සෙරෙප්පු සුප්
Posted on October 22nd, 2017

කතු වැකිය උපුටා ගැන්ම දිවයින

2017 ඔක්‌තෝබර් මස 22 වැනිදා ඉරිදා   

පෘථග්ජන සමාජයේ කොටසක්‌ බැවින් ද, කර්ම ශක්‌තිය පිළිගන්නා ආසියානු රටවලින් එකක්‌ බැවින් ද, ශ්‍රී ලංකාව හැමදාමත් මොකක්‌ හෝ සංසාරගත ප්‍රශ්නයක්‌ නිසා දුකට පත්වෙයි. කලකට වැස්‌ස නැත. කලකට වැස්‌ස වැඩි ය. කලකට අස්‌වැන්න නැත. කලකට අස්‌වැන්න වැඩි ය. කලකට ප්‍රශ්නය පොල් මිලය. තව කලකට ප්‍රශ්නය තෙල් මිල ය. එහෙමත් නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය ය. ඒ මොනවත් නැත්නම් ව්‍යවස්‌ථාව ය.

 මේ සියලු ප්‍රශ්නවලට අමතර ප්‍රශ්නයක්‌ මේ දිනවල මේ රටේ කර්මාන්ත සමාජය තුළ බුබුළු දමමින් පවතී. ඒ වූ කලී සෙරෙප්පු සහ සපත්තු ප්‍රශ්නයකි. ඒ මෙසේයá ඉන්දියානු සෙරෙප්පු කොම්පැණියක්‌ මේ දිනවල සිය නිෂ්පාදන කටයුතු ශ්‍රී ලංකාව තුළ පටන් ගෙන ඇත. වීක්‌සේ රබර් ඉන්ඩස්‌ට්‍රීස්‌ නමැති එම සමාගම මෙරටට පැමිණ ඇත්තේ ආයෝජන මණ්‌ඩලයේ ව්‍යාපෘතියක්‌ ලෙසය. මෙරටට පැමිණි පසු රුපියල් කෝටි දෙකහමාරක ප්‍රාථමික ආයෝජනයක්‌ ද, රුපියල් කෝටියක ද්විතීයික ආයෝජනයක්‌ ද කර ඇති ඔවුහු තම සෙරෙප්පු ශ්‍රී ලාංකික වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කර ඇත. අපගේ දැනුමට අනුව මෙය නීති විරෝධී කටයුත්තකි. ආයෝජන මණ්‌ඩලයේ සමාගම් හෙවත් ඊධෂ සමාගම්වල බඩු පිටරට යවනවා මිස මෙරට තුළ විකුණනු නොලැබේ. වීක්‌සේ යනු දිනකට සෙරෙප්පු ජෝඩු 150,000 ක්‌ නිපදවීමේ ධාරිතාවක්‌ ඇති සමාගමකි. ආයෝජන මණ්‌ඩල සමාගමක්‌ ලෙස මෙරටට අමුද්‍රව්‍ය ගෙන්වන විට ලැබෙන බදු නිදහස පාවිච්චි කර ඔවුන්ට තම සෙරෙප්පු මෙරටදී ඉතා අඩු මිලට ලබා දිය හැකිය. එවිට මේ රටේ සිටින ස්‌වදේශික සෙරෙප්පු සහ සපත්තු කර්මාන්තකරුවන්ට සිදුවන්නේ සෙරෙප්පු නැතිව මහපාරේ හිඟා කන්නට ය.
 
 වීක්‌සේ සමාගම වූ කලී ඉන්දියාවේ ලොකුම සෙරෙප්පු කොම්පැණියයි. 1984 දී පටන් ගන්නා ලද මේ සමාගම නිපදවන VKC සෙරෙප්පු සෑම ඉන්දියානුවන් තිදෙනකුගෙන්ම එක්‌ අයකු පළඳින බව කියනු ලැබේ. ඉන්දියාව යනු නාගරික රාජ්‍යයක්‌ නොව පිටිසර බද රාජ්‍යයකි. පිටිසර මිනිස්‌සු සෙරෙප්පු නො දමති. ඒ අනුව ඉන්දියානුවන් සෑම තිදෙනකුගෙන් එක්‌ අයකුම සෙරෙප්පු දමන්නේ නැත. එසේ නම් සෙරෙප්පු දමන ඉන්දියානුවන්ගෙන් අඩක්‌ම දමන්නේ VKC සෙරෙප්පු ය. ඉන්දියාව වැනි යෝධ රටක සෙරෙප්පු බිස්‌නස්‌ එක ඇල්ලීමට කෙනෙකුට හැකි නම් ලංකාව වැනි පුංචි රටක සෙරෙප්පු බිස්‌නස්‌ එක ඇල්ලීමට ඔහුට ගතවනු ඇත්තේ හය මාසයකටත් අඩු කාලයකි. ඉන්දියාවේ මිනිසුන් මෙන් නොව ලංකාවේ මිනිසුන්ගෙන් 90% ක්‌ ම සෙරෙප්පු දමති. සෙරෙප්පුවලට ඇති විශාල ඩිමාන්ඩ් එක පූජනීය ස්‌ථාන ඇසුරෙහි අත්විඳිය හැකි ය. මෙරට සෙරෙප්පු වැඩියෙන්ම සොරකම් කරනු ලබන්නේ විහාර මලුවට යනු පිණිස ගලවා තැබූ විට ය.
 
 වීක්‌සේ සෙරෙප්පු ගැන කියන විට අපට මතක්‌ වන පරණ කතාවක්‌ තිබේ. ඒ වූ කලී හිටපු ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැති ඒ. ඡේ. රණසිංහ පිළිබඳ කතාව ය. ප්‍රේමදාස යුගයේ දී එම ඇමැති තනතුර දැරූ ඒ. ඡේ. රණසිංහ ජනාධිපති ආර්. ප්‍රේමදාසට මහත් සේ ගරු කළේ ය. දිනක්‌ පූජනීය ස්‌ථානයකට යනු පිණිස ජනාධිපතිතුමා සෙරෙප්පු ගලවා තැබූ විට ඒ. ඡේ. රණසිංහ එම සෙරෙප්පු ඔසවාගෙන පසුපසින් ගියේ ය. මේ ගැන මාධ්‍ය මගින් විමසන ලද කල්හි ඔහු කීවේ තමා ජනාධිපතිතුමාගේ සෙරෙප්පුවලින් සුප් හදා පානය කිරීමට වුවද සූදානම් බව ය. වීක්‌සේ සෙරෙප්පුවල අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාව සෙරෙප්පු වලින් ස්‌වයංපෝෂණය වීමට යන මේ වෙලාවේදී අපට කීමට ඇත්තේ නුදුරේදී ම සෙරෙප්පු සුප් රස බැලීමට සෑම රටවැසියකුටම අවස්‌ථාව ලැබෙන බව ය.

 

One Response to “සෙරෙප්පු සුප්”

  1. Senerath Says:

    Lets pay tribute to these war heroes. This war is the most important, becuase this crime will lead to betrayal of the whole country, in the end.

    පගාව පරාජය කළ ඔවුන්

    බැඳුම්කර කොමිසම ගැන බොහෝ දෙනා උනන්දුවෙති. මහ දවාලේ මහ බැංකුව හොරා කෑ විස්‌තර එකින් එක හෙළි වී ඇත. එහිදී රුපියල් ලක්‍ෂ සිය ගණනින් පගාව ලබා දුන් අයුරු ද හෙළි විය. ලක්‍ෂ සිය ගණනින් පගාව දුන්නද, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ලාභ ලබා ඇත්තේ රුපියල් බිලියන ගණනිනි. පගාව රටම වෙලාගෙන ඇත. ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් පැතිර ඇති මාරක වෛරසයක්‌ ලෙස පගාව හැඳින්විය හැක. මැතිවරණ කාලයේදී ඡන්දය වෙනුවෙන් අමු අමුවේ පගාව දීම සිදු කෙරේ. එය මැතිවරණ නීති කඩකිරීමකි. ඉන්දියාවේ නම් මැතිවරණ අල්ලස්‌ ලෙස වර්ණ රූපවාහිනි බෙදා දුන් පුවතක්‌ ද පසුගියදා අසන්නට ලැබිණි. එහෙත් වර්තමානයේ නම් පගාව දෙන්නටවත් ඉක්‌මනින් මැතිවරණයක්‌ පවත්වන පාටක්‌ ඇත.

    ඊයේ එක්‌ ජාතික පුවත්පතක ප්‍රධාන ඡායාරූපය වූයේ රුපියල් පන්දාහේ, දාහේ හා පන්සියයේ නෝට්‌ටු සිය ගණනක්‌ පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරියකු විසින් මේසයක අසුරන අයුරුය. මේ මුදල් මොනවාද? විශේෂ කාර්ය බළකා නිලධාරියාගේ පඩි සල්ලි නම් නොවේ. විශේෂ කාර්ය බළකා නිලධාරීන් පසුගිය දිනක කේරළ ගංජා කිලෝ හතරක්‌ සමඟ පුද්ගලයන් සිවුදෙනෙක්‌ අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ එයින් බේරීම සඳහා මේ ජාවාරම්කරුවන් ලක්‍ෂ තුනක පගාවක්‌ දීමට උත්සාහ කර ඇත. නීතියේ රැහැනින් මිදීමට ලක්‍ෂ තුනක්‌ විසි කළ ද විනයගරුක මේ නිලධාරීහු මේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත්හ. ඡායාරූපයේ දැක්‌වෙනුයේ ඒ පගා මුදල්aය. විශේෂ කාර්ය බළකා නිලධාරීන් විශද කළ මේ ගුණය අප සැවොම අගය කළ යුතුය. මුදලට ඔවුහු සිය ගරුත්වය පාවා නොදුන්හ. බොහෝ ජාවාරම්කරුවන් නීතියට වැලි ගසා පැන ගන්නේ යහමින් සල්ලි විසි කරමිනි. බොහෝ දෙනා මුදලට වසඟ වෙති. ජාවාරම්කරුවන්ගෙන් අත යටින් මුදල් ලබාගෙන නීතියෙන් මුදවති. නමුත් මේ විනයගරුක නිලධාරීහු එසේ නොවූහ. ලේ වැකුණු මේ මුදල් පිළිsගන්නට ඔවුහු අකමැති වුහ. කේරළ ගංජා ජාවාරම දැන් ඉතා සරුවට සිදු වේ. රට පුරා කෝටි ප්‍රකෝටි ගණනින් වැයකර මේ ජාවාරම සිදුවන අන්දම දැක ගත හැකිය. රටින් මත් උවදුර තුරන් කිරීමේ කාර්යයට ප්‍රමුඛව අත ගසා සිටින විශේෂ කාර්ය බළකා නිලධාරීහු සමස්‌ත රාජ්‍ය සේවයටම වැදගත් ආදර්ශයක්‌ පෙන්වා දී ඇත. එය පොලිස්‌ දෙපාර්තමේන්තුවට ද ආඩම්බරයකි. මේ නිලධාරීන්ගේ විනය ගරුක භාවය රටේ ඉහළ විධායකයේ පවා අවධානයට යොමුවිය යුතු සේම ඔවුනට නිසි ඇගයුමකට ද ලක්‌විය යුතු ය.

    පගාව පරාජය කළ මේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇගයීමට ලක්‌ කළ යුතු වන්නේ සමස්‌ත රාජ්‍ය සේවයටම ආදර්ශයක්‌ ලබා දීම සඳහා ය. එයින් රටටත් වඩා යහපත් පණිවුඩයක්‌ සැපයේ. සැම විටම මුදල් පසුපස යන සමාජයක ඒ සියල්ල පරයා උඩුගං බලා පිහිනන නිලධාරීන් ද සිටින බව රටම දැන ගත යුතුය. බැඳුම්කර වෙන්දේසියේදී ඔත්තු සපයා කෝටි ගණනින් මුදල් ඉපයූ රාජ්‍ය සේවකයන් සිටින රටක මෙවැනි ආරක්‍ෂක අංශ සාමාජිකයන් ගැන අසන්නට ලැබීමම සතුටකි. එදත් එදත් හෙටත් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සිය හැකියාව දක්‍ෂකම මනාව ප්‍රකට කළා සේ ම සිය ගරුත්වය කිසි විටක පාවා නොදුන් බව පැහැදිලිය. ඒ නිසාම ඔවුනට පගාව පරාජය කළ හැකි විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress