කෙරවලපිටිය LNG විදුලිබල ටෙන්ඩරය කැකිල්ලේ තීන්දුවක් වෙයි.
Posted on September 15th, 2017

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

තාක්ෂණික කමිටුව අනුමත කළ එකම සමාගම හලා, තාක්ෂණික කමිටුව සුදුසුකම් නැතැයි කී සමාගම් 7 න් පහක පමණක් ටෙන්ඩර් ලිපි විවෘත කිරීමට යයි.

කෙරවලපිටිය LNG බලාගාරය සදහා සුදුසුකම් ලබා ඇති බවට තාක්ෂණික කමිටුව පිළිගත් එකම ටෙන්ඩර්කරු අතහැර දමා, තාක්ෂණික කමිටුව විසින් සුදුසුකම් නොමැති බව කී සමාගම් 7 න් දේශපාලන අවශ්‍යතාව මත තෝරාගත් සමාගම් 5 ක පමණක් ටෙන්ඩර් ලියවිලි පරීක්ෂා කිරීමට විදුලිබල අමාත්‍යාංශය හා විදුලිබල මණ්ඩලය සුදානම් වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය පවසයි.  

නොරච්චෝල, ගල්අගුරු හා ක්ෂණික විදුලිය සදහා ඩීසල් විදුලිය මිලදී ගැනීම, ජෙනරේටර් මිලදී ගැනීම ඇතුලු අන්ත දුෂිත ටෙන්ඩර් අතර විහිළු සහගතම ටෙන්ඩරය පමණක් නොව වසර 20 කට වැඩි කළක් ලංකාවේ විදුලි බිල අඛණ්ඩව ඉහළ යැවීමට කෙරවලපිටිය දුෂිත ටෙන්ඩර් ගනුදෙණුව විදුලිබල මණ්ඩල ටෙන්ඩර් මගඩි ඉතිහාසයේ කූටප්‍රාප්තිය බවට පත්වනු ඇත.  තරගකාරීත්වය තුල අඩුම මිලට විදුලිය ලබා ගැනීම වෙනුවට තරගය අඩු කොට සැපයුම්කරුවන්ට උපරිම වාසිය ලැබදීම තුල සිදුවන්නේ විදුලි බිල වැඩිවීම හෝ රජයේ බදු මුදලින් විදුලි උත්පාදන මිල දැරීමට සිදුවන බව මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. .

2016 දෙසැම්බර් මස මෙ.වෝ. 300 ක කෙරවලපිටිය LNG බලාගාරය සදහා ටෙන්ඩර් කැදවීමත් සමගම ඒ සදහා වැය කරන අති විශාල මුදල් කන්දරාව පිළිබද රට තුල විරෝධයක් ඇති විය.  ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය ලංකා රජයට කිසිදු පිරිවැයක් නොමැති ලාභදායී ආයෝජන 6 ක් පිළිබද කරුණු අනාවරණය කළේය. එම අනාවරණයේ ප්‍ර‍තිඑලයක් ලෙස ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරය අහිමි විය.

2017 අප්‍රේල් 21 දක්වා ටෙන්ඩර් බාරගැනීම සිදු වූ අතර, සමාගම් 8 ක් සිය ලංසු ඉදිරිපත් කළේය.  තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ වූයේ සැම්සුන් සමාගම විසින් ඉදිරිපත් කළ ටෙන්ඩරය ලියකියවිලි 2017 ජූලි 13 දින විවෘත කිරීමටය.  නමුත්, 2017 ජූලි 11 විදුලිබල කේෂ්ත්‍ර‍යට උනන්දුවක් දක්වන අමාත්‍යවරුන් තිදෙනෙකු තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නුසුදුසු බවට ප්‍ර‍කාශ කරන ලද සමාගම් 5 ක පමණක් ටෙන්ඩර් ද විවෘත කළ යුතු බවට උපදෙස් දී ඇත.   

දේශපාලනඥයින්ගේ එල්ල වූ බලපෑම් මත තාක්ෂණික කමිටුවේ සභාපති අමාත්‍යාංශ ලේකම් විතානගේ මහතා ඇතුළු සාමාජිකයින් තිදෙනෙකු ඉල්ලා අස්විය.  සැම්සුන් ටෙන්ඩර් ලේඛන විවෘත කිරීමට මොහොතකට පෙර එම රැස්වීම අවලංගු කළ බවට ඊමේල් පණිවුඩයක් ජූලි 13 දින විදුලිබල මණ්ඩලයෙන් විදුලි මණ්ඩලයෙන් ලැබුණි. සැම්සුන් සමාගමට නැවත ටෙන්ඩර් විවෘත කිරීම සදහා අගෝස්තු 13 කැදවීමක් ලැබුණු අතර එහි දී අනාරාධිතව පැමිණි පිරිසක් විසින් ටෙන්ඩර් විවෘත කිරීම කලබැගෑනියක් බවට පත් කළේය.

විදුලිබල මණ්ඩලය හා විදුලිබල අමාත්‍යාංශය අපූරු තීන්දුවක් ගෙන අගෝ. 18 දින තාක්ෂණික කමිටුව විසින් ‘කොන්දේසි සහිතව ටෙන්ඩර් විවෘත කිරීමට අනුමැතිය දුන් සමාගම් 5 ක පමණක් ටෙන්ඩර් විවෘත කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් තෝරාගත් එකම (සැම්සුන්) සමාගමේ ටෙන්ඩර් පත්‍රිකාව ඉබේම ඉවත්වී යයි.  කොන්දේසි සහිත සමාගම් පහක පමණක් ටෙන්ඩර් විවෘත වන අතර, තවත් සමාගම් දෙකක් නුදුසුදු වෙයි. ‘හොදම එකම සමාගම, මොහොතකින් නරකම සමාගම‘ බවට පත්වන්නේ කෙසේ ද?

ටෙන්ඩරයක තාක්ෂණික ඇගයීම් කමිටුවේ තීරණය දෙවන අදියරේ දී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුතුය. නැතිනම්, එහි විනිවිද භාවයක් සහිතව ටෙන්ඩර් ඉදිරිපත් කළ සෑම සමාගමකට තම අඩුපාඩු සකසා ගැනීමට අවස්ථාව ලබාදිය යුතුය.  එසේ නොමැතිව, තරගකරුවන් ඉවත් කිරීම සදහා ‘ප්‍ර‍සම්පාදන කමිටුව‘ මෙවලමක් කර ගත යුතු නැත.

විදුලිබල මණ්ඩලයත්, විදුලිබල අමාත්‍යාංශයත් සිය දුෂිත ටෙන්ඩර් මාවතේ ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොකළ මාවතක කෙරවලපිටිය ටෙන්ඩරය ගමන් කරයි.  ටෙන්ඩරය ප්‍ර‍ධානය කිරීමට අවශ්‍ය (දේශපාලනඥයින්ගේ සහයෝගය ලැබෙන) සමාගම් 5 හි ටෙන්ඩර් පමණක් විවෘත කිරීම සදහා වෙමලමක් ලෙස තාක්ෂණික ඇගයීම් කමිටුව හා ප්‍ර‍සම්පාදන කමිටුව යොදා ගැනීම ය.

‘ආර්ථික කටයුතු පිළිබද කැබිනට් අනුකමිටුව‘ නම් කමිටුවක් ඉදිරිපිට රාජ්‍ය නිලධාරීන් ගෙන්වා ඔවුන් අපහසුතාවට පත් කොට දේශපාලන අවශ්‍යතාවන් මත ටෙන්ඩර් ප්‍ර‍දානය කිරීම තුල විනිවිදභාවයක් නැත.  යහපාලනය ද නොවේ.  අවසනාවකට අද ලංකාවේ ප්‍ර‍මුඛම ටෙන්ඩර් පිළිබද අද සිදුවෙමින් ඇතේ ද  ‘දේශපාලන බලයට අවශ්‍ය ගනුදෙනු සදහා රාජ්‍ය නිලධාරීන්ගෙන් යුතු කමිටු වෙමලමක් කර ගැනීමය.

 

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

2017 සැප්තැම්බර් 15

One Response to “කෙරවලපිටිය LNG විදුලිබල ටෙන්ඩරය කැකිල්ලේ තීන්දුවක් වෙයි.”

  1. Senerath Says:

    “තාක්ෂණික කමිටුව අනුමත කළ එකම සමාගම හලා, තාක්ෂණික කමිටුව සුදුසුකම් නැතැයි කී සමාගම් 7 න් පහක පමණක් ටෙන්ඩර් ලිපි විවෘත කිරීමට යයි.”

    This is a very good idea. I beleive these තාක්ෂණික කමිටු consist of PAGA MASTAAN engineers. Must catch these Horu.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress