දළපූට්‌ටුවාත් ඉවරයි…මහා අපරාධය පිටුපස ඉන්නේ කවුද..?යහපාලන ආණ්‌ඩුවේ ම බලවතෙකුද?
Posted on December 3rd, 2017

බුලිත ප්‍රදීප් කුමාර උපුටා ගැන්ම දිවයින
ඡායාරූප – මහගල්කඩවල සේනක ඉලංගකොන්, නිෂාන් ජිනේන්ද්‍ර හා ශෂිකලන රත්වත්ත

ගල්ගමුව දළ පූට්‌ටුවාගේ අවාසනාවන්ත ඉරණම සම්බන්ධයෙන් පසුගිය දිනවල අපට තිබූ සියලු සැක සංකා මේ වන විට පහව ගොස්‌ අවසන්ය.

  වලාන පොලිස්‌ දූෂණ මර්දන ඒකකය විසින් පොල්පිතිගම නිකවැව පන්සල තුළදී පසුගිය 23 වනදා කෙරුණු ගනුදෙනුවක්‌ මත අත්අඩංගුවට ගැනණු මිල කළ නොහැකි.. ගජමුතු හය හා ඇත් දළ යුවල මේ දළ පූට්‌ටුවා ගේම බව දැන් ඔප්පු වී හමාරය. එසේම ඒ දළ යුවල හා ගජමුතු කට්‌ටල 3 කැලේ ස්‌වභාවික ලෙස මැරී සිටි හස්‌තියකුගෙන් ලබා ගත්තක්‌ නොව, ඉතා සැලසුම් සහගතව වනයේ දී කොටු කර මරා බිම හෙලන ලද හස්‌තියෙකුගෙන් අමු අමුවේම උගුලා ගන්නා ලද සම්පතක්‌ බවද දැන් තහවුරු වී අවසන්ය.

dalaputtu
 
 dalaputtuwaමේ සියල්ල ඉතාමත්ම සූක්‌ෂමව කාලයක්‌ තිස්‌සේ සැලසුම් කර, ගල්ගමුවේ දළ පූට්‌ටුවා යන එන තැන් නිරීක්‌ෂණය කර ඉවසීමෙන් යුතුව කරන ලද මෙහෙයුමක්‌ බව ද දැන් තොරතුරු තහවුරු කරගෙන ඇත.
 
 මහ කැලේ මැද කිසිවෙකුටත් ඉව නොවැටෙන සේ මේ මහා අපරාධය කර අවසන් වී ඇත් කුණ කැලයේ හැර දමා ඇත්දළ හා ගජමුතු පමණක්‌ වනයෙන් පිටතට ගෙන ගොස්‌ තිබේ. දල යුවළත් ගජමුතු කට්‌ටල 3 ත් නිකවැව වෙද හාමුදුරුවන්ගේ පන්සලට හෝ වෙනත් යම් ආරක්‌ෂිත ස්‌ථානයකට රැගෙන ගිය බවද පැහැදිලිය. සියලු සැලසුම් නිසි පරිදි සිදු වී තිබියදීත් වැඩේ කෙස්‌ ගහෙන් වැරදී ගොස්‌ තිබුණේ මේ මිල කළ නොහැකි වස්‌තු සම්භාරය රුපියල් ශත බවට පරිවර්තනය කරන්නට කළ සැලසුමේදීය.
 
ජාවාරම්කරුවන්ට කොතනක හෝ අංශු මාත්‍රයක්‌ වරදින්නට ඇති බව පැහැදිළිය. ඒ අනුව දෙරණ උකුස්‌සා වැඩ සටහනට ලැබුණු විශ්වාසදායක තොරතුරක්‌ මත සංවිධානය වූ මාධ්‍ය කණ්‌ඩායම හා පානදුර වලාන දූෂණ මර්දන ඒකකය ක්‍රියාත්මක නොවන්නට නිසැකයෙන්ම මේ මහා අපරාධයද සෙසු වනසත්ව අපරාධ ගොන්නට එක්‌ වී අතීත අපරාධ හමස්‌ පෙට්‌ටියේ පතුලේ සැඟවී යනු නිසැක ය. එහෙත් මාධ්‍යවේදීන්ගේ උකුසු ඇසින් හා වලාන දූෂණ මර්දන ඒකකයේ සැලසුම් සහගත වැටලීමෙන් මිදී පලා යන්නට අපරාධකරුවන්ට නොහැකි විය. තවත් සැලසුම් සහගත වනසත්ව අපරාධයක්‌ සහ අහස පොළව නූහුලන තරමේ සාහසික ක්‍රියාවක සුලමුල පමණක්‌ නොව, මේ රටේ වඳ වෙමින් යන වන අලි සම්පතේ අනාගතය අඳුරු කරවන රහසිගත ඇත්දළ ජාවාරමේ සුළමුල ද ඉකුත් 24 වන වනදා සිදු කරන ලද මේ මහා මෙහෙයුමත් සමගම හෙළදරව් වන්නට පටන් ගත් බව පැහැදිළිය.
 
 dalaputtuwa1පොල්පිතිගම දී අත්අඩංගුවට ගනු ලැබූ ඇත් දළ යුවලත් ගජමුතු කට්‌ටල තුනත් පිළිබඳ ප්‍රවෘත්තිය දෙරණ රූපවාහිනියෙන් ප්‍රචලිත වීමත් සමඟම මේ රටේ වන සත්ව නිලධාරීන් හා පරිසරවේදීන් කඩිගුලක්‌ ඇවිස්‌සුනා සේ කලබල වන්නට වූහ .ඒ වන විට සති දෙක තුනක සිට ගල්ගමුවේ දළ පූට්‌ටුවා පිළිබඳ ආගිය තොරතුරක්‌ නොමැති වීම තුළ සමහරු කළබලයට පත් ව සිටියහ. තතු දත් සමහරු සැක පහළ කරන්නට වූයේ මේ ඇත් දළ යුවල නිසැකවම ගල්ගමුවේ දළ පූට්‌ටුවාට අයත්ය කියාය. ලංකාවේ අලි ඇතුන්ට මහත් සේ පෙම් බඳිමින් වන සංචාරයේ හා වනසත්ව ඡායාරූපකරණයේ යෙදෙන මා මිත්‍ර ලසන්ත මුණවීර මට කතා කළේ මේ අතරතුරය.
 
 අන්න ගල්ගමුවේ දළ පූට්‌ටුවාත් මරාදාලා. උගේ දළ දෙක විකුණන්න සූදානම් කරල තියෙද්දි පොලිසිය අල්ලගෙන. දැන් ඇතාට මොනවද වුණේ කියලා කවුරුත් හොයනවා. බලන්න ෆේස්‌බුක්‌ එක. නරකද මේ ගැන පත්තරේට ලිපියක්‌ ලිව්වොත්….
 
 ඔහු මට අන්තර්ජාලයේ තිබූ තොරතුරු කිහිපයක්‌ එවා අලුත් මිතුරකු ද හඳුන්වා දුන්නේය. ශෂිකලණ රත්වත්තේ නමින් හඳුන්වා දෙනු ලැබූ ඒ වනසත්වවේදියා ලියන ලද, අන්තර්ජාලයේ පළවූ ලිපි කීපයක්‌ ද ලසන්ත මට එවා තිබිණි.
 
මේ සම්බන්ධයෙන් විස්‌තර ලබා ගැනීමට නම් ඒ සදහා සුදුසුම පුද්ගලයා කවුරුන්ද යනු මා දැන සිටියේ ය. ඒ විල්පත්තුවේදී අපි හඳුනාගත් වනජීවී නිලධාරියකු වූ ඩී. රාමසිංහ මහතා ය. මේ දිනවල ඔහු කලාවැව ජාතික වනෝද්‍යානයේ ගල්කිරියාගම වනජීවී සංරක්‌ෂණ කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්‌ෂකයා ලෙස කටයුතු කරන බව මට මතක්‌ විය. මම ඔහුට කතා කළෙමි. 28 වැනිදා මම ඔහුට දුරකථනයෙන් අමතන විට ඔහු සිටියේ ගල්ගමුවේ හස්‌ති රාජයා වෙනුවෙන් පවත්වනු ලබන පරීක්‌ෂණ වල කොටස්‌ කාරයෙකු ලෙස සහභාගී වෙමිනි. ඔහු වනාන්තරයේ ලොකු රාජකාරියක්‌ කරමින් සිටින බව මට වටහා ගත හැකි විය. ඉන්පසු ඉඩක්‌ ලද හැම මොහොතක වහාම ඔහු මා වෙත දුරකථනයෙන් සම්බන්ධ වූයේ ඔහුගේ තිබෙන හිත හොඳකම නිසා ය.
 
 පසුගිය 24 වැනිදා වැනිදා පොල්පිතිගමදී අල්ල ගත්තු ඇත් දළ යුවළ අපි ප්‍රවෘත්ති විකාශයෙන් දකිනකොටම අපට ඒ ගැන ලොකු සැකයක්‌ ඇති වුණා. මා සමග කටයුතු කරන වනජීවී නිලධාරීන් හුඟක්‌ දෙනෙක්‌ මේ ගල්ගමුවේ දළ පූට්‌ටුවාව හොඳට දන්නවා. ඒ අයත් මගේ සැකය තහවුරු කළා. මේ දළ පූට්‌ටුවා ගේ දල දැක්‌ක ගමන්ම ඒවා දළ පූට්‌ටුවාගේ බව සමහරු ලොකු විශ්වාසයකින් කිව්වා .
 
 ඊට පස්‌සේ අපි අන්තර්ජාලය ඔස්‌සේත් දෙරණ රූපවාහිනියට සම්බන්ධ වෙලා ඒ ඡායාරූප නැවත ලබා ගත්තා. නිසැක වශයෙන්ම ඒවා දළ පූට්‌ටුවාගෙම බව දැනගත්තු අපිට පුදුමාකාර වේදනාවක්‌ දැනෙන්න පටන් ගත්තා.
 
 පහුවදාම මේ පිළිබඳව අපි ඉහළ නිලධාරීන් දැනුවත් කරන්න කටයුතු කළා. ඊට පස්‌සේ තමයි අපි අපේ වනජීවී කාර්යාල හතරක නිලධාරීන් යොදවලා ගල්ගමුවේ දළ පූට්‌ටුවා ට මොනවා වෙලාද කියලා තොරතුරු හොයන්න පටන් ගත්තේ. රාමසිංහ පසුබිම විස්‌තර කළේ එසේය.
 
 සාමාන්‍යයෙන් දළ පූට්‌ටුවා ප්‍රකටව සිටියේ ගල්ගමුව වැව් තාවලු වල හා ගොවිබිම් ආශ්‍රිත ප්‍රදේශ වල නිතර දක්‌නට ලැබෙන කාටවත් කරදරයක්‌ හිරිහැරයක්‌ නැති අහිංසක හස්‌තිරාජයකු ලෙසය. එහෙත් මීට සති තුනකට පමණ පෙර අවසන් වරට හේරත්ගම වැව් පිටියකදී දුටුවාට පසු ඔහුව දුටු කෙනෙක්‌ සොයා ගත නොහැකි විය. සැප්තැම්බර් මාසය අග භාගය වන වට මේ හස්‌තියා ගල්ගමුව සියඹලා වැව ප්‍රදේශයේ සංචාරය කළ බවට තොරතුරු තිබුණි. ඔක්‌තෝම්බර් මාසයේ මැද පමණ වන විට මේ දළ පූට්‌ටුවා සියඹලන්ගමුව බෝගමුව මීගලෑව ප්‍රදේශයේ ඇවිදිමින් සිටි බවට ද වාර්තා වී තිබිණි. ඔක්‌තෝම්බර් මාසයේ අවසානයේදී මේ හස්‌තියා හේරත්ගම ප්‍රදේශය දක්‌වා පැමිණ තිබූ අතර පළමුව හේරත්ගම වනජීවී කාර්යාලය අවට ප්‍රදේශයද සැරිසරමින් සිටි බවට තොරතුරු ලැබී තිබිණි. ඉන් දින කීපයකට පසුව මේ සතා හොරොව්වැවේ වැව් තාවුල්ලට එපිට හේන්යාය මතින් කහල්ල පල්ලෙකැලේ අභය භූමිය ප්‍රදේශය දක්‌වා ගමන් කරනු දුටු අය ද සිටියහ. ඒ අනුව ගල්ගමුව හස්‌ති රාජයා මිනිස්‌ ඇසින් අවසන් වරට දැක ඇත්තේ හේරත්ගම මේ කියන හේන්යාය හරහා කහල්ල පල්ලෙකැලේ අභය භූමි ප්‍රදේශය වෙත යමින් සිටින විටදීය.
 
 මේ සිදුවීම වූයේ මීට සති තුනකට පමණ පෙරදී බව වන සත්ව අඩවි ආරක්‌ෂක රාමසිංහ පවසයි. මේ තොරතුරුවලට අනුව වනජීවී නිලධාරීන් කණ්‌ඩායම් හතරකට බෙදී කැලෑ වැදුනේ ගල්ගමුව හස්‌තියා පිළිබඳ යම් සතුටුදායක තොරතුරක්‌ සොයා ගත හැකිවේද කියා විමසා බලන්නට ය. ඒ වන විට වනසත්ව ලෝලීන්ගේ මෙහෙයවීමෙන් රටේ ලොකු ආන්දෝලනයක්‌ ඇතිවී තිබුණේ නිසැකවම මේ ඇත්දළ ගල්ගමුවේ දළ පූට්‌ටුවා ට අයත් බව විශ්වාස කරමිනි.
 
 25, 26, 27, දවස්‌ වල අපි මෙන්න මෙහෙම කැලේ හොයමින් ඉන්න අතරේ මට දුරකථන ඇමතුම් කිහිපයක්‌ ආවා. කතා කරපු අය අතරින් එක්‌කෙනෙක්‌ තමයි සජි¨ත් ප්‍රේමදාස මැතිතුමා. එතුමන්ට කවුරු හරි මං ගැන කියලා තියෙනව. එතුමා මෙහෙම කිව්වා.
 
 රාමසිංහ ගැන මම දන්නවා. ඔයාලා වෙනුවෙන් අවශ්‍ය ඕනම දෙයක්‌ මම කරන්නම්. ඕනම තැනක පෙනී ඉන්නම්. කොහොම හරි මේ ඇතා ගැන තොරතුරක්‌ හොයාගන්න.
 
 එතුමා එහෙම කියනකොටත් අපි මේ ගැන හොයන්න කණ්‌ඩායම් හතරක්‌ වැඩ ආරම්භ කරලයි තිබුණේ. මම ගල්කිරියාගම කාර්යාලයේ මගේ සේවක පිරිසත් එක්‌ක ගිහින් හිටියා. හේරත්ගම කාර්යාලයෙන් වීරකොන් මහත්තයා ඇතුළු කණ්‌ඩායම ඇවිත් හිටියා. මීගලෑව කාර්යාලයෙන් අභයරුවන් මහත්තයා පිරිස එක්‌ක ඇවිල්ල හිටියා. ගල්ගමුවෙන් රෝහිත මහත්තයා පැමිණියා. විශේෂ කාර්ය බලකායයි අපියි සිවිල් ආරක්‌ෂක බලකායයි පොලිසියයි පරිසරවේදීන් කට්‌ටියයි ඔක්‌කොම එකතු වෙලා මේ පැත්තේ කැලෑ පීරමින් ඇතාට මොකද උනේ කියල හොයන්න පටන් ගත්තා. ඒ විතරක්‌ නෙවෙයි. 28 වැනිදා අපි මේ දළ යුවල ගල්ගමුවේ ඇතාගෙමයි කියලා කරුණු දක්‌වමින් මහව උසාවියේ නඩුවකුත් ගොනුකළා.
 
මේ අතර පොල්පිතිගම පොලිසිය ඇත්දළ යුවළ සමග අල්ලා ගන්නා ලද හේරත්ගම ග්‍රාම සේවකවරයා වත් අනික්‌ සැකකරුවා වත් මහව උසාවියට ඉදිරිපත් කර තිබිණි. සැකකරුවන් දෙදෙනාව 28 වැනිදා දක්‌වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන්නට උසාවිය නියෝග කර තිබිණි. වන ජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව නඩුව ගොනුකර තිබුණේ ද ඒ අතරය. මේ දළ යුවළ ගල්ගමුවේ දළ පූට්‌ටුවා ගේ බව විශ්වාස කරන බව ඒ සඳහා සාක්‌ෂි ඉදිරිපත් කරමින්, මෙම දළ දෙක ලබාගැනීම සඳහා ඉහත කී සැකකරුවන් දෙදෙනා අදාල දළ පූට්‌ටුවා මරා දමා ඇතැයි උසාවියට පෙන්වා දී තිබිණි. මේ සඳහා ඡායාරූප ඇතුළු අනෙකුත් විද්‍යාත්මක සාක්‌ෂි ද වනජීවී නිලධාරීන් ඉදිරිපත් කරනු ලැබූහ. 
 
 කෙසේ වෙතත් මේ වනවිට පොලිසියේ ක්‍රියාකාරිත්වය පිළිබද ජනතාවට හා පරිසරවේදීන්ට පමණක්‌ නොව වනජීවී නිලධාරීන්ට ද සැක සංකා හා ප්‍රශ්න පැන නැගී තිබිණි. අලියකු ඇතකු වන සතෙකු මරා දැමීම සාමාන්‍ය නීතියට අනුව දැනෙන්නේ අපරාධයක්‌ ලෙසය. දුර්ලභ දළ යුගළක්‌ හා ඉතා වටිනා ගජමුතු 6 ක්‌ විකිණීම සඳහා ඉදිරිපත් කර තිබියදී පොලීසිය මැදිහත්ව සැකකරුවන් දෙදෙනෙක්‌ අත්අඩංගුවට ගත් බව සැබෑය. එහෙත් එම ගනුදෙනුව සඳහා පහසුකම් සැලසූ නිකවැව පන්සලේ වෙද හාමුදුරුවන් වෙනුවෙන් කරන ලද රාජකාරිය කුමක්‌ද. අපරාධයක්‌ කිරීම මෙන්ම අපරාධයක්‌ කිරීමට අනුබල දීමද වරදකි. ඒ සඳහා පහසුකම් සැලසීම ද බරපතළ වරදකි. අපරාධයක්‌ පිළිබඳ තොරතුරු වසන් කරමින් අපරාධකරුවන්ට සහය දැක්‌වීම ද වරදකි. නිකවැව පන්සලේ වෙද හාමුදුරුවෝ කොයි තරම් දේශපාලන බලපුළුවන්කාර කම් තිබුණත්, කොයිතරම් දේශපාලඥයෝ හඳුනාගෙන සිටියත් කර ඇති වරද නම් සුළුපටු නොවේ. එසේ නම් උන්වහන්සේට එරෙහිව ද නීතිය ක්‍රියාවේ යෙදවිය යුතුය. එහෙත් පොලිසිය මේ හිමිනම වෙනුවෙන් ක්‍රියාත්මක කළ නීතිය කුමක්‌ද. 
 
 මේ ඇත්දළ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හේරත්ගම ග්‍රාමසේවකයා සමග නිකවැව පන්සලේ වෙද හාමුදුරුවෝ පවත්වන ඇසුර ගමේ නොදන්නා කෙනෙක්‌ නොමැති තරම් ය. හාමුදුරුවන්ගේ සෑම වැඩකදීම පෙරමුණ ගෙන ක්‍රියා කරන්නේ මේ ග්‍රාමසේවකයාය. හාමුදුරුවන්ගේ රියෑදුරු නැති සෑම අවස්‌ථාවකම රියදුරා ලෙස ද සේවය කරන්නේද ඔහුය. එපමණක්‌ නොව, අනෙකුත් පුද්ගලික උවමනා එපාකම් ඉටු කර දෙන්නට විශ්වාසදායක ළඟම හිතවතා මෙන්න ළගම සේවකයාද ඔහුය. එබැවින් ස්‌වාමීන්වහන්සේගේ මේ ග්‍රාමසේවක නොදන්නා රහසක්‌ නොමැති සේම හාමුදුරුවන් ග්‍රාමසේවක ගැන නොදන්නා රහසක්‌ ද නැත. මෙවන් මහා දරුණු අපරාධයක්‌ සොරකමක්‌ ග්‍රාමසේවක මැදිහත්වී කරයි නම් එහි එක්‌ කෙළවරක්‌ නිසැක වශයෙන්ම මේ වෙද හාමුදුරුවෝ ද අල්ලාගෙන සිටියා නිසැකය. 
 
 මේ බව තහවුරු කරන්නට මෙන්ම සැක සංකා නොමැතිව කියන්නට වනජීවී නිලධාරීන්ට මෙන්ම ගම්වැසියන් අතරද ප්‍රමාණවත් තොරතුරු බොහෝ තිබේ. මේ ග්‍රාමසේවකට අදාල පත්වීම ලබා දෙන්නේද හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් බව ගම්මු කියති. එපමණක්‌ නොවේ .කිසිදු සුදුසුකමක්‌ නොමැතිව ග්‍රාමසේවකවරයාගේ අක්‌කාට තවත් ග්‍රාමසේවක පත්වීමක්‌ ලබා දෙන්නට මැදිහත් වන්නේ ද හාමුදුරුවෝ ය. 
 
 පොලිසිය අපරාධකරුවන්ගෙන් නිවැරදි තොරතුරු ලබා නොගත් නිසා මේ වැසි සමයේ කහල්ල පල්ලෙකැලේ අභය භූමිය පීරමින් දළ පූට්‌ටුවා පිළිබඳ තොරතුරු විමසන්නට වනජීවී නිලධාරීන්ට සහ ආරක්‌ෂක අංශවලට සිදු විය. 28 වනදා දවසම කරනු ලැබුවේ ග්‍රාමසේවකවරයාගේ පියාට සහ පියාගේ සහෝදරයා ට අයත් යෑයි කියන හේරත්ගම හේන්යායේ ඉඩම්වල අලුත සුද්ද කරන ලද ප්‍රදේශවල තොරතුරු සෙවීමය. පසුගිය දිනවල එම හේන් යායේ බැකෝ යන්ත්‍රයක්‌ ගෙනැවිත් මෙම ඉඩම්වල කැලෑ එළිපෙහෙළි කර තිබූ නිසා හස්‌තියාගේ ශරීර කොටස්‌ එහි වලදමා ඇත්දැයි සොයන්නට වගකිවයුත්තන්ට සිදුවිය. 
 
 ඉන්පසුව සමීක්‌ෂණ කණ්‌ඩායම් හතරේම අවධානය යොමු වූයේ කහල්ල පල්ලෙකැලේ අභය භූමිය පීරන්නට ය. 29 වන දා පාන්දර සිට මහ වැසි නොතකමින් ඒ රාජකාරියේ රණසිංහ ඇතුළු වන සංරක්‌ෂණ නිලධාරී කණ්‌ඩායම් යුහුසුළු වූහ. සිවිල් ආරක්‌ෂක බලකාය හා විශේෂ කාර්ය බලකායේ මෙන්ම වනජීවීන් පිළිබඳ ඇල්මක්‌ උනන්දුවක්‌ දක්‌වන පරිසර ලෝලීන් විශාල පිරිසක්‌ ද මේ සඳහා සහභාගි වී සිටීම විශේෂත්වයක්‌ විය.
 
 අවසානයේ 29 වන බදාදා දහවල් කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ හෙරෙව්වැව වැව් තාවුල්ලෙ විමර්ශන කටයුතු වල යෙදුණු කණ්‌ඩායමට ඇත්දළ ගලවාගෙන අතහැර දමා තිබුණු ගල්ගමුව දළ පූට්‌ටුවා ගේ දැවැන්ත ශරීරය සොයා ගන්නට හැකි විය.
 
 සති තුනක්‌ පමණ කල් යැම නිසාත් ප්‍රදේශයට බලපා තිබූ මහා වර්ෂාවත් නිසා හස්‌තියා ගේ ශරීරයේ සැලකිය යුතු කොටසක්‌ ජරාජීර්ණ වී, දිය වී මහ පොළොවට එක්‌ වී තිබෙන අයුරු දැකගත හැකි විය. එනමුත් ඒ සිරුර දළ පූට්‌ටුවා ගේ ම බව ඔප්පු කළ හැකි සාධක රාශියක්‌ එහි තිබිණි.
 
 ගල්ගමුවේ රජා හෙවත් ගල්ගමුවේ දළ පූට්‌ටුවා මරා දමා දැන් සති තුනකට වඩා ගතව ගොස්‌ අවසන්ය. එහෙත් මේ මහා වන අපරාධය කරන ලද්දේ කවුරු විසින් ද කියා සොයා ගැනීමට අවශ්‍ය ප්‍රබල සාක්‌ෂි දෙකක්‌ දැනටමත් පොලීසියට තිබේ. දෙදෙනකු අත්අඩංගුවට පත්වී පසුව තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අවසන් ය. සියලු අපරාධ වලට උපදෙස්‌ ලබාදුන් බවට විශ්වාස කරන නිකවැව පන්සලේ වෙද හාමුදුරුවෝ තවමත් නිදැල්ලේය. උන්වහන්සේ දැනටත් පන්සලේ නිදහසේ හැසිරෙමින් අවශ්‍ය හැම විටම වාරියපොල බන්ධනාගාරයට ගොස්‌ තම ගෝල බාලයන් ගේ දුක සැප බලමින් කිසි කරදරයකින් හිරිහැරයකින් තොරව වැඩ වාසය කරති. පොලිසියේ නීතිය උන්වහන්සේ වෙනුවෙන් මේ තරම් තදට නැමෙන්නේ මොන දේශපාලන බලවතාගේ බලපෑම පිට දැයි අපි තවම නොදනිමු. එහෙත් මේ සත්‍ය හෙළි කර නොගතහොත් යහපාලන ආණ්‌ඩුවේ සායම ගල්ගමුව දළ පූට්‌ටුවා ගේ ශරීරය දියවී ගියා සේ, ඊටත් වඩා හොඳින් දිය වී යන ප්‍රබල කාරණාවක්‌ ම වනු නිසැකය.
 
 ප්‍රදේශවාසීන් පවසන පරිදි ගල්ගමුව දළ පූට්‌ටුවා කිසිවකුටත් කරදරයක්‌ හිරිහැරයක්‌ නැති අවිහිංසක දිවි පෙවෙතක්‌ ගතකළ හස්‌ති රාජයෙකි. වෙඩිල්ලක්‌ වැදී උගේ දකුණු ඇස නොපෙනීම ඊට එක්‌ හේතුවක්‌ බව ද ජනතාව පවසති. කැලෑ මාර්ග ඔස්‌සේ ආහාර සොයා ගෙවතුවලට ඇදෙන මේ සතා ගොවියන් විසින් සපයා දෙන ආහාරයක්‌ ගිල දමා ආපසු වනයට යන සරල දිවි පෙවතක්‌ ඇත්තෙකු බව කියති. ඔහු දිගටම ගල් ගමුව වනජීවී කලාපය තුළ සැරි සරමින් ඒ ඒ ගම්වල ගොවි ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ බව කියන්නට අද ජනතාව මැලි නොවෙති 
 
 එහෙත් වනජීවී නිලධාරීන්ගේ නිරීක්‌ෂණවලට අනුව මේ හස්‌තියා අද වන විට වන විට වසර 55කට වඩා වයස, ජීවිතයේ සවස්‌ යාමය ගෙවන දැවැන්තයෙකි. අඩි 9 කට වඩා උස්‌ දැවැන්ත ශරීරයක්‌ මේ හස්‌තියාට හිමිය. නෙත් අඳව සිටියත් දිනකට කිලෝමීටර් 15 ක්‌ පමණ ප්‍රමාණයක්‌ ඇවිදින්නට මේ සත්ත්වයා සමත්ය.
 
 ගල්ගමුව දළ පූට්‌ටුවාගේ වර්තමානය මෙසේ වුවත් අතීතය නම් මේ තරම් අවිහිංසක නැති බව වනජීවී නිලධාරීන් පවසයි. මීට වසර කිහිපයකටපෙර එනම් 2011 දී පමණ පෙර එක්‌ දඩයක්‌ කාරයෙකුගෙ වෙඩිල්ලක්‌ හේතුවෙන් ඇතාගේ දකුණු ඇස සම්පූර්ණයෙන්ම ආබාධයට පත්වී ඉන් කෝපයට පත් හස්‌තියා ගම්මානවලටත් පාරේ ගමන් කළ වාහන වලටත් එක දිගට පහරදුන් බවට තොරතුරු තිබේ. 2011 වෙසරේදී කැකිරාව මඩාටුගම, පුබ්බෝගම ප්‍රදේශවල පාරවල් වල සැරි සරමින් වාහන වලට පහර දුන් චණ්‌ඩ හස්‌තියා මොහුම බව වනජීවී නිලධාරීන් පවසයි. එහෙත් කාලයත් සමඟම ඔහු ඉතාම අහිංසක සතෙකු බවට පත් වී යයි දීර්ඝකාලීන නිරීක්‌ෂණයෙන් සිටි වනජීවී නිලධාරීන් කියයි. අද මේ හස්‌තියාගේ නුගුණ කිසිවෙක්‌ කියන්නේ නැති තරම්ය. කාටවත් කරදරයක්‌ නැති අහිංසක දිවි පෙවෙතකින් යුතු බව කියන්නට පමණක්‌ ගැමියාගේ ගැමි විඥානය පොහොසත්ය.
 
 මේ ගල්ගමුව දළ පූට්‌ටුවා මෙසේ සංචාරයේ යන අලි ඇතුන් කණ්‌ඩායම් වලට අයිති නැත. ඒ ඌට සිය ඇස්‌ නොපෙනීම නිසා මේ තරම් දුරක්‌ ඇවිද යන්නට ඇති නොහැකියාව නිසාය. එහෙත් ගල්ගමුව කලාපය තුළ බොහෝ දුර ඇවිද යාම ඔහුට ලොකු ගැටලුවක්‌ වන්නේ නැත. මේ හේතුවෙන් ගල්ගමුව දළ පූට්‌ටුවා මේ ප්‍රදේශයේ නිසැක ව ම දක්‌නට ලැබෙන සුලභ හස්‌තියකු මෙන්ම සුලභ දර්ශනයක්‌ වී තිබූ බව පැහැදිලිය. අඩි 9 ක්‌ පමණ උස ශරීරයත් දැවැන්ත විලාශයත් කලබලයක්‌ නැති හැඩකාර ගමනත් අඩි හතරහමාරක්‌ දිග දුර්ලභ දළ කට්‌ටලයත් වනයේ හැසිරෙන සංවේදී විලාසයත් නිසා පරිසරවේදීන්, පරිසර රසිකයන්, පරිසර ඡායාරූප ශිල්පීන් මේ හස්‌තියාට මහත් ආදරයක්‌ දක්‌වති. හස්‌තියාගේ වියෝව මේ හැමෝටම දරාගත නොහැකි දුකක්‌ වී ඇත්තේ ඒ නිසාය.
 
 අද ගල්ගමුවේ මේ මහා විශාල වනසත්ව අපරාධයට වගඋත්තරකරුවන් වී ඇත්තේ ග්‍රාමසේවකවරයෙක්‌, පොලිසියේ හිටපු පොලිස්‌ නිලධාරියෙක්‌ හෙවත් රියෑදුරෙක්‌, හස්‌තියාගේ දළ ගැලවීමට උදව් කළ තවත් දෙදෙනෙක්‌ ආදී කිහිප දෙනෙක්‌ පමණි. මෙහෙයුමේ මහ මොළකරු කවුදැයි කියා තවමත් සොයා ගන්නට පොලිසිය අසමත් ව තිබේ. සියලු කටයුතුවලට මේ අපරාධකරුවන්ට උදව් දුන්නේ යෑයි කියන පන්සලේ වෙද හාමුදුරුවෝ තවමත් නිදැල්ලේය. සෙවිය යුත්තේ මේ අපරාධය පිටුපස සිටින බලවත් දේශපාලන හස්‌තය කුමක්‌ද කියාය. නිසැක වශයෙන්ම ඒ යහපාලන ආණ්‌ඩුවේ ම බලවතෙකු බව විය යුතු බව අප දන්නා සරල සත්‍යයයි. අපේ යුතුකම ඒ කවුදැයි සොයා රටට හෙළිදරව් කිරීමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress