මත්තල ඉන්දියාවට විකුණුවොත් රටේ ජනපතිටත් එහේ යන්න ඉන්දියාවෙන් අවසර ගන්න වෙයි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
Posted on October 29th, 2017

මත්තල – දිලීප් එන්. ජයසේකර උපුටා ගැන්ම දිවයින

රටට මේ වෙලාවේ නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නොවන බව මල්වතු අස්‌ගිරි මහනාහිමිවරුන් ඇතුළු රටේ සමස්‌ත විද්වතුන්ම පවසද්දී එයට සවන් දීම රජයේ යුතුකමක්‌ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය.
 
 හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ තිස්‌සමහාරාම බෙරළිහෙළ කුඩාගම්මාන තුන ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයේ පසුගිය දින (24 දා) පැවති ආගමික උත්සවයක්‌ අමතමිනි.
 
 එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
 
 අද මේ ආණ්‌ඩුව කඩිමුඩියේ නව ව්‍යවස්‌ථාවක්‌ ගේන්න කටයුතු කරමින් යනවා. ඒ අතරේ ආණ්‌ඩුවේම ඉන්න ඇමැතිවරු එක එක සැරේට එක එක ප්‍රකාශ නිකුත් කරනවා. වෙලාවකට ව්‍යස්‌ථාවක්‌ ගේන්නේ නෑ කියනවා. තව කෙනෙක්‌ කියනවා මේ කෙටුම්පතක්‌ විතරයි කියනවා. පනතක්‌ නෙමෙයි කියනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ අය එකක්‌ කියනවා. ඊට හාත්පසින්ම වෙනස්‌ කතාවක්‌ යූඑන්පී එක කියනවා. දැන් මේක හරියට අච්චාරුවක්‌ වගෙයි. මේ ආණ්‌ඩුවේ හැමදාම විවාද හා සංවාද විතරයි. වැඩ නෑ. රටේ කිසිදු සංවර්ධනයක්‌ නෑ. මම එදා හදපු අධිවේගී පාරවල් නිසා රටේ නව සංවර්ධනයක්‌ ඇති වුණා. එදා අපිට මතකයි මේ පළාත්වල ජනතාවට පවා ජීවත් වෙන්න සිදු වෙලා තිබුණේ කොටි ත්‍රස්‌තවාදීන්ගේ බියත් එක්‌කයි. කතරගම පවා එදා පාළුවට ගිහින් තිබුණේ. ජන ජීවිත පවා අඩාල වෙලා තිබුණේ. නමුත් අපි අපේ රජය සමයේ නැවත මේ ප්‍රදේශ සංවර්ධනය කරලා පාරවල් ටික හදා දීලා නැවත ජන ජීවිත නගාසිටුවීමට කටයුතු කළා.
 
 මේ රටේ තිබුණු ලොකුම ගැටලුව වුණු ත්‍රස්‌තවාදය අපි සම්පූර්ණයෙන්ම නතර කර දැම්මා. අද පාලකයෝ ඒකත් වැරදි විදියට අර්ථකතනය කරමින් යන බවක්‌ පේනවා. අපි එදා සටන් කළේ කොටි ත්‍රස්‌තවාදින්ට එරෙහිව මිසක්‌ දෙමළ ජනතාවට එරෙහිව නොමෙයි. නමුත් සමහර අය කරන කියන ප්‍රකාශ දැක්‌කම දුකත් හිතෙනවා. එදා ත්‍රස්‌තවාදීන් විසින් පන්නලා දාපු සිංහල, මුස්‌ලිම්, දෙමළ ජනතාවට නැවත තමන්ගේ ගම් බිම්වලට යන්න පුළුවන් අවස්‌ථාව උදා කර දුන්නේ අපේ රජය සමයේදීයි. කොටි ත්‍රස්‌තවාදීන් නිසා දුක්‌ විඳපු දෙමළ ජනතාවටත් අද නිදහස ලැබිලා තියෙනවා. එදා ත්‍රස්‌තවාදීන් සමග සටන් කරපු රණවිරුවො දංගෙඩියට ගෙනියන්න ඇතැම් අය කටයුතු කරමින් සිටීමත් කනගාටුවට කරුණක්‌. එදා යුද්ධ කරපු මේ රණවිරුවෝ කවුරුවත් කිසිම නීතියක්‌ උල්ලංඝනය කර නෑ. එදා අපි ඇති කරපු සාමය ඒ අයුරින්ම රැකිය යුතුයි. අපි දකිනවා අද සමහරු දකුණේ ඉඳන් එකක්‌ කියලා උතුරට ගිහින් බලය බෙදන්න ඕනේ කියනවා. අද රටේ ඕනෙම කෙනෙකුට රටේ ඕනම තැනකට බයක්‌ සැකක්‌ නැතිව ගිහින් එන්න පුළුවන්. ඒ තත්ත්වය ඇති කළේ අපේ රජය කාලෙයි. කවුරුත් කරන්න බෑ කිව්ව යුද්ධය තමයි මං අවසන් කළේ.
 
 මේ පළාත් දියුණු කරන්න අපි මේ පළාත කේන්ද්‍ර කරගෙන මත්තල ගුවන්තොටුපල ආරම්භ කළා. එදා මත්තලට දිනකට ගුවන් යානා 24 ක්‌ ආවා. නමුත් මේ ආණ්‌ඩුව අද ඒ ගුවන් යානා එන එක නතර කර දැම්මා. මත්තල ගුවන්තොටුපළ වී ගබඩාවක්‌ කළා. දැන් පාඩුයි කියලා විකුණන්න යනවා. ඒකට විරුද්ධව හම්බන්තොට ජනතාව පාරට බැස්‌සම මේ ආණ්‌ඩුව මොකද්ද කළේ. විරෝධතාවයට ආව කියලා මේ පළාතේ ඉන්න කාන්තාවෝ පවා අල්ලලා ගිහින් හිරේට දැම්මා. අද ඒ අය හිරබත් කනවා. මමත් ගියා ඒ ජනතාව බලන්න. ඒ වෙලාවේ මන් ඒ අයගෙන් ඇහුවා මොකද්ද කළ වරද කියලා. ඒ වෙලාවේ ඒ අය කිව්වේ ජයවේවා කියලා කිව්වා. ඉතින් අල්ලලා ගෙනත් කුඩුවට දැම්මා කිව්වා. සමහරු මේ මොකවත් දන්නේ නෑ. පාරේ නිකන් ඇවිදගෙන ගියපු අය. ඒ යන ගනමන් අල්ලගෙන ඇවිත් රිමාන්ඩ් කළා කිව්වා. මත්තල විකුණනවා කියන්නේ භූමියයි ගුවනයි දෙකම විනාශයි කියන එකයි. මත්තල විකුණුවොත් අනාගතයේ මේ රටේ ජනාධිපතිටත් මත්තලට යන්න ඉන්දියාවෙන් අවසර ගන්න වේවි. අපි මේවා ආරම්භ කළේ කාටවත් විකුණගෙන කන්න නෙමෙයි. මේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙනුයි.
 
 මේ රටේ මහා සංඝරත්නය මේ වන විට එක තැනකට එක මතයකට එක්‌ වෙමින් තියෙනවා බුදු දහම රැකගැනීම වෙනුවෙන්. බුදු දහමට තියෙන තැන කිසිසේත්ම වෙනස්‌ කරන්න නැති කරන්න දෙන්න පුළුවන්කමක්‌ නෑ. රටේම පන්සල් ආශ්‍රිතව තව තවත් ගුණ දම් වැඩෙනා සමාජයක්‌ නිර්මාණය විය යුතුයි. අද දුටුගැමුණු රජතුමාගේ චරිතය පවා ඇතැම් නාලිකාවල මහා සල්ලාලයෙක්‌ විදියට ටෙලිනාට්‍ය හදලා පෙන්වන්න හදනවා. මේවාගෙන් වෙන්නේ මේ රටේ දුවා දරුවන්ගේ මනස සෝදා පාළුවට ලක්‌ වෙන එකයි. පන්සල වටා දරුවන් එක්‌ රොක්‌ විය යුතුයි.නැති වුණොත් වෙන්නේ අනාගත දරු පර පුර යන්ත්‍ර සූත්‍ර ගානට වැටෙන එකයි.
 
 අද රටේ මැතිවරණ පේන තේක්‌ මානයකවත් නෑ. ආණ්‌ඩුවත් දවසෙන් දවස මැතිවරණ කල් දමමින් යනවා. රජයත් දැන් දන්නවා මේ වෙලාවේ මැතිවරණයක්‌ තිබ්බොත් වෙන්නේ මොකද්ද කියලා. මේ නිසා ආණ්‌ඩුව විවිධ දේ කියමින් දවසෙන් දවස මැතිවරණ කල් දමනවා.
 
 මේ අවස්‌ථාව සඳහා ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරධිපති ශාස්‌ත්‍රපති මැටරඹ හේමරතන නාහිමි, තිස්‌සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමි, හිටපු කථානායක චමල් රාජපක්‌ෂ ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress