රනිල් කැපුවොත් ජනාධිපතිට ගෙදර යන්න වෙයිද?
Posted on February 25th, 2018

නාමල් උඩලමත්ත යුතුකම සංවාද කවය

අගමැතිවරයා ඉවත් කළේ නම් තමාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එම තීන්දුව මත පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තමා ධුරයෙන් නෙරපීමේ සැලසුමක් තිබූ බව ජනාධිපතිවරයා පවසා තිබේ.

එවැනි දෝෂභියෝගයක් ඉදිරිපත් කිරීමේ සැලැස්මක් තිබිණි යැයි විශ්වාස කළ ද එය සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් අවශ්‍ය වෙයි. එම දෝෂාභියෝගය සඳහා එජාපයේ 106 දෙමළ සන්ධානයේ 16, ජවිපෙ 6, මුස්ලිම් කොංග්‍රසයේ 1 සහ ඊපිඩීපී 1 පක්ෂ වේ යැයි උපකල්පනය කළ ද ලබා ගත හැක්කේ ඡන්ද 130කි. ඒ අනුව 2/3ක් ලබා ගැනීමට තව ඡන්ද 20ක් උවමනා වෙයි.

ඉතිරි ඡන්ද ඇත්තේ ඒකාබද්ධය සහ ශ්‍රීලනිපය සතුව නිසාත් අගමැතිවරයා ඉවත් කිරීම යනු ඒකාබද්ධයේ ඉල්ලීමක් නිසාත් එම දෝෂාභියෝගයට කිසිසේත් ජයග්‍රහණය කළ නොහැකිය. ජනපති තනතුරට කිසිදු බලපෑමක් සිදු නොවෙයි. මේ අනුව ජනාධිපතිවරයාට කිසිවකු විසින් සුපුරුදු පරිදි තවත් ලනුවක් දී ඇත.

එසේ නැත්නම් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා මැතිවරණ දිනවල අපි තරහයි නාටකය රඟ දැක්වූයේ යැයි පිරිසක් පැවසූ මතය පිළිගැනීමට අපට සිදුවෙයි. ජනාධිපතිවරයා නොකෙරෙන දීගයට කෝඳරු තෙල් හත් පට්ටයයි තවත් ටිකක් හොයමින් කල් මරමින් සුපුරුදු පරිදි රඟපාන්නේ මැතිවරණ ප්‍රතිඵලය ඔස්සේ ලබා දුන් ජනතා තීන්දුව යටපත් වන තුරුය.

අනිත් අතට රනිල් ඉවත් කර වෙනත් අගමැතිවරයකු පත් කර ගැනීමට මේ වන විට ඒ සඳහා මහින්දගේ සහාය ප්‍රකාශ වී තිබේ. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට මහින්ද සිරිසේනට සහාය නොදෙන බවටත් රට අගාධයට යන්නේ ඒ නිසා බවටත් ඒ සඳහා ද අවසානයේ වගකිය යුත්තේ මහින්ද බවටත් කළ ප්‍රකාශ ගැන අප දැන් නැවත විමසා බැලිය යුතුය.

2015 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ජනමතය වෙනස් වී ඇතැයි එවක 2/3 බලයක් සහිත ආණ්ඩුව වෙනුවට නව ආණ්ඩුවක් පත් කරගත් ජනාධිපතිවරයාට මේ අවස්ථාවේ ද 2015 තීන්දුව මත. පිහිටා කටයුතු කරනු හැර විකල්පයක් නැත. බොරු තර්කවලින් තව තවත් පිරිහෙනු මිස වන සෙතක් නැත.

ජනතාව බොරුවෙන් රැවටීම කළ නොහැකිය. මේ නිසා සිදුවන්නේ ඡන්දය ආසන්නයේ ජනාධිපතිවරයා “මම හොරු එක්ක තවත් ආණ්ඩු කරන්න සුදානම් නෑ” “ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම බැඳුම්කර හොරකමයි” “මම හොරුන්ට දඬුවම් දෙනවා” “ආන්ඩුවේ ඉතිරි කාලය රටේ ආර්ථිකය හසුරුවන්නේ මමයි” කියමින් කළ ගර්ජනාවලට රැවටී ඔහු නියෝජනය කළ බලවේගයට ඡන්දය දුන් 13% අතර සිටින පිරිස ද එළඹෙන මැතිවරණයේ දී ඔහු අතැර යාම පමණි. 

නාමල් උඩලමත්ත

One Response to “රනිල් කැපුවොත් ජනාධිපතිට ගෙදර යන්න වෙයිද?”

  1. NAK Says:

    Sirisena is a compulsive habitual liar.He will keep lieing to do his best to please his colonial masters.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress