දණ්‌ඩ නීතිය පෙන්නා නීතිය දණ්‌ඩක්‌ කළ ගෝඨාගේ අවනඩුව
Posted on December 16th, 2017

 මේක හරියට මීට පෙර මිලේනියම් සිටිය අල්ලා ගත්තා වගේය. මිලේනියම් සිටියේ ආයුධ ගබඩා කොට, තිබුණේ රනිල් වික්‍රමසිංහ ඝාතනය කිරීමට යෑයි ඒ දවස්‌වල ගොබෙල්ස්‌ලා කතා හැදුවේය. ඡන්දය දුන් මෝඩයෝ එය පිළිගත්හ. රටේ විශාල හමුදා කුමන්ත්‍රණයක්‌ කොට රනිල් වික්‍රමසිංහ ඝාතනය කොට නැවත වරක්‌ රට අල්ලා ගැනීමට කළ ප්‍රයත්නයක්‌ ලෙස රටට මහා ප්‍රචාරයක්‌ දී මිලේනියම් සිටි එක තිබුණේ කොහේද ආයුධ කාගේද යනාදිය උජාරුවෙන් රටට හෙළි කළහ. ප්‍රභා, මහත්තයා, පොට්‌ටු අම්මාන්, කුකුල් මස්‌ කෑල්ලක්‌ කා රා අඩියක්‌ ගසා සිංහලයාගේ මෝඩකම ගැන හිනා වූහ. මෙහි වීරයා වුයේ කළු බළල් සමාජයේ සභාපති වූ උඩුගම්පලගේ සහෝදරයාය. තිලක්‌ මාරපන ද, මේ ගැන විශේෂ හෙළිදරව්වක්‌ කළේය. එල්.ටී.ටී.ඊ. යුද්ධය තව අවුරුදු ගණනක්‌ දිග්ගැස්‌සුනා නම්, මේ මෝඩ ක්‍රියාන්විතයට ඉවහල් වුණා යෑයි කිවහැකි දුරදිග සේනාවේ මූලස්‌ථානය ක්‍රියාත්මක වූයේ මිලේනියම් සිටියේ සිට විනාශවීම බව කිව යුතුය. හදිසියේම කොටි අඩවියට පැනගත් දෙමළ කතා කරන වේග මෝටර් සයිකල් වලින් ගමන් කරන කොටින්, කොටින් යෑයි සිතූ අපේ කොල්ලන් කොටි නායකයන් සොයා බලා, ඝාතනය කර පැන ආහ.

gotabaya

ඒ අවස්‌ථාවේ දී මේ මොන තර්කය ගෙනාවත් කිසිවකු පිළිගත්තේ නැත. අන්තිමට අපේ බුද්ධි බළකායේ වීර සෙබළුන් බොහෝ දෙනෙකුගේ ජීවිත විනාශවිය. කොටි මේ හෙළිදරව්ව නිසා හඹාගෙනවිත් බල්ලන් බළලුන් ලෙස බුද්ධි අංශ නිලධාරීන් මරා දැමීය. අපේ බුද්ධි අංශයේ මළගම මිලේනියම් සිටි වැටලීමය. එක්‌ පොලිස්‌ නිලධාරියකු රත්මලානේ පොලිස්‌ බැරැක්‌කයේ සිටම වෙඩි කා මළේය. මෙවැනි මෝඩ දේශපාලනඥයන් අපේ රට පාලනය කරන කාලයේ ප්‍රභාකරන් සහ පොට්‌ටු අම්මාන් කරණම් පිට කරණම් ගැසුවේය. ප්‍රභාට මහත්තයා කීවාට උරණ වෙන්න එපා යෑයි කියන අපේ දේශපාලනඥයන්ට කියන්නට හිතෙන්නේ මහත්තයා නොව “පාත්තයා” කියාය. 
 
 ඒ වාගේම මුහුදේ පාවෙන අර ගබඩාව සොයා ගත්තාම මේ යහපාලන ආණ්‌ඩුව පෙරළා යුද හමුදා කුමන්ත්‍රණයක්‌ කොට රට අල්ලා ගැනීමට රහසේ ආයුධ ගබඩාකර තිබූ නෞකාවක්‌ බවට කටකතා පැතිර ගියේය. අපිත් ‘හා’ ‘හූ’ නොකියා මෙය විශ්වාස කළෙමු. ඇවන්ගාඩ් ලොක්‌කා නිශ්ශංක සේනාධිපති වේ. දැන් ඔහු මේ චෝදනා කළ අයට චැලේන්ඡ් කරයි. මේ නෞකාවෙන් ආයුධ සැපයුවේ ගෝඨා බව කියා ඔහුව දැන් අත්අඩංගුවට ගනී හෙට අත්අඩංගුවට ගනී කියා මිනිස්‌සු දත නියව නියවා සිටියේය. විඡේදාස රාජපක්‌ෂට හා තිලක්‌ මාරපනට තට්‌ටු වුණේ මේ දෙදෙනාගේ පැත්ත ගෙන කතා කිරීමයි. දැන් ඇත්ත හෙළිවී ඇත. ගෝඨාව අත්අඩංගුවට ගැනීමට තව නඩුවක්‌වත් දැමීමට පුළුවන්කමක්‌ නැත. හැමදේකටම යථාර්ථය එකයි. අපිට ඊයේ තිබූ යුද්ධය ගැන අමතකවී ඇත. අවශ්‍යව ඇත්තේ ගෝඨාව හිරකර මහින්දට රිද්දවීමයි. ගෝඨාව සිර කළ යුතු නම් අත්අඩංගුවට ගතයුතු නම්, එය කළ යුතුමය. එහෙත් එය කළ හැක්‌කේ සහ කළ යුත්තේ කට කතා සහ ගොසිප් පත්තර වලින් මවන පුවත් මගින් නොව, සාක්‌ෂි මගින්ය. අන්තිමට සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත්ට කෙළවුණේ ද, මේ නිසාය. ඔහුද ඇත්ත කතා කරන්නට ගියේය. 
 
 දැන් ගෝඨාව ගන්න තවත් ප්‍රයත්නයක්‌ දියත් කොට ඇත. ගෝඨාව නොගන්නේ සාගල රත්නායකත් “මරා” ත් අතර ඇති ඩීල් එකක්‌ නිසා යෑයි කාණු කටාලා කියති. ඒකත් ඡන්දදායකයෝ විශ්වාස කරති. නමුත් ඊටපසු ජනාධිපතිතුමා මැදිහත්වී ගෝඨා ගැනීම වැලැක්‌වු බවද, කියයි. ඒ අතර, රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨා අත්අඩංගුවට ගැනීමට අවසර දුන් බව කියයි.

මේ මොන සාධාරණ යුක්‌ති ධර්මය හා නීතියේ රීතිය ස්‌ථාපිත කරන්නන්a අර වැහැරී ගිය සිරුරක්‌ ඇති ඇස්‌ අන්ධ වූ තරාදිය එක පැත්තකට බරවී ඇති කන්‍යාව එදා අමු අමුවේ දූෂණය කළේය. දැන් නඩුකාරයන්ට කතා කරන ලොකු නඩුකාරයෝ නැත. ලොකු නඩුකාරයන්ට කතා කරන මැති ඇමැති, ජනාධිපතිවරු නැත. ව්‍යවස්‌ථාදායකයේ දී මොන අනම්මනම් සිදුවූවත්, දැනට සිටින විනිසුරන් ගැන ජනතාව සුභවාදීව බලන්නේ මේ හෙයිනි. මීට පෙර සිටි විනිසුරුවරුන් නරක නොවේ. නරක ඔවුන්ට තර්ජන ගර්ජන කළ අපේ පොලිටික්‌කෝය. අර වරාවැව මහත්තයා සරත් ෆොන්සේකා නිදහස්‌ කළාට පසු, ඔහුගේ ටෙලිෆෝනය කඩා බිඳ දමා කොම්පියුටරයත් උස්‌සන් ගොස්‌ ඔහුට තර්ජනය කළේ යෑයි පැමිණිලි කළේ මේ රටේ නීතිය වල්වැදී තිබූ සමයකය. දැන්නම් එහෙම එකක්‌ නැත. හැබැයි “FCID” එක දාගෙන තමන්ගේ හොරුන් නොඅල්ලා අනිත් හොරුන් විතරක්‌ ඇල්ලීමට එය යොදා ගැනීම රාජපක්‌ෂ සමයේදීවත් නොකෙරුණු කාර්යකි. ඉතින් ගෝඨා අල්ලා ගෙන ඔහුට මහජන මුදල් අවභාවිත කළේ ඔහුගේ පියාගේ සොහොන හැදීමට යෑයි නඩුවක්‌ හදාගෙන එමගින් අත්අඩංගුවට ගෙන අනිවාර්යයෙන්ම රිමාන්ඩ් වන බව දැනගෙන රිමාන්ඩ් කළාට පසු, තමන්ගේ බැඳුම්කරයේ හොරකම වහන්න පුළුවන් යෑයි සිතන දේශපාලුවන්ය.
 
 පොදු දේපළ පනතට, ත්‍රස්‌තවාදය වැලැක්‌වීමේ පනතට ද්‍රවිඩ ජාතිකයන් විරුද්ධ වුණා සේ, පොදු දේපළ පනත ක්‍රියාත්මක වන ආකාරයට සියලුම ජාතීන් විරුද්ධ විය යුතුය. මිනිසකු රිමාන්ඩ් කිරීමට අවශ්‍ය වන්නේ ඔහු වරදක්‌ කළාද, නැද්ද යන කරුණ මත නොවේ. නියෝජ්‍ය පොලිස්‌ අධිකාරිවරයකුගෙන් දේපළවල මිල රුපියල් පනස්‌ දහසකට වැඩි බවට සහතිකයක්‌ පමණි. ඊටපසු මහෙස්‌ත්‍රාත්වරයාත් කට සහ ඇස්‌ බැඳගෙන විත්තිකාරයාව රිමාන්ඩ් කළ යුතු වේ.
 
 ගෝඨාභය රාජපක්‌ෂ කර ඇති වරද නම් තමාගේ තාත්තාගේ සොහොන සෑදීමට කොන්ත්‍රාත්තුවක්‌ දී එම කොන්ත්‍රාත්තුවේ මුදල් නොගෙවූ නිසා එම රාජ්‍ය ආයතනයට පාඩුවක්‌ සිදුකිරීමෙන් පොදු දේපළ පනත යටතේ මහජන මුදල් අවභාවිත කළ බවට වන චෝදනාවයි. මෙම නඩුවේ පැවසෙන අන්දමට රු. 90,831,165.02 ක්‌ සාවද්‍ය පරිහරණය කරමින්, පොදු දේපළ පනතේ 8 (1) වගන්තිය යටතේ වරදක්‌ කළ බවයි.
 
 ඒ කාලේ අපි දණ්‌ඩ නීති සංග්‍රහය හැදෑරුවේ නීති විද්‍යාලයේ පළමු වසරේදී ය. මේක කයිවාරුවක්‌ නොවේ. ඒ කාලයේ දණ්‌ඩ නීති සංග්‍රහය සම්බන්ධව වූ ප්‍රශ්න පත්‍රයට වැඩියෙන්ම ලකුණු තිබුණේ මටයි. ඒ කාලයේ අපිට දණ්‌ඩ නීති සංග්‍රහය ඉගැන්වූයේ එල්.ඒ.ටී. විලියම් නමැති දෙමළ ගුරුවරයෙකි. ඔහු මෙම සාවද්‍ය පරිහරණය කියන නීතිය ඉතා මැනවින් අපට කියා දුන්නේය. ඔහුගේ මේසය මත තිබෙන පොතක්‌ ඔහුට නොදන්වා මා රැගෙන ගියොත් එය හොරකමක්‌වේ. ඒ පොත මට කියවා බලා ගෙනෙන ලෙස දුනහොත්, මම එසේ නොකර පරණ පොත් කඩයකට විකුණා ඒ මුදල් වලින් සපත්තු දෙකක්‌ ගතහොත්, එය සාවද්‍ය පරිහරණය වේ. ඒ පොත ඔහුගේ නමින් තිබියදී පන්තියේ මොනිටර් ලෙස මට භාරදුනහොත් ළමුන්ට පාසලේ දී ඒ පොත බලා ඉගෙන ගැනීමට මම නොදී හොරෙන්ම ඒ පොත ගෙදර ගෙනගියහොත්, මගේ පාවිච්චියට පමණක්‌ ගතහොත්, එය සාපරාධී විශ්වාසය කඩකිරීම වේ. මට මේ සිද්ධාන්තය එකල ඉතා දක්‌ෂ නීතීඥවරයකු වූ එල්.ඒ.ටී. විලියම් ගුරුතුමා අපට පැහැදිලි කළ අන්දම මට තවමත් මැවී පෙනේ. 

මේ නඩුවේ ගෝඨාභය රාජපක්‌ෂ මහතාට ඇත්තේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාවට ඩී.ඒ. රාජපක්‌ෂ පදනම විසින් ඩී.ඒ. රාජපක්‌ෂ සිහිවීම සඳහා ස්‌මාරකයක්‌ ගොඩනැගීමට රුපියල් ලක්‌ෂ 330 කට කොන්ත්‍රාත්තුවක්‌ ගිවිස ගැනීමය. මෙහිදී ලිත ගිවිසුමක්‌ නොවූ අතර, ඒ සම්බන්ධයෙන් එම මණ්‌ඩලය ඒ සඳහා සම්බන්ධ වූ බව ලිපිගොනු සටහන්වල සඳහන්වී ඇත. ඊටපසු, මෙම ස්‌මාරකය ගොඩනඟා අවසන් වූ පසු, ඩී.ඒ. රාජපක්‌ෂ පදනම මෙම ස්‌මාරකය ගොඩනැඟීමේ වියදම් පිළිබඳ බිල්පතක්‌ එවන ලෙස දන්වා ඇත. ඒ අවස්‌ථාවේ දී අවසන් බිල එවකටත් සූදානම් නැති නිසා මිලියන 25 ක්‌ ගෙවන ලෙස එම සංස්‌ථාව දන්වා ඇත. ඒ අනුව, එම ඉල්ලීමට එම මුදල පදනම විසින් ගෙවා ඇත. පදනම විසින් ගෙවා ඇති මුදල මිලියන 8.9 කි. ඊටපසු එම සංස්‌ථාව මගින් එහි සම්පූර්ණ මුදල ලෙස මිලියන 81 ක්‌ ලෙස දන්වා ඇති අතර, එම ගණන ඇස්‌තමේන්තුවට වඩා වැඩිය යන මතය මත ගෙවීම ප්‍රතික්‌ෂේප කර ඇත. ඒ අතර, අවසාන වශයෙන් මිලියන 51 ක්‌ ගෙවිය යුතු බවට සංස්‌ථාව මගින් එම පදනමට නීතීඥවරයකු මගින් ලිපියක්‌ එවා ඇති අතර, එය නොගෙව්වොත් නඩු දමන බවට එහි සඳහන් විය. එමනිසා, සංස්‌ථාව කියන අන්දමට මිලියන 51 ක්‌ ගෙවීමට නොමැති බවට ඩී.ඒ. රාජපක්‌ෂ පදනම කියා ඇති අතර, ඒ සඳහා ගෙවිය යුතු නියමිත මුදල ගෙවීමට එකඟතාවය පළකර ඇත. මෙවැනි දේ සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු හා මහජනතාව අතර නිතර සිදුවන දෙයකි. බොහෝවිට මෙවැනි ප්‍රශ්න බේරුම්කාර මණ්‌ඩලයකින් හෝ දිසා අධිකරණයේ නඩුවක්‌ පවරා විසඳා ගැනීම සාමාන්‍ය සම්ප්‍රදායයි. ඒ නිසා මෙය හුදෙක්‌ම සිවිල් ආරවුලක්‌ මිස අපරාධ නඩුවක්‌ නොවේ. 
 
 විශේෂයෙන්ම මේ මුදල වංක හෝ වංචනිකව ලබා ගන්නා ලද මුදලක්‌ නොවේ. මෙම කටයුත්තට මෙපමණ මුදලක්‌ වැයවේ යෑයි කිසිම ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර නොමැත. එමනිසා, තවදුරටත් එම කටයුත්ත එවැනි කොන්ත්‍රාත්තුවක්‌ රහිතව වාචික ගිවිසුමක්‌ මත ඉදිකිරීමට භාර ගැනීම විශේෂයෙන්ම සංස්‌ථාව මගින් සිදුකර ඇති වරදකි. ඒත් එය අපරාධමය වරදක්‌ නොවේ. එසේ නම්, මෙය සංස්‌ථාවෙන් මේ මුදල් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට ලැබුණාද? ඔහු එම මුදල් තමාගේ පරිහරණයට ගත්තාදැයි කිසිම සාක්‌ෂියක්‌ නොමැත. එහෙයින් පොදු දේපළ විෂයේ ලා කරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ මෙවැනි වරදකට නඩු පැවරීම අපරාධ නඩුවක සේයාවක්‌වත් නැති අවස්‌ථාවක එවැනි නඩුවක්‌ පැවරීමට උපදෙස්‌ දීම කිසිසේත්ම පිළිගත නොහැකි කරුණකි. 

මෙයින් ඉතා පැහැදිලි වන්නේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ උවමනාවට හා දේශපාලනඥයන්ගේ උවමනාවට “FCID” වැනි ආයතන ඇති කිරීම කිසිසේත්ම යහපාලනය යටතේ නීතිය ස්‌ථාපිත කිරීමේ අරමුණින් කළා යෑයි උදම් ඇනිය හැකි දෙයක්‌ නොවන බවය. මෙම පනත හුදෙක්‌ දේශපාලන උවමනාවන් සඳහා යොදාගන්නා බව ඉතා පැහැදිලිය. එම නිසා මෙම පනතින් ඇතිවන භයානකම කාරණය වන්නේ මේ යටතේ ඉදිරිපත් කරන ඕනෑම කෙනකුව අනිවාර්යයෙන්ම රක්‌ෂිත භාරයේ තැබිය යුතු බව පනතේම සඳහන් වන නිසාය. විශේෂයෙන්ම මේ පනත යටතේ රිමාන්ඩ් නොකළ හා චෝදනා ලැබූ කෙනකු දේශපාලන කරළියේ සොයා ගැනීමට පවා අපහසුය. මොවුන් වැරදිකර ඇත්නම් රිමාන්ඩ් කිරීමේ කිසිම වරදක්‌ නැත. ඒත් ළදරුවකුට පවා දැනෙන මෙවැනි නීතියේ අවනියමයන් උපයෝගි කොට ගෙන කෙනකු සිවිල් නඩුවකින් විසඳිය යුතු කරුණක්‌ සම්බන්ධයෙන් රක්‌ෂිත බන්ධනාගාරගත කිරීම කොතරම් වැරදි දැයි මට සිතේ. හොරුන් ඇල්ලීමට හා සොරුන් නීතියේ රැහැනට ගැනීම ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කිරීම හා දඬුවම් කිරීම කළ යුත්තේ නීතියේ ස්‌වාධිපත්‍යය හා අධිකරණයේ ස්‌වාධීනත්වය ආරක්‌ෂා කරමිනි. අපට ස්‌වාධීන අධිකරණයක්‌ නොතිබුණා නම් අද ගෝඨාභය රාජපක්‌ෂ සිවිල් නඩුවක්‌ පැවරිය යුතු කරුණකට අපරාධ නඩුවක්‌ පවරා මෙලහකට රිමාන්ඩ් භාරයට පත්කරණු ඇත. එය නොකිරීම ද, යහපාලනයේ ජයග්‍රහණයකි. අධිකරණය ස්‌වාධීනව තමා ඉදිරියට එන තැනැත්තාගේ දේශපාලන තරාතිරම හා රජය ඔහු කෙරෙහි දක්‌වන ආකල්ප ගැන කිසිම තැකීමක්‌ නොකර හුදෙක්‌ම තමා ඉදිරියේ ඇති කරුණු සම්බන්ධයෙන් පමණක්‌ ක්‍රියාකොට යුක්‌තිය පසිඳලීමට ඉඩකඩ සැලසීමද ජනාධිපති ඇතුළු යහපාලනයේ ජයග්‍රහණයක්‌ බව මා සිතමි. මන්ද මෙවැනි සාධාරණ තත්ත්වයක්‌ කිසිකලෙක සරත් ෆොන්සේකා මහතාට හෝ අගවිනිසුරු ශිරානි බණ්‌ඩාරනායකට හෝ නොලැබුණු බව අප මතක්‌ කරගත යුතුය.
 
 ජනාධිපති නීතිඥ 
 හේමන්ත වර්ණකුලසූරිය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress