දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ (හාල් පොල් පිටරටින්)
Posted on December 10th, 2017

කතු වැකිය උපුටා ගැන්ම දිවයින

වගාවට මුල්තැන දෙන සංස්‌කෘතියක්‌ හදන්නට, ගොවියා රජ කරවන්නට, රට සහලින් ස්‌වයංපෝෂිත කරවන්නට පැමිණි යහපාලන ආණ්‌ඩුව හාල්, පොල්, පිටරටින් ගෙන්වන්නට සැරසෙන බව කියෑවේ. ඉස්‌සර නම් කීවේ ‘හඳෙන් ගෙනැවිත්’ හෝ හාල් දෙන බවය. එහෙව් එකේ පිටරටින් හෝ හාල් පොල් ගෙන්වීමට තීරණය කිරීම ගැන අපේ අහිතක්‌ නැත. එහෙත් දුකට කාරණාවක්‌ තිබේ. එනම් තේ, පොල්, රබර් අපනයනය කරන්නට නම් දරාපු රටකට පොල් පිටරටින් ආනයනය කරන්නට සිදුවීමය. හාල් අතිරික්‌තයක්‌ ඇතැයි කියන, ඒ අතිරික්‌තය බියර් හදන්නට විකුණන රටකට හාල් පිටරටින් ගෙන්වන්නට සිදුවීමය. විශාල කරදරයක්‌ සිදු වූ විට එලොව පොල් පෙනුණා යනුවෙන් කියන කතාවද, කුමක්‌ හෝ පිස්‌සුවක්‌ නටන පුද්ගලයකුට දෙයියන්ගේ හාල් කැවිලා යෑයි කියන කතාවද ඉදිරියේදී කියන්නට තරමක්‌ ලැඡ්ජා සිතේ.

 කෙසේ හෝ හාල් පොල් පිටරටින් ගෙන්වන්නට තීරණය කළ ආණ්‌ඩුව ස්‌ථිරවම එකක්‌ පිළිගෙන තිබේ. එනම් ජීවන වියදම ඉහළ ගොස්‌ ඇති බවය. ඒවා පිටරටින් ගෙන්වන්නට කැබිනට්‌ තීරණය ලැබෙන්නේ ද ජීවන වියදම සියයට 60 ක්‌ ඉහළ යැම නිසා බව වාර්තා විය.
 
 ජීවන වියදම ‘බැලන්ස්‌’ කරන්නට ගත් ඉක්‌මන් ක්‍රියාමාර්ග ගැන ආණ්‌ඩුවට ස්‌තුතිය පුද කළ යුතුය. එහෙත් අපට තිබෙන ප්‍රශ්නය වන්නේ හාල්, පොල්, නිසා ජීවන වියදම ඉහළ යැමටත්, හාල් – පොල් වල මිල ඉහළ යැමටත් ‘ඉක්‌මනක්‌’ බලපෑවේ නැති වීමය. කොටින්ම කීවොත් මේ අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය දෙකේ පමණක්‌ නොව තවත් බොහෝ භාණ්‌ඩවල මිල ඉහළ යැම වත්මන් යහපාලන ආණ්‌ඩුවේ වයස නොව ඊටත් වඩා පරණය. දැනටමත් මේ රටේ ජනතාව හාල් කන්නේ පිටරටින් ගෙන්වන මට්‌ටමෙනි. හාල් එතරම් ගණන් ය. අපේ රටේ සහල් නිෂ්පාදනයක්‌ සිදුවෙනවා ද යන්න සැක සිතෙන තරමටම මිල ඉහළය. එතරම් පරණ ප්‍රශ්නත් විසඳන්නට මේ වන විට ආණ්‌ඩුව ඉදිරිපත් කර ඇති (ඇත්ත වශයෙන්ම ආණ්‌ඩුව නොව ඊට වගකිව යුතු කෘෂිකර්ම අමාත්‍යාංශය මෙහිදී ප්‍රමුඛය) වැඩපිළිවෙළක්‌ අපි දන්නේ නැත. කොටින්ම කීවොත් සහල් නිෂ්පාදනයේ සිට විකිණීම දක්‌වාම ඇත්තේ අර්බුදය. කුඹුරට පොහොර නැතැයි ගොවීහු උද්ඝෝෂණය කරති. අස්‌වැන්න සාධාරණ මිලකට විකුණාගත නොහැකිව උද්ඝෝෂණය කරති. අන්තිමේදී අතිරික්‌තය ගබඩා කරන්නට තෝරා ගන්නේ මත්තල ගුවන් තොටුපළය. රටේ තිබෙන පොල් ඉඩම්, ඉඩම් – නිවාස වෙළෙන්දෝ කුණු කොල්ලයට අත්පත් කරගෙන මුඩු බිම් කර විකුණා දමති. මේවා ගැන ආණ්‌ඩුව ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිය කුමක්‌ද? පිටරටින් ගෙන්වන්නට පෙර කවුරු කවුරුත් කල්පනා කළ යුතු කාරණා මේවාය.
 
 ජනතාව රජයෙන් වැඩිපුර දේවල් ඉල්ලුවේ නැත. එහෙත් පසුගිය අවුqරුදු තුනේම ඉල්ලනවටත් වැඩි දේ දෙන’ බවට ආණ්‌ඩුව පොරොන්දු වූ විට ජනතාව තුළ යම් විශ්වාසයක්‌ ගොඩනැඟී තිබිණි. මෙවැනි තීරණවලින් සිදුවන්නේ එම විශ්වාසය බිංදුවට නොව සෘන බිංදුවටම, ගමේ වචනයෙන් කිව්වොත් ලෙල්ලටම වැටීමය. එවැනි ක්‍රියා ඉදිරි මැතිවරණවලට බලපාන්නේ කොහොමද කියන කාරණය ගැන අප කතා කරන්නේ නැත. ඊට හේතුව මොන දේ කළත් යළි යළි රැවටෙන්නට තරම් දක්‍ෂ ජනතාවක්‌ ද මේ රටේ සිටින බැවිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress