පුංචි ඡන්දය පවත්වන දිනයේ තීරණය රනිල්ගේද? දේශප්‍රියගේද?
Posted on December 7th, 2017

සිදත් මෙන්ඩිස් උපුටාගැණීම  මව්බිම

මැතිවරණ කොමිසමේ රාජකාරි කටයුතුද පවරාගැනීම හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෘජුවම එම කොමිසමට බලපෑම් සිදුකරන බවට පිවිතුරු හෙළ උරුමය චෝදනා කරයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මේ බව පැවැසූ අතර එහිදී හෙතෙම මෙසේද සඳහන් කළේය.

අපි දැක්කා ඊයේ අගමැතිතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළ පුංචි ඡන්දය පවත්වන්නේ පෙබරවාරි මාසයේ 10 වැනිදාය කියලා. අගමැතිතුමා එහෙම උපදෙසක් මැතිවරණ කොමිසමට දෙන්න ඇති. අගමැතිතුමා තව පොඩ්ඩක් ඉවසාගෙන හිටියා නම් මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිසමෙන්ම ප්‍රකාශ කරන තුරු මැතිවරණ කොමිසම ස්වාධීනයි කියලා රටේ ජනතාවට පෙන්නුම් කරගෙන රඟපාමින් ඉන්න තිබුණා. මැතිවරණ කොමිසමේ රාජකාරිය අගමැතිවරයා පවරා ගැනීම හරහා මැතිවරණ කොමිසමට සෘජුවම ඇඟිලි ගැසීමක් අගමැතිතුමා කරලා තියෙනවා.

රාජ්‍ය සේවය, අධිකරණය, මැතිවරණ ක්‍රියාවලිය, විගණන ක්‍රියාවලිය ස්වාධීන කරන්න ඕනේ කියලා මේ ආණ්ඩුවමයි මහා හඬක් නඟලා 19 වැනි සංශෝධනය ගෙනාවේ යහපාලනයේ කූටප්‍රාප්තිය විදිහටයි. ජනාධිපතිතුමන් විනිසුරුවන් පත්කිරීමට ඇඟිලි ගහනවා නම් කෝ අධිකරණ සේවා කොමිසමේ ස්වාධීනත්වය. අගමැතිතුමන් මැතිවරණවලට දින නියම කරනවා නම් කෝ මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය.

පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනතේ 2012 වසරේ ගෙනාව සංශෝධනයෙන් සංශෝධිත 38 (අෑ) වගන්තිය අනුව නාම යෝජනා අවසන් වීමෙන් පසු සති පහකට නොඅඩු සති හතකට නොවැඩි දිනයක මැතිවරණය පැවැත්විය යුතුය. එය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවිය යුතුයි.

පෝය දිනයක් නොවිය යුතුයි. හැකිතාක් දුරට සෙනසුරාදා දිනයක් විය යුතුයි. දැන් දෙසැම්බර් 14 වැනිදා නාමයෝජනා අවසන් වෙනවා. එදින තමයි මැතිවරණය පවත්වන දිනය සාමාන්‍යයෙන් ප්‍රකාශයට පත් කරන්නේ. දෙසැම්බර් 14 වැනිදා සිට සති 5ක් කියන්නේ ජනවාරි මාසයේ 18 වැනිදා. දෙසැම්බර් 14 වැනිදා සිට සති 7ක් කියන්නේ පෙබරවාරි මාසයේ 01 වැනිදා.

එහෙම නම් මැතිවරණ කොමිසම පනත අනුව ඡන්දය පැවැත්විය යුත්තේ ජනවාරි 18ත් පෙබරවාරි 01ත් අතර කාලයේදී. එහෙම නම් අගමැතිතුමා කොහොමද කියන්නේ ඡන්දය තියන්නේ පෙබරවාරි 10 කියලා. පනතේ කියන්නේ නෑ නාම යෝජනා අවසන් වූ දිනයේම මැතිවරණය දිනය ප්‍රකාශ කළ යුතුයි කියලා. පනතේ කියන්නේ නාම යෝජනා අවසන් වූ පසු මැතිවරණ දිනය ප්‍රකාශ කරන්න කියලා.

ඒ අනුව ප්‍රකාශ කරන දිනයේ සිට සති 5ක් හා සති 7ක් අතර මෙතෙක් කල් කළේ නාමයෝජනා අවසන් වුණු දිනයේම මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම. නමුත් මේ පාර මැතිවරණ දිනය ප්‍රකාශ කරන දිනය දින 9 කල් දා ගත්තොත් පෙබරවාරි 01 වැනිදා තියෙන ඉහළ සීමාව පෙබරවාරි 10 වැනිදා දක්වා ඇද ගන්න පුළුවන් වෙනවා.

නීතිය පොළවටම නවලා මිසක් පෙබරවාරි 01 වැනිදාට ප්‍රථම පවත්වන්න තිබෙන පළාත් පාලන මැතිවරණ පෙබරවාරි 10 වැනිදා දක්වා ඉස්සරහට අදින්න බෑ. ඇයි මේක කරන්නේ මැතිවරණ කොමිසම. මේක කරන්නේ සෘජුවම ආණ්ඩුවේ වුවමනාවට. මේ 93යි ඉතිරි පළාත් පාලන ආයතනත් එකම දවසේ ඡන්දය පවත්වා ගැනීම සඳහා. 93කට නාම යෝජනා ලබාගැනීම 14 වැනිදායින් අවසන් වෙනවා. අනිත් පළාත් පාලන ආයතනවල නාමයෝජනා භාරගැනීම ආරම්භ වෙන්නේ 3 වැනිදායින්.

මේ සියල්ල එකම දිනයක පවත්වන්නේ නැතුව 93ක් කලින් තිබ්බොත් ඒකාබද්ධ විපක්ෂය නැතිනම් පොදුජන පෙරමුණ ලබන විශිෂ්ට ජයග්‍රහණයේ බලපෑමක් ඇති වෙනවා අනිත් ඒවට. ඒ නීතිය පොළවටම නවලා පොදුජන පෙරමුණ ලබන ජයග්‍රහණයේ බලපෑම ඊළඟ මැතිවරණවලට ඇති කරන බලපෑම වළක්වා ගැනීමේ අරමුණින් තමයි මැතිවරණය පෙබරවාරි 10 වැනිදා පවත්වන්නේ.

මැතිවරණ කොමිසම සැබැවින්ම ස්වාධීන නම් මාධ්‍ය හමුවක් පවත්වා මැතිවරණ කොමිසම කිව යුතුයි. අගමැතිවරයාට බලයක් නැත මැතිවරණවලට දින නියම කරන්න. ඒක නියම කරන්නේ අපියි. අගමැතිවරයාට නීතිය නමා පෙබරවාරි 10 වැනිදා වනතුරු අදින්න වුවමනා වුණාට දෙසැම්බර් 14 දින නාම යෝජනා භාරගෙන අවසන් වන පළාත් පාලන ආයතන 93ක මැතිවරණය අපි පෙබරවාරි 01 වැනිදා හෝ ඊට ප්‍රථම පවත්වනවා කියන සිංහ නාදය මැතිවරණ කොමිසමෙන් ඇසේවා කියා අපි කන් යොමා අසා සිටිනවා.

සිදත් මෙන්ඩිස්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress