යා දෙක නොරත රත
Posted on February 17th, 2018

උපුටාගැණීම  මව්බිම

“ස්වභාව ධර්මයෙන් පොහොට්ටු පිපෙයි: ඊස්ට්වලින් ආප්ප පිපෙයි.”

පහුගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවිවල නොයෙක් නොයෙක් කතාය. මේ ඒ අතර ජනප්‍රිය කතාවකි.
වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය වෙනස්වීම පමණකැ’යි ප්‍රසිද්ධ කියමනකි. එය සදාකාලික ඇත්තක්ය. නියතයක්ය. දේශපාලනයට ද ආදාළ වන්නේ මේ නියතයය. අපේ දේශපාලන නායකයන්ට නොතේරෙන්නෙත් මේ නියතයමය.

1994 මහ මැතිවරණයෙන් චන්ද්‍රිකා මෙරට ඉතිහාසයේ දිගම කාලයක් බලයේ සිටි ආණ්ඩුව පෙරළුවාය. පොදුජන එක්සත් පෙරමුණට ආසන 94ක් හිමිවිය. යූඑන්පීයට ආසන 81ක් හිමි විය. ජාතික ලැස්තු මන්ත්‍රින් 14ක් චන්ද්‍රිකාට සහ 13ක් රනිල්ට හිමි විය. මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රින් 7 දෙනා සහ ස්වාධීන මන්ත්‍රිවරයකුගේ සහාය ඇතිව චන්ද්‍රිකා ආණ්ඩුව පිහිටෙව්වාය. එක් ආසනයක් වැඩිපුර තියාගෙන අවුරුදු 8ක් ආණ්ඩුව ඇදගෙන ආවාය. 2001 මහ මැතිවරණයෙන් ආසන සැලකිය යුතු ප්‍රමාණයක් දිනූ රනිල්ට අවුරුදු දෙකෙන් ගෙදර යන්නට සිදුවිය. ඒක එහෙම වෙයි කියා රනිල් සිහිනෙන්වත් නොසිතන්නට ඇත. ඒවායේ හැටි එහෙමය. ‘සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි’ කියන්නේ කට කහනවාට වෙන්න බැරිය.

ඩී.එස්. – එස්.ඩබ්ලිව්.ආර්.ඩී.

1946 එජාපය පිහිටුවද්දී ඩී.එස්. නිදහස් සටනේ පුරෝගාමියෙකි. 1948 නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ධුරයට ඩී.එස්. පත්වෙද්දී තිබූ දුර්වල ආණ්ඩු පක්ෂය වසර දෙකක් යන්නට කලින් ශක්තිමත් කළේය. 1947 දී ඩී.එස්.ලාට බලය දුන් මහ මැතිවරණයෙන් පසු ලංකාවේ ඡන්ද රටාව වෙනස් විය. දේශපාලන පොරපිටියේ ලොකුම තුරුම්පුව වූයේ සිංහල ගැමි ඡන්දයි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඊළඟ අගමැති තනතුරට සිහින මැව්වේය. සේනානායකලාගෙන් බණ්ඩාරනායකලාට පිහිටක් නැති බව තේරුම්ගත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. 1951 දී ඩී.එස්. ගෙන් ගැලවුණේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටෙව්වේය. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ මහා සම්මත විකල්ප බලවේගයක් පළමු වතාවට ගොඩනැඟුණේය.

1956 මැතිවරණය වෙද්දී යූඑන්පී ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ සටනක් දියත් කෙරුණේය. ශ්‍රීලනිපය, පිලිප්ගේ සමසමාජය සහ තවත් කණ්ඩායම් දෙකක් එකතුවී ‘මහජන එක්සත් පෙරමුණ’ හැදුවේ ය. නායකයා බණ්ඩාරනායක විය. සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීම ඇතුළු සිත් ගන්නාසුලු සමාජ-ආර්ථික සංවර්ධන වැඩසටහනක් මඟින් සියලු පක්ෂ ඒකාබද්ධ විය. සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරනවාට වාමාංශිකයන් විරුද්ධ විය. සර් ජෝන් එය වාසියක් යැයි සිතුවත් ඡන්ද දායකයෝ නොබෙදුණෝය. නොසිතූ බලයක් ගොඩනැඟුණේය. සියලු නිකාය භේද, වාද භේද දුරලා පෙරට ආ මහ සඟරුවනත් යූඑන්පීය අසුරයාට ඇන්දුවේය, මැතිවරණ සටන සුර-අසුර යුද්ධයක් බවට පත් කළේය. යූඑන්පීය ගෙදර ගියේ ය. බණ්ඩාරනායක අගමැති විය.

වැඩිකල් නොගොස් ඉහළ ගිය ඔන්චිල්ලාව පහළට ආවේය. නොසිතූ දෙයක් ම විය. වාද භේද හටගත්තේය. ජාතිවාදී කෝලාහල ඇතිවිය. මාස 6ක් යන්නට මත්තෙන් කොළඹ මහ නගර සභා ඡන්දයෙන් ආණ්ඩුව අන්ත පරාජයක් ලැබුවේ ය. දිනුවේ යූඑන්පීය ය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු, ඡන්ද දායකයන් ග්‍රහණය කර ගැනීමේ කලාව 56′ ආණ්ඩුව දැන සිටි බවක් නම් පේන්නට තිබුණේ නැත. ආණ්ඩුවෙන් පිලිප්ලා ගැලවුණෝය. 1957 සැප්තැම්බර් වැලිමඩ අසුන වෙනුවෙන් පැවැත්වූ අතුරු මැතිවරණයේ දී ජාතික විමුක්ති පෙරමුණ අපේක්ෂිකාව වූ මන්ත්‍රි රාජරත්නගේ බිරිය හමුවේ ආණ්ඩු පක්ෂය වූ ශ්‍රී ලනිපය අන්ත පරාජයවිය.
ආණ්ඩුව ඇතුළේ මත ගැටුම් උග්‍රවිය ‘යා දෙක නොරත රත’ විය. පිපිරීම් එමට විය. පෙත්සම් ගැසිණි. ගිවිසුම් ගැසිණි. ගිවිසුම් ඉරිණි.

1959 දී පක්ෂය ඇතුළේම දේශපාලන කුමන්ත්‍රණයකින් බණ්ඩාරනායක ඝාතනය වුණේ ය. නොසිතූ දෙයක්ම විය. ශ්‍රීලනිපයට තව අවස්ථාවක් ලැබුණේ ය.

මහින්ද – මෛත්‍රි

2010 ජයග්‍රහණයෙන් මහින්ද නැවතත් ජනාධිපති වශයෙන් දිවුරුම් දෙන්නේ, තිස් වසරක යුද්ධය නිමා කර කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට නිදහස් කරගත් නායකයා ලෙස ය. ලංකාවේ ඡන්ද රටාව නැවතත් වෙනස් විය. දේශපාලන පොරපිටියේ ලොකුම තුරුම්පුව වූයේ දූෂණයට එරෙහි ජනතා ඡන්දයි. මෛත්‍රි අගමැති තනතුරට සිහින මැව්වේය. රාජපක්ෂලාගෙන් සිරිසේනලාට පිහිටක් නැති බව තේරුම්ගත් මෛත්‍රි 2014 දී මහින්දගෙන් ගැලවුණේය. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ නැවතත් මහා සම්මත විකල්ප බලවේගයක් ගොඩනැඟුණේය.

මහින්දට එරෙහිව ඒකාබද්ධ සටනක් දියත් කෙරුණේය. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය, හෙළ උරුමය, සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සහ තවත් ප්‍රගතිශීලී බලවේග රැසක් එකතු වී පුළුල් සන්ධානයක් හැදුවෝය. පොදු අපේක්ෂකයා මෛත්‍රි විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ‘හංසයා’ ලකුණින් ඔහු තරග වැදුණේය. දූෂණයට-වංචාවට තිත, දූෂිතයන් ඇතුළට, පෝට් සිටියට තිත, ඉහළ යන බඩු මිලට තිත, විධායක බලයට තිත, ණය පහළට-ආර්ථිකය ඉහළට ආදී සිත් ගන්නාසුලු ප්‍රතිඥා එමට විය. නොසිතූ බලයක් ගොඩනැඟුණේය. සියලු නිකාය භේද, වාද භේද දුරලා පෙරට ආ මහ සඟරුවන මහින්දව අසුරයාට ඇන්දුවේය, මැතිවරණ සටන සුර-අසුර යුද්ධයක් බවට පත් කළේය. මහින්ද ගෙදර ගියේය. සම්මුතිවාදී ජාතික ආණ්ඩුව බිහි විය. ජනපති මෛත්‍රි, රනිල් අගමැති කළේය.
වැඩිකල් නොගොස් ඉහළ ගිය ඔන්චිල්ලාව පහළට ආවේය. නොසිතූ දෙයක්ම විය. සංහිඳියාව ඉරිතැළුවේය. දකුණු ආසියාවේ ලොකුම බැංකු කොල්ලය සිදු විය. දූෂණය එහෙමම ය, දූෂිතයන් එළියේ ය, පෝට් සිටියත් යහතිනි. බඩු මිල වැඩි විය, විධායක බලයත් එහෙමමය, ණය ඉහළය-ආර්ථිකය පහළය, ජාතික ආණ්ඩුවේ පක්ෂ දෙක දේශපාලන වේදිකාවේදී මරාගත්තේ ය, බොරු දේශපාලන පොරොන්දු ජනතා විශ්වාසය සුනු-විසුණු කළේය. ආණ්ඩුව ඇතුළේ මත ගැටුම් උග්‍ර විය. ‘යා දෙක නොරත රත’ විය. පිපිරීම් එමට විය. පෙත්සම් ගැසිණි.

ගිවිසුම් ගැසිණි. ගිවිසුම් ඉරිණි.

නොසිතූ දෙයක්ම විය. අවුරුදු දෙකක් වෙද්දී ආණ්ඩුව මහින්දගේ අලුත් පක්ෂය සමඟ තරග කර පළාත් පාලන ඡන්දෙන් අන්ත පරාජයක් ලැබුවේය. ශ්‍රීලනිපය තරග වැදුණේ ඉතාමත් දුර්වල අන්දමිනි. ඔවුන්ට වැලේ වැල් නැති විය. එජාපයට ඇපත් නැති විය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩු බලය තිබියදී පාලක පක්ෂ දෙක, එනම් ශ්‍රී ලනිප-එජාපය පළාත් පාලන ඡන්දයත් පරාද විය. බණ්ඩාරනායකවරුන්ගේ තිඹිරි ගෙය, අත්තනගල්ල අන්ත ලෙස පරාද විය.

ජනවාරි 8 විප්ලවයෙන් පසු, ඡන්ද දායකයන් ග්‍රහණය කර ගැනීමේ කලාව සම්මුතිවාදී ආණ්ඩුව දැන සිටි බවක් නම් පේන්නට නැත. පෙරළියේ උන්මාදයෙන් ආණ්ඩුව වැජඹෙද්දී, මහින්ද පන්සලෙන්ම යළි වැඩ පටන්ගත්තේය. බිම් මට්ටමේ ව්‍යාපාරයක් ගෙන ගියේය. ජන රැල්ල මහින්ද වටා කැරකුණේ ය. 2018 පළාත් පාලන මැතිවරණය කරටත් උඩින් දින්නේය.

දෙකයි තුනයි එකතු කළාම,එකට වැඩිද?

අන්ත පරාජයෙන් පසු යූඑන්පීයයි ශ්‍රී ලනිපයයි ඡන්ද ප්‍රතිඵලය කැමැති-කැමැති, වාසි-වාසි විදියට විශ්ලේෂණය කර ගත්තෝය.
1970 මහ මැතිවරණයේදී මැතිනිය ආසන 91ක් ජයග්‍රහණය කරද්දී ඩඩ්ලිගේ නායකත්වය යටතේ එජාපය ආසන 17කට පල්ලම් බැස්සේය. සමඟි පෙරමුණ 2/3ක මන්ත්‍රි සංඛ්‍යාවක් ගත්තේය. නමුත් ප්‍රතිඵල විග්‍රහයේදී ශ්‍රීලනිපය ලබා තිබුණේ ඡන්ද 1,839,979කි. යූඑන්පීය ඡන්ද 1,892,525ක් ලබා තිබුණේය. දිනපු ශ්‍රීලනිපයට වඩා පැරදුණු යූඑන්පීය ඡන්ද ලබා තිබුණේය. සමඟි පෙරමුණේ ප්‍රතිශතය 36.86% කි. යූඑන්පීය 37.91%ක් විය. හැබැයි ඡන්දය අවසානයේදී කවුරුවත් යූඑන්පීය දිනුවා යැයි කීවේ නැත.

2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් මිලියන 3කට ආසන්න බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තාය. ට්‍රම්ප්ට වඩා 2.1%ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තාය. නමුත් ඡන්ද ක්‍රමය යටතේ ට්‍රම්ප්ට ආසන 304ක් හිමි වෙද්දී හිලරි දිනුවේ ආසන 277ක් ය. ට්‍රම්ප් ජනාධිපති විය. කිසිවකුත් හිලරි දිනුවා යැයි කීවේ නැත. ජයග්‍රාහකයා නිර්මාණය වන්නේ පළමුවැනියා වීමෙන්ය. දෙවැනියා හා තුන්වැනියා එක්වී අපි දිනුම් කියන්නට ගියොත් විහිළුවක්ය. මේ විශ්ලේෂණ වැරැදිය, අඥානය. ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත යුතුව ඇත. සිත් සනසාගෙන පලක් නැත.

මහින්දගේ දේශපාලන කැරිස්මාව පරාජය කළ හැකි නායකත්වයක් යූඑන්පීය පැත්ත පළාතේ පෙනෙන්නට නැත. ශ්‍රීලනිපය අනාථ වී ඇත. දේශපාලකයන්ට ජනතාව හැමදාම ගොනාට ඇන්දවිය නොහැකි ය. පොහොට්ටුවට සුපිරි ජන වරමක් ලැබී ඇත. මහින්ද මේ සුපිරි ජන වරම 2020තෙක් රැක ගනීද කියා නම් කියන්නට දන්නේ නැත.

“වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය වෙනස්වීම”ය. මේ සදාකාලික නියතය තේරුම් ගත් දේශපාලන නායකයෙක්, පක්ෂයක් රටට අවැසිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress