ටීඑන්ඒ යෝජනා 10 කට අගමැති එකඟ වුණා – මන්ත්‍රී අඩෛකලනාදන් කියයි
Posted on April 5th, 2018

උපුටා ගැන්ම දිවයින

විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට පක්‌ෂව ඡන්දය පාවිච්චි කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ යෝජනා දහයකට අගමැතිවරයා එකඟතාව පළ කළ බව එම සන්ධානයේ වන්නි දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් මහතා පැවසීය. 

එම යෝජනා ඉදිරිපත් කළ විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතැම් යෝජනා පිළිගැනීමට අකැමැති වූ අවස්‌ථාවේදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් වචන පවා හුවමාරු වී දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හටගත් බව ද සෙල්වම් අඩෛකලනාදන් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ නමුත් යෝජනා කීපයක්‌ ප්‍රතික්‌ෂේප වීමෙන් පසුව අවසානයේදී යෝජනා දහයකට අගමැතිවරයා එකඟ වූ බවද හෙතෙම කියා සිටියේය. අගමැතිවරයා විසින් දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට පොරොන්දු වී ඇති යෝජනා මෙසේය.

1.උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනමින් දේශපාලන විසඳුමක්‌ ලබාදීම,

2.මීළඟ මැතිවරණයකට පෙර නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීම,

3.යුද හමුදාව විසින් පරිහරණය කරනු ලබන උතුරු නැගෙනහිර වැසියන්ගේ සියලු ඉඩම් ආපසු ලබාදීම,

4.දේශපාලන සිරකරුවන් සියලු දෙනාම පොදු සමාවක්‌ යටතේ නිදහස්‌ කිරීම,

5.යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීම,

6.උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‌ෂිත කිරීම, එම පළාතේ තරුණ තරුණියන්ට සුදුසු රැකියා ලබාදීම,

7.උතුරු නැගෙනහිර පළාත්වල රැකියා දීමේදී එම පළාත්වල සුදුසුකම් ඇති අය සිටියදී දකුණේ අයට උතුරු හා නැගෙනහිර පළාත්වල රැකියා ලබාදීම නතර කිරීම,

8.උතුරු නැගෙනහිර ප්‍රධාන දිස්‌ත්‍රික්‌ක අට සඳහා දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් ලෙස දෙමළ ජාතිකයන් පත් කිරීම

9උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේදී එම පළාත් සභා දෙකේ මන්aත්‍රීවරුන්ගේ මතවලට ගරු කිරීමද

10.එම පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීමද

මේ යෝජනා අතර .වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress