පළාත් සභා සංශෝධන යෝජනාව අතර කාරක සභා අවස්ථා යෝජනාවක් මගින් පළාත් සභා ඡන්දය කල් දාන්න නැවතත් රජයේ උත්සාහයක්
Posted on September 17th, 2017

කීර්ති තෙන්නකෝන් මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

ඉදිරි සතියේ දී පළාත් සභා සංශෝධනයට යෝජනාවක් ඉදිරිපත් කොට කාරක සභා අවස්ථාවේ දී පළාත් සභා ඡන්දය කල් දමා ගැනීමට ප්‍ර‍තිපාදන සපයා ගැනීමට රජය කපටි ක්‍ර‍ම විරෝධී උත්සාහයක නිරත වන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

පලාත් සභා ඡන්ද විමසීමේ පනතේ නාම යෝජනා පත්‍ර‍යට 30% කාන්තා නියෝජනයක් ඇතුලත් කිරීම සදහා වන පනත් කෙටුපතක් මේ වන විට ගැසට් මගින් ප්‍ර‍කාශයට පත් කොට ඇත. එය මේ සතියේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කිරීමට නියමිත අතර, මේ සතියේම විවාදයට ගැනීමට රජය සුදානම් වේ. මේ සදහා පැවති ආංශික කාරක සභා රැස්වීමේ දී කිසිසේත්ම සාකච්ඡා නොකළ කරුණු එනම්, සමානුපාත ඡන්ද ක්‍ර‍මය වෙනුවට කොට්ඨාශ ක්‍ර‍මය ද ඇතුලත් මිශ්‍ර‍ සමානුපාතික ක්‍ර‍මය යෝජනා කර සම්මත කර ගැනීමේ ප්‍ර‍යත්නයක් මේ වන විට රජය කරළියට ගෙන ඇත. එහි මුලික පියවර ලෙස ජනාධිපතිවරයාගේ ප්‍ර‍කාශයක් කෙටි පණිවුඩයක් ලෙසින් ප්‍ර‍කාශයට පත් කොට ඇත. රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා හාලිඇළ පැවති රැස්වීමක දී මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීන්තවය ප්‍ර‍ශ්න කිරීම ද, පළාත් සභා මැතිවරණය කල් දමා ගැනීමේ උපක්‍ර‍මයේම කොටසකි.

රජය විසින් පළාත් ඡන්දය කල් තැබීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයේ එකගතාව ලබා ගැනීමට නොහැකි තත්වයක් මතුව ඇත. එබැවින් කාරක සභා අවස්ථාවේ යෝජානාවක් ලෙස ‘පළාත් සභා ඡන්ද විමසීමේ ක්‍ර‍මය වෙනස් කිරීමට යෝජනාවක් මේ වන විට කෙටුම්පත් කරමින් සිටී. 2015 දින 100 වැඩ සටහන යටතේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍ර‍මය ‘මිශ්‍ර‍ ක්‍ර‍මයකට වෙනස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාව‘ බැදුම්කර මගඩිය බිලිදීමට රජය කටයුතු කළේය. එයටත් වඩා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය හෑල්ලුවට ලක් කරමින්, පාර්ලිමේන්තුවේ පිටිපස්සා දොරින් පළාත් සභා ඡන්දය කල් දමා ගැනීමේ උත්සාහයකට රජය ප්‍ර‍විශ්ඨ වෙමින් ඇත.

ඡන්ද කල් දැමීමේ හොර පාර

පළාත් සභා ඡන්ද කල් දැමීමේ යෝජනාව නියමිත ක්‍ර‍මයට ගැසට් මගින් ප්‍ර‍කාශ කොට ඉදිරිපත් කළා නම්, ඡන්ද කල් දැමීමට එරෙහි පුරවැසියන්ට, දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන වෙත අධිකරණයේ පිහිට ඇයැදීමට අවස්ථාව ලැබේ. කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කරන යෝජනාවක් තුල අද ඡන්ද කල් දැමීමෙන් තොර පැවැත්මක් නැති දේශපාලන පක්ෂයන්හි අවශ්‍යතාව වන කූට අන්දමින් පළාත් සභා ඡන්ද විමසීම කල් දැමීම කිසිසේත්ම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ක්‍රියාමාර්ගයක් නොවේ. එය ජනතා අයිතිය උදුරා ගැනීමකි.

ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවට පවරා ඇත්තේ ජනතාවගේ සුබ සෙත සදහා නියමිත කාර්ය පටිපාටියක් අනුව කටයුතු කර ජනතා සුබ සෙත සැලසීම සදහා ය. එසේ නැතිව, දේශපාලන අවශ්‍යතාවයන් මත ඡන්ද විමසීමකට මුහුණ දිය නොහැකි විට ශේෂ්ඨාධිකරණ තීන්දුවලින් රිංගා යමින්, ජනතාවගේ ඡන්ද බලය, ජනතාවගේ ප්‍ර‍ජාතන්ත්‍රීය අයිතිය වූ සර්වජන ඡන්ද බලය මංකොල්ල කෑම සදහා නීති සකස් කිරීම සදහා මෙවලක් කර ගැනීමට නොවේ.

එබැවින් මේ අයුරින් ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී ලෙස පළාත් සභා ඡන්ද විමසීමේ නීති හොර රහසේ නීත්‍යානුකුල හා සදාචාරසම්පන්න නොවන අයුරින් සම්මත කර ගැනීම සම්පූර්ණයෙන්ම යහපාලන මූලධර්මවලට අනනුකූලය.

පළාත් සභා පනතේ කාන්තා නියෝජනය පිළිබද සංශෝධන අතරතුර මේ දක්වා කිසිදු අයෙකු නොදන්නා, අවම වශයෙන් පාර්ලිමේන්තුවේ අනුශාංගික කමිටුවේ දී හෝ සාකච්ඡා නොකළ පළාත් සභා මැතිවරණ සංශෝධනවලට මුවාවී පළාත් සභා ඡන්දය කල් දමා ගැනීම පාර්ලිමේන්තු ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය විහිළුවට ලක් කිරීමකි. ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ව්‍යවහාරයන් නොතකා හැරීමකි.

මැතිවරණයකට මුහුණදීමට බිය පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයකට පාර්ලිමේන්තු කාර්ය පටිපාටිය මෙවලමක් කර ගනිමින් ඡන්ද කල් දමාගැනීමට අවශ්‍ය නීති සැකසීමට කිසිදු අයිතියක් නොමැත.

 

කීර්ති තෙන්නකෝන්

මාධ්‍ය ඒකකය
කැෆේ සංවිධානය
2017 සැප්තෑම්බර් 17

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress