දළ පූට්‌ටුවා කෑළි කර මැරූ මොළ පූට්‌ටුවන් ඇල්ලුවේ මෙහෙමයි
Posted on December 16th, 2017

 බුලිත ප්‍රදීප් කුමාර  උපුටා ගැන්ම දිවයින

 පසුගිය දිනවල ලංකාවේ කෙරුණු අපරාධ අතර මුල් තැනක්‌ දිනා ගත් ප්‍රසිද්ධ අපරාධයක්‌ ලෙස සමාජය තුළ සාකච්ඡාවට ගැනුණේ ගල්ගමුවේ දළ පූට්‌ටුවාගේ අවාසනාවන්ත ඉරණම පිළිබඳ සිදුවීමයි. 

මේ කතිකාව එතැනින් හමාර වූයේ ද නැත. ඊළඟට තවත් ආරංචියක්‌ මින්නේරිය පැත්තෙන් පැමිණියේය. මින්නේරිය වැවට ඉහළ වැව් තාවුල්ලේ හස්‌තීන් තුන්සීයක හාරසීයක රංචුවක්‌ සමඟ කෙළිදෙලෙන් ජීවත්වූ මින්නේරිය කතිර දළ පූට්‌ටුවා ගැන ද මීට අවුරුද්දක එකහමාරක කලක සිට කිසිත් ආරංචියක්‌ නැතැයි ප්‍රදේශවාසීන් පවසන්නට පටන් ගත්හ. 
 
 මෙම සිදුවීමට සම්බන්ධ පරීක්‌ෂණ කටයුතු පොල්පිතිගම පොලීසියෙන් ඉවතට ගෙන රහස්‌ පොලිසියට පැවරීම් තුළ ද පරීක්‌ෂණ ඉදිරියට යැමේ යම් සාධනීය විශ්වාසයක්‌ ජනතාව තුළ ඇත. එහෙත් සිද්ධියට සම්බන්ධ ග්‍රාම සේවකවරයා හා කණ්‌ඩායමට මෙවන් සූක්‌ෂම කටයුතු සඳහා අනුශාසනා කරන ලදැයි විශ්වාස කරන නිකවැව පන්සලේ ස්‌වාමීන් වහන්සේ සම්බන්ධයෙන් පොලිසිය කර ඇත්තේ කුමක්‌ද. තෑගි බෝග ද රැගෙන වාරියපොල බන්ධනාගාරයට ගොස්‌ මේ සැකකරුවන්ගේ දුක්‌ සැප බලන, වයඹ ප්‍රදේශයේ හා ජාතික තලයේ දේශපාලඥයන් සමඟ සම්බන්ධකම් ඇති කරගෙන සිටින, මේ ස්‌වාමීන් වහන්සේ දන්නා තොරතුරු පරීක්‌ෂණ සඳහා ලබා ගන්නට පොලිසිය කටයුතු කළේ ද නැද්ද යන කාරණය ගැන ජනතාව සිටින්නේ බලවත් විමසිල්ලකින් හා විමතියකින් යුතුවය.

dalaputtu1
 
 සිද්ධියේ පශ්චාත් පරීක්‌ෂණවලදී තවත් ගජමුතු කිහිපයක්‌ හා තුවක්‌කුවක්‌ ද ඇතුළුව තවත් සැකකරුවන් කණ්‌ඩායමක්‌ අත්අඩංගුවට ගන්නට ද වලාන දූෂණ මර්දන ඒකකය සමත් වී තිබේ. 
 
 දිනය නොවැම්බර් විසි දෙවැනිදාය. පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්‌ෂ සහකාර පොලිස්‌ අධිකාරි හේමාල් ප්‍රශාන්ත සිය ඒකකයේ ක්‍රියාශීලී පොලිස්‌ කොස්‌තාපල්වරයකු වන ජයලාල් (428) කැඳවා විශේෂ රාජකාරිමය කටයුත්තක්‌ භාර කළේය.
 
 ඔයාට අද විශේෂ රාජකාරියකට ගල්ගමුවට යන්න වෙනවා. අපි හොඳ වාහනයක්‌ දෙන්නම්. දෙරණේ මාධ්‍ය කණ්‌ඩායමකුත් ඔයත් එක්‌ක ඒවි. ජයලාල් තව රාළහාමි කෙනෙකුත් එක්‌ක ගිහිල්ලා මේ රාජකාරිය කරන්න. කණ්‌ඩායමක්‌ අවශ්‍ය වුණොත් ඔයාට පුළුවන් අනුරාධපුර ඉන්න අපේ අනිත් ටීම් එක ගෙන්න ගන්න. වැඩිදුර විස්‌තර ඕ. අයි. සී. මහත්තයා කියාවි.
 
 පොලිස්‌ කොස්‌තාපල් සදීප්වත් එකතු කරගත් ජයලාල් 22 වැනිදා රාත්‍රියේ ගමන පටන් ගත්තේ අධ්‍යක්‌ෂවරයා විසින් සපයා දී තිබූ සුඛෝපභෝගී වෑන් රථයෙනි. දෙරණ උකුස්‌සා කණ්‌ඩායමේ මාධ්‍යවේදී දෙදෙනෙකුත් ඒ ගමනට සම්බන්ධ වූහ. ජයලාල්ට පැවරී තිබුණේ හොර රහසේ විකිණීමට සැලසුම් කර තිබූ ඇත් දළ යුවළක්‌ හා ගජමුතු කට්‌ටල තුනක්‌ සැකකරුවන් සමඟම ගනුදෙනු සිදුවෙන වෙලාවෙදී අත්අඩංගුවට ගැනීම්ටය. ගනුදෙනුව පිළිබඳ තොරතුරු ලබාගැනීමට අධ්‍යක්‌ෂවරයා විසින් ඔත්තුකරුවකු ජයලාල්ට හඳුන්වා දී තිබිණි.
 
 ඔත්තුකරු සමඟ කතා කර ගත් පරිදි ජයලාල් ඇතුළු මේ විශේෂ කණ්‌ඩායම් රැගත් වාහනය 23 වැනිදා පාන්දර 6 30 පමණ වන විට ගල්ගමුව නගරයට සේන්දු වී තිබිණි. ඔත්තුකරු බයිසිකලයක නැඟී ජයලාල් ඇතුළු පිරිස්‌ පැමිණි වාහනය සොයා පැමිණියේය.
 
 ඔත්තුකරු ක්‍රියා කළේ අතරමැදි තැරැව්කාරයකු ලෙසය. ඔහු තවත් තැරැව්කරුවකු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී ගනුදෙනුව ගැන විස්‌තර කතා කළේය.
 
 බඩු තියෙන්නෙ පොල්පිතිගම. අපට දැන් එහාට යන්න වෙන්වා. මමත් ඔබතුමාලගේ වාහනේම නැගලා එන්නම්.
 
 දෙවැනි තැරැව්කරුවාගේ මඟ පෙන්වීම මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායම සහිත වාහනය පොල්පිතිගම දක්‌වා ගමන් කළේය. තැරැව්කරුවා කීවේ පොල්පිතිගම මොරගොල්ලාගම පාරේ සාලියවැව සති පොළ හන්දියට පැමිණෙන්නට කියාය.
 
 නියමිත පරිදි සති පොළ හන්දියට පැමිණි කණ්‌ඩායමේ සිටි පළමු ඔත්තුකරු දෙවැනි තැරැව්කරුවාට දුරකථනයෙන් කතාකර තමන් සිටින තැන ගැන නිශ්චිතව තොරතුරු හෙළි කළේය. මේ අවස්‌ථාව වන විට ජයලාල් වැටලීම් සඳහා අවශ්‍ය වූ සියලු ප්‍රතිපාදන සූදානම් කර ගෙන සිටියේය. ජයලාල්ගේ තොරතුරු මත වලාන දූෂණ මර්දන කොට්‌ඨාසයේ අධ්‍යක්‌ෂවරයා ද ඒ වන විට එම අහළ පහළ වෙනත් වාහනයක රැඳී සිටියේය. අනුරාධපුරයෙහි විශේෂ රාජකාරියක යෙදී සිටි පොලිස්‌ පරීක්‌ෂක ධර්මසිරි මහතා ඇතුළු කණ්‌ඩායම ද ඒ වන විට අදාළ ස්‌ථානයට නුදුරින් තම කණ්‌ඩායම සමඟ රැඳී සිටියේය. 
 
 මම බයිසිකලේක එනවා. මට පිටිපස්‌සෙන් නිසාන් සුපර්සැලුන් කාර් එකත් එනවා. ඩීල් එක කරන අයගෙන් එක්‌කෙනෙක්‌ විතරක්‌ ඒ කාර් එකට නගින්න. එයාට අපි බඩු පෙන්නනවා. අපි කියන ගානට එකඟ නම් ඔයගොල්ල වැඩේට සැටිස්‌ නම් විතරක්‌ ගනුදෙනුව කරමු. අපි කියන්නම් එන්න ඕන තැන. දෙවැනි තැරැව්කරුවා අවශ්‍ය උපදෙස්‌ දෙනු ලැබීය. ටික වේලාවකින් දෙවැනි තැරැව්කරුවා බයිසිකලේකින් පැමිණි අතර ඔහු පිටුපසින් nissan super saloon වර්ගයේ මෝටර් රියක්‌ ද පැමිණියේය. කිසි චකිතයක්‌ නැතිව පොලිස්‌ නිලධාරි ජයලාල් ඒ වාහනයට ගොඩ වූයේ එවන් සිදුවීම්වලට අනන්තවත් ඔහු ඒ වන විට මුහුණ දී ලබාගෙන තිබූ මනා පළපුරුද්ද නිසාය.
 
 ජයලාල්ව පටවා ගත් මෝටර් රථය මොරගොල්ලාගම පැත්තට ටික දුරක්‌ ගොස්‌ පාරෙන් ඉවතට ගෙන අතුරු පාරකට හරවා කැලෑබද ප්‍රදේශයක නතර කළේය.
 
 මෝටර් රථයේ රියෑදුරු සද්දයක්‌ නැත. ඔහු මෝටර් රථයෙන් බැස ඩිකිය ඇර ඒ තුළ තිබූ යෝධ ඇත් දළ යුවළ ජයලාල්ට බලන්නට හැරියේය.
 
 මට මේක ටිකක්‌ පුච්චලා බලන්න ඕන…. ඇත් දළ ගනුදෙනුවට පුරුදුකාරයකු මෙන් ජයලාල් කීවේය.
 
 හරි හරි… මහත්තයා ඕනම විදිහකට ටෙස්‌ කරලා බලන්න. බඩු ෂුවර්… ගජමුතු 6 ත් කිරි ටොයියෝ වගේ. ඔක්‌කොටම ලක්‌ෂ විසි එකක්‌ ඕන. ගිහිල්ලා මහත්තයලගේ මුදලාලිත් එක්‌ක කතා කරලා බලලා කෝල් එකක්‌ දෙන්න. ගන්න කැමතිනම් දැන් වුණත් බඩු ලෑස්‌තියි. එසේ කියමින් සාක්‌කුවේ සඟවාගෙන උන් ගජමුතු කට්‌ටල 3 ඔහු ජයලාල්ට පෙන්නුවේ නැවත මෝටර් රිය ඇතුළතදීය.
 
 එම පුද්ගලයා උවමනාවට වඩා කිසිවක්‌ කතා කළේ නැත. ජයලාල් ව පාර අද්දරින් බැස්‌සවූ ඔහු පවනට බඳු වේගයෙන් මොරගොල්ලාගම පැත්තට ශබ්ද නංවමින් ඉඟිල ගියේය.
 
 ඒ අතරතුර දුරකථනයෙන් ඔහුම අධ්‍යක්‌ෂවරයාට ධර්මසිරි මහතාගේ කණ්‌ඩායමටත් කතාකර වැටලීමට අවශ්‍ය තොරතුරු සපයා දුන්නේය. 
 
 හරි…. අපේ බොස්‌ කියනවා ලක්‌ෂ විස්‌සකට නං වැඩේ කරමු කියලා. බොසුත් ඇවිල්ලයි ඉන්නේ. මොකද කියන්නේ…
 
 හරි ඕකේ… අපි ලෑස්‌තියි… සල්ලි කෑෂ් වලින් ඕන. ඔයගොල්ලෝ එන්න මොරගොල්ලාගම පාරේම තියෙන ශ්‍රී නාගල රජමහා විහාරයට. එතන අපේ කාර් එක තියෙනවා. ඒක ළඟට රිවස්‌ කරන්න. පිටිපස්‌සේ දොරත් අරින්න. අපි බඩු උස්‌සලා වෑන් එකේ පිටිපස්‌සෙන් තියන්නම්. එවේලේම අපිට cash වලින් සල්ලිත් ඕන.
 
 ආහ්…. තව එකක්‌ කියන්න ඕන. කටිටිය එන්න බෑ. වාහනයේ ඉන්න ඕන ගන්න කෙනයි ඇවිල්ල බඩු බලපු කෙනයි විතරයි. වෑන් රිය වීදුරු අඳුරු කරන ලද සුවපහසු වාහනයකි. ඇතුළේ කවුරු කීදෙනෙක්‌ සිටිති දැයි පිටතට නොපෙනෙයි. සහකාර පොලිස්‌ අධිකාරි හේමාල් ප්‍රශාන්ත, පොලිස්‌පති පරීක්‌ෂක ධර්මසිරි, පොලිස්‌ කොස්‌තාපල් ජයලාල් ඇතුළු කිහිපදෙනෙක්‌ වෑන් රියට නැග ගත්තේ පිටතට නොපෙනෙන ලෙසයි. වාහනය මොරගොල්ලාගම පාරේ නිකවැව ශ්‍රී නාගල රජමහවිහාරය බලා ගමන් කළේය. 
 
 පන්සල බොහෝ විසල් එකකි. පන්සලේ රියගාලේ අදාළ මෝටර් රථය අසලින්ම වෑන් රිය නතර කළ රියෑදුරු සුපරීක්‌ෂාකාරීව දොරවල් ඇර දුන්නේය. මෝටර් රථයේ මුලින්ම පැමිණි තරුණයා රියදුරු අසුනේ සිටි අතර ඔහුට අමතරව යාබද අසුනේ තවත් කෙනකු සිටීයේය. තැරැව්කරුවන්ගේ විශ්වාසය මත සියල්ල සිදුවෙමින් පැවතිණි. ඇත්දළ අයිති තරුණයාට මේ කණ්‌ඩායම ගැන සැක හිතෙන්න කිසිවක්‌ නැත. සහකාර පොලිස්‌ අධිකාරි හේමාල් මහතා ඇත්දළ මිලදී ගන්නට පැමිණි බොස්‌ ලෙස පෙනී සිටියි. සියල්ල නිසි පරිදි සිදුවෙතැයි සිතූ ඔහු කිසි සැකයක්‌ නැතිව පැමිණ මෝටර් රියේ ඩිකිය ඇර ඇත්දළ ගෙන වෑන් රියට පටවන්නට තැත් කළා පමණි. මෙතෙක්‌ වේලා වැඩේ කිසිවකුටත් නොදැනෙන සේ සැඟවී සිටි පොලිස්‌ පරීක්‌ෂක ධර්මසිරි ඇතුළු කීපදෙනා ක්‍රියාත්මක වූහ.
 
 වැඩේ වැරැදී ගිය බව දැනගත් සැකකරුවෝ ඔවුන්ගෙන් මිදී පලා යන්නට වෑයම් කළෝය. වැටලීම්වලට නිසි පුහුණුවක්‌ ලබා තිබූ පොලිස්‌ නිලධාරීහු කිසි බුරුලක්‌ නොදී ඔවුන් අත්අඩංගුවට ගන්නට සමත් වූහ.
 
 අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන් පොල්පිතිගම පොලිසිය වෙත ගෙන ආහ. වලාන දූෂණ මර්දන ඒකකයට මෙවන් වැටලීම් කරන්නට බලය තිබුණත් සැකකරුවන් අත්අඩංගුවට ගත් පසු ඉදිරි නීතිමය කටයුතු කිරීම් සඳහා බලයක්‌ නැත. 
 
 ලබාගන්නා ලද කටඋත්තරවලදී අත්අඩංගුවට ගත් පළමු සැකකරු ලබාදී ඇත්තේ අමුතුම තාලයේ කටඋත්තරයකි. මම පොල්පිතිගම හන්දියේ කඩේකින් තේ බිබී හිටියා. ඒකට ආපු නාඳුනන කෙනෙක්‌ මගේ අතේ තියන ඇත් දළ මුත්තා දැකලා ඒක ගැන විස්‌තර ඇහුවා. අලුත් ඇත්දළ වගයක්‌ තියෙනවා ගන්නවද කියලා මගෙන් ඇහුවා. ලක්‌ෂ හතරයි ඒගොල්ලන්ගේ ගාන. ගජමුතු හයකුත් තිබුණා. මම ඒවා සල්ලිවලට ගත්තා. එතනින් එහාට මම මේ ගැන මොකුත් දන්නේ නෑ…..
 
 මේ ආකාරයේ තොඳොල් උත්තර දෙන අපරාධකරුවන්ගෙන් සැබෑ උත්තර ලබා ගන්නා ක්‍රමවේදය සාමාන්‍යයෙන් පොලිසිය නොදන්නවා නොවේ. එහෙත් අනුන්ගේ පොලිස්‌ බලප්‍රදේශයේ තදබල මෙහෙයුම කරමින් සැකකරුවන් ආණ්‌ඩු මට්‌ටු කිරීමට වලාන දූෂණ මර්දන ඒකකයට බලයක්‌ නැත. එතනින් පසුව සියලු පරීක්‌ෂණ සිදුකිරීම භාරවූයේ ප්‍රදේශයේ බලය ලත් පොලිසියටයි. සතුටුදායක උත්තරයක්‌ සැකකරුවන්ගෙන් ලබාගන්නට නොහැකි වූයේ එම හේතුව නිසා වන්නට ඇත. 
 
 කෙසේ වෙතත් ගනුදෙනුව සිද්ධ වුණු විහාරස්‌ථානයේ විහාරාධිපති හිමිනමගේ බලපෑම් ද නොඅඩුව පොලිසිය වෙත එල්ල වී තිබූ බව පැහැදිලි වේ. බිස්‌කට්‌ කෙසෙල්ගෙඩි සීනි තේ කොළ ගෙන සැක සැකකරුවන් බලන්නට පොලිසියට හා වාරියපොල බන්ධනාගාරයට ගිය එහිමියෝ මුළු රටේම දේශපාලනඥයෝ අඳුනන ඉහළ පෙළේ හාමුදුරු නමක්‌ බව නොදන්නා කෙනෙක්‌ නැති තරම්ය. 
 
 දැන් සියල්ල හෙළිවී අවසන් ය. ගල්ගමුවේ දළ පූට්‌ටුවාගේ දළ යුගලය හා ඉන් ලබාගත් ගජමුතු කට්‌ටල 3 මෙසේ රුපියල් සතවලට අලෙවි වී අවසානයේ නීතියේ රැහැනට අසු වූ බවද ඇත්තය. එහෙත් මේ සිදුවීම්දාමය පසුපස තවත් නොකියන නොකියූ කතා ගණනාවක්‌ තිබෙන බවට දැන් තොරතුරු හෙළි වී තිබේ. අදාළ වරදකරුවන්ට හොඳම දඬුවම් ලැබෙනු නිසැකය. එහෙත් එපමණකින් අපේ රටේ ඉතා සූක්‌ෂමව සංවිධානාත්මකව රහසිගතව සිදු වන ඇත්දළ ජාවාරම නතර වී යෑයි විශ්වාස කළ හැක්‌කේ කාටද.
  
 බුලිත ප්‍රදීප් කුමාර 

One Response to “දළ පූට්‌ටුවා කෑළි කර මැරූ මොළ පූට්‌ටුවන් ඇල්ලුවේ මෙහෙමයි”

  1. Dilrook Says:

    This is a heinous crime. It was reported there is an organised syndicate of mostly Muslims to catch young wild elephants and sell them to Middle Eastern countries. This must stop.

    This sad short documentary shows the plight of elephants in Hambantota. Their traditional passage has been blocked by two white elephant projects – Mattala airport and Suriyawewa cricket stadium. These projects destroyed wild life and the economy. Sri Lanka didn’t benefit either. Now India will have a foothold in Southern Sri Lanka using one of them. Silence of animal rights activists is tragic.

    “https://www.facebook.com/WNOWNEWS/videos/524139784615901/”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress