බුදු දහමේ ප්‍රමුඛස්ථානය අහිමියි.. ව්‍යවස්තා කමිටු වාර්තාවේ වගන්ති මෙන්න..
Posted on October 3rd, 2017

 අරවින්ද අතුකෝරල lanka C news

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානයට සහ ඒකීයභාවයට අත නොතබන බවට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් නැවත නැවතත් ප්‍රකාශ කරනවා. නමුත් මහ නායක හිමිවරු ඇතුළු බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය කියන්නේ ප්‍රමුඛස්ථානයට හානි කර ඇති බවයි. ඊට පිලිතුරු දෙමින් ඊයේ ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිතුමා කියන්නේ හානියක් නොකර ඇති බවයි. මම මාධ්‍යවේදී ඔබට ආරාධනා කරනවා ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිතුමන් සහ එතුමන් සමග මාධ්‍ය හමුවට පැමිණි සුරෙන් ප්‍රනාන්දු නීතිඥතුමත් එක් පාර්ශවයක් ලෙසත් ජනධිපති නීතිඥ මනෝහරද සිල්වා මැතිතුමන් සහ මා අනෙත් පාර්ශවය ලෙස ගෙන මේ පිළිබද සංවාදයක් තියන්න. එතකොට වඩා හොදින් රටේ ජනතාවට දැන ගන්න පුළුවන් වේවි මේ ව්‍යවස්ථා උප්පරවැට්ටිය හරහා බුදු දහමට කරන්නේ කුමක්ද කියලා. අතුරු කමිටු වාර්තාවෙන් ඉතාම සූක්ෂමව බුදු දහමේ ප්‍රමුඛස්ථානය විනාශ කරලා තිබෙන හැටි දැන් අපි බලමු.

මෙම වාර්තාවේ බුදු දහම පිළිබඳ කියැවෙන නව වන වගන්තියට විකල්ප දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. පළමු විකල්පය බොහෝ දුරට පවතින වගන්තියට සමානයි. ඒ නිසා අපි දෙවන විකල්පය බලමු.

ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් සියළු ආගම් සහ විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සලකමින් හා වෙන් කොට සැලකීමකින් තොරව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියළුම පුද්ගලයින්ට සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.

අපේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවෙනි වගන්තියේ මේ ගැන කියවෙන්නේ කොහොමද?

ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් දහවෙනි ව්‍යවස්ථාවෙන් සහ දාහතරවෙනි ව්‍යවස්ථාවේ පලවෙනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියළුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂාකරදෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂනය කිරීම රජයේ වගකීම විය යුත්තේය ලෙසයි.

දැන් අපි මේ වාර්තාවේ අඩංගු කරුණු වෙත නැවත අවධානය යොමු කරමු.

එහි මේ ජේදයේ පළමු වගන්තියෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරි නමනවා. නමුත් දෙවන වගන්තියෙන් කිසිම ආගමකට වෙනස් කර සලකන්න බෑ කියනවා. ඉංග්‍රිසියෙන් ලියූ මුල් පිටපතේ තිබෙන්නේ විත්අවුට් ඩිස්ක්‍රිමිනේෂන් කියලා. ඒ කියන්නේ හැම ආගමටම සමානව සලකන්න ඕනෑ. වෙනත් වචන වලින් කියනවා නම් බුද්ධාගමට දෙන ප්‍රමුඛස්ථානය අනිත් ආගම් වලටත් එනම් හින්දු ආගමට ක්‍රිස්තියානි ආගමට ඉස්ලාම් ආගමට දෙන්න ඕනෑ. ඒ කියන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් නෑ කියන එකයි. පලවෙනි වගන්තියෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනව. දෙවෙනි වගන්තියෙන් ආපසු ගන්නවා

ඒ වගේම දැනට පවතින ඡේදයේ තිබෙන්නේ 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියළුම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර කියලා. 10 වන වගන්තියෙන් කැමති ආගමක් ඇදහීමේ නිදහස සෑම තැනැත්තෙකුටම ලබා දී තිබෙනවා. නමුත් 14(1)(ඉ) වගන්තියේ දැක්වෙන ආගම ප්‍රසිද්ධියේ ඇදහීමේ සහ ඉගැන්වීමේ අයිතිය තිබෙන්නේ පුරවැසියන්ට පමණයි. නමුත් යෝජිත වගන්තියෙන් සෑම පුද්ගලයෙකුටම ඒ අයිතිය ලබා දීලා. එහි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියළුම පුද්ගලයන්ට සහතික කරමින් කියලා. ඒ කියන්නේ ලංකාවේ ආගමික ඉගැන්වීම් කරන්න විදේශීය මූලධර්මවාදින්ට ලංකාවට පැමිණීමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම සහතික කර තිබෙනවා. ඒ කියන්නේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය නැත්නම් ගාළු මුව දොර වගේ තැන් වල යාඥා මෙහෙයන් පවත්වන්නේ. අන්න ඒ වගේ දේවල් විදේශිකයන්ට කරන්න පුළුවන් විතරක් නෙමෙයි මූලධර්ම වාදී විදේශිකයන්ට වස්ථාවෙන්ම ඒ සදහා අයිතිය සහ ආරක්ෂාව ලබාදෙනවා.

ඒ නිසා වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ‍අතුරු කමිටු වාර්තාව අතර ලොකු වෙනසක් තියෙනවා. මෙතනින් බුදු දහමට අනතුරක් කර තිබෙනවා.

ඒකීය භාවයටත් බුදු දහමේ ප්‍රමුඛස්ථානයටත් අත තබන්නේ නෑ කියා ජනපතිතුමන් සහ අගමැතිතුමන් නිතරම කියනවානෙ. එහෙම නම් ඉතින් ඔය වගන්ති දෙක තිබෙන විධියට තිබ්බොත් වැඩේ ඉවරනෙ. ඇයි ඕකේ පද පෙරලි කරන්නේ?

ජයම්පති මන්ත්‍රිතුමා ඉතා වැදගත් කාරණයක් ගැන රටේ අවධානයට යොමු කළා. ඒ තමයි මහනායක හිමිවරු පෙරමුණේ තබා ගෙන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන නව වන වගන්තිය රැක ගන්න අපි සටන් කරද්දී බුදු සසුණ රැකගන්න බිහි කරපු ජාතික හෙළ උරුමයේ පා ච රණවක ඇමතිතුමා කමිටුවට කියනවා බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන නව වන වගන්තිය හුදු සැරසිල්ලක් පමණි කියා. එතුමා දන්නේ නැති වුණාට නව වන වගන්තියෙන් කාරණා තුනක් ඉටු වෙනවා. බුදු දහමට ප්‍රමුඛස්ථානය පිරි නැමීම, බුදු සසුන පෝෂණය. එනම් පන්සල් ආදිය හදන්න උදව් කිරීම අර සිල් රෙදි වගේ දේවල් ලබා දීල බුදු සසුණ පෝෂණය කරන්න ආණ්ඩුව නැත්නම් රාජ්‍යය බැදී ඉන්නවා. තෙවනුව බුදු සසුන සුරක්ෂිත කිරීම. මූලධර්මවාදි සංවිධාන පාර්ලිමේන්තු පනත් මගින් සංස්ථාපනය කිරීමට උත්සාහ කළ අවස්ථාවන් හි දී ඒවා නතර කරමින් හිටපු අගවිනිසුරුවරුන් වන සරත් එන් සිල්වා මැතිතුමාත් ශිරාණි බණ්ඩාරනායක මැතිණියත් තීන්දු ලබා දුන්නේ ඔය සැරසිල්ලක් කියන නව වන වගන්තිය යටතේ තමයි. මම ගරු පා ච රණවක ඇමතිතුමාට ආරාධනා කරනවා නව වන වගන්තිය බුදු දහමට කළ සේවය ව්‍යවස්ථා නීතිය දන්න නීතිඥයෙකු ගෙන් අසා ගන්න.

අති උතුම් කාදිනල්තුමාත් අබෞද්ධයෙකු වන මනෝ ගනේෂන් ඇමතිතුමාත් නව වන වගන්තිය රකින්න ඕනෑ කියනවා. බෞද්ධයින් රැකීමට බිහි කළ ජාතික හෙළ උරුමය නියෝජනය කරන පාච රණවක ඇමතිතුමන් ඒක තිබුණත් එකයි නැතත් එකයි හුදු ව්‍යවස්ථාමය සැරසිල්ලක් පමණයි කියනවා. කාලය මැවු වෙනසක අරුමේ. කාලය ද ඩොලර් ද කියන එක කියන්න ඕනෑ එතුමාම තමයි.

– අරවින්ද අතුකෝරල

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress