අනුව හිමිවූ තරුණ කෝටාවෙන් දේශපාලන දිවිය ඇරඹි තරුණයින් අද, අමාත්‍යවරුන්, මහ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් බවට පත්වී ඇත.  නමුත්, අලුත් පරම්පරාවකට දේශපාලනය සදහා ප්‍ර‍විශ්ඨවීම සදහා ඇති ඉඩකඩ පාර්ලිමේන්තුව විසින් අවසන් මොහොතේ සුක්ෂම ලෙස අහුරා දැමීම කණගාටුවට කරුණක් බව ද, කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress