අලුත් අවුරුද්දෙන් පස්සේ විශ්වාසභංගයේ ඇත්ත කතාව අපි රටට කියනවා
Posted on April 13th, 2018

උපුටාගැණීම  මව්බිම

තමන් පැවසූ, සටන් කළ, අනුමත කළ සියලු දේ විශ්වාසභංගය තුළ තිබූ නිසා ඒ සඳහා හෘද සාක්ෂියට අනුව පක්ෂව ඡන්දය දීමට කටයුතු කළ බව ශ්‍රී ලනිපයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (12දා) ශ්‍රී ලනිප පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

රටේ ආර්ථිකය කඩාගෙන වැටුණු හැටි, රුපියල අවප්‍රමාණය වුණු හැටි, ආර්ථික සංවර්ධන වේගය අඩුවුණු හැටි, ඒකපුද්ගල ආදායම එකතැන පල්වෙන්න ගත්ත හැටි, රටේ විදේශික සංචිත අඩුවෙච්ච හැටි, බලාපොරොත්තු දිශාවට රටේ සංවර්ධනය ගමන් නොකරන හැටි ගැන මේ විශ්වාසභංග යෝජනාව තුළින් කතාබහට ලක්වෙනවා. ඒ විතරක් නෙමෙයි නුවර සිදුවුණු අවාසනාවන්ත සිදුවීම සම්බන්ධවත් එහි අඩංගුයි.

අපි විශ්වාසභංග යෝජනාවට එකඟ වුණේ අපේ මතය 100%ක්ම ඒ තුළ ගැබ්වී තිබුණු නිසයි.

මේ පිළිබඳව පක්ෂය ඇතුළේ පැවැත්වූ සාකච්ඡා වට ගණනාවේදීත් අවසාන හමුවේදීත් අපේ මන්ත්‍රිවරු තීරණය කළේ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්නයි. මීට පෙර අපේ පක්ෂයේ සියලු මන්ත්‍රිවරුන් අගමැතිගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේත් ඔහුට තිබූ අකැමැත්ත නිසා නොවේද?

කොහොම වුණත් අපි අපේ දේශපාලන තීන්දු තීරණ අරගෙන පක්ෂය සාර්ථකව ඉදිරියට ගෙනයන්න සහාය දෙනවා. අපි මධ්‍යම කාරක සභාවේ තීන්දුව ගත්ත ගමන් ගිහින් විපක්ෂයේ අසුන් ගන්නවා. මේ අයත් එක්ක රණ්ඩු වෙවී ඉන්නෙ නැතිව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙලා තනි ආණ්ඩුවක් කරගෙන යන්න අවස්ථාව දෙන එක, ඒකට අපේ පක්ෂය සහාය දිය යුතුයි කියලයි මම නම් හිතන්නේ. අපි මේ ආණ්ඩුවෙන් ඉවත්වෙලා කරන්නේ එජාපයට ඉඩකඩක් දීමක්.

අපි ඔවුන් කරන හොඳ වැඩවලදී, ජාතික ආණ්ඩුවක් හදලා එකඟවෙච්ච කාරණාවලදී, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය ආදිය වෙනුවෙන් යෝජනා සම්මත කරගැනීමේදී සහයෝගය දීමට බලාපොරොත්තු වෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහත් එක්ක මේ රටේ ආර්ථිකය ගොඩගන්නවත්, මේ රටේ අපි බලාපොරොත්තු වන ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නවත්, අපි බලාපොරොත්තු වෙන සංහිඳියාව රටේ ස්ථාපිත කරන්නවත්, මේ රටේ කම්කරුවන්ගේ, දරුවන්ගේ, ජනතාවගේ ප්‍රශ්න විසඳන්නටත් අපහසුයි.

ඒ වගේම අපට පේන්නේ දිනපතාම මේ අය වියරුවෙන් වගේ මුදල් පසුපස දුවමින් රාජ්‍ය දේපළ අවභාවිත කරමින් කටයුතු කරන බවයි.

ඒ නිසා අපි ශ්‍රී ලනිපය, එජනිස හැටියට විපක්ෂයේ ඉඳගෙන කටයුතු කිරීමටයි. වරදක් නොකරන තාක්, වංචාවක් නොකරන තාක්, හොරකමක් නොකරන තාක් අපි ඔවුන්ට බාධා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

ජනාධිපතිතුමා බලාපොරොත්තු වන යහපාලනය, සංහිඳියාව, සාමය වැනි දේ සඳහා එතුමා බොහෝ දේ කළා. හැබැයි මොනතරම් උත්සාහ කළත් ඇතැම් මැති ඇමැතිවරු වියරුවෙන් වගේ මුදල් උපයන්න, රාජ්‍ය දේපළ වගේ දේවල් විකුණන්න විශාල උනන්දුවක් දක්වනවා.

මේ අතර ලෝකයේ කොහේවත් නොවුණු විදියට ශ්‍රී ලංකා මහ බැංකුවේ මහා හොරකම වුණා. මේ පිළිබඳ පළමුවැනි පැමිණිල්ල කළේ එජනිස ලේකම්වරයා. ඒ වගේම අපේ පක්ෂයේ මැති ඇමැතිවරු ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට විරෝධතා පැවැත්වුවා. අපේ දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න වගේ ඇමැතිවරු කෝප් කමිටුවේ ඉඳිමින් හොඳ අධ්‍යයනයක නියැළෙමින් කටයුතු කළා.

නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විශේෂ කමිටුවක් දාලා මේ පිළිබඳ පක්ෂයට නිර්දේශ ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම ජනාධිපති කොමිසමක් පත් කරලා නීති කටයුතු ඉදිරියට සිදුවෙමින් පවතිනවා.

මේ අතර අපි දැක්ක දෙයක් තමයි සම්ප්‍රදායට පටහැනිව ශ්‍රී ලංකා මහ බැංකුව අගමැතිතුමා යටතට පත්කරගත්තා. මේ හරහා මූල්‍ය පනත් 8කට ව්‍යවස්ථානුකූල ගැටලු ආවා.

පසුව පළාත් පාලන මැතිවරණයෙන් පසුව එජාපයේ 1/2ක්ම කිව්වේ අගමැතිත් එක්ක වැඩකරන්න බැහැ කියලයි. අගමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාව පිළිබඳ යෝජනාව පළමුවෙන්ම ඉදිරිපත් වුණේ එජාපයෙන්.

අපට හැඟෙන විදියට වරක් දෙවරක් තුන්වරක් නෙමෙයි පස් හය වතාවක් පෞද්ගලිකව හමුවෙලා ජනාධිපතිතුමා එතුමාට තනතුරෙන් ඉවත්වීම පිළිබඳ යෝජනාව ගෙනාවා.
කෙසේ වුණත් ඉදිරියටත් නායක මෛත්‍රිපාල සිරිසේන යටතේ ශ්‍රී ලනිපය යටතේ රැඳෙමින් අපි අපේ දේශපාලන තීන්දු තීරණ අරගෙන ඉදිරියට ගෙනයනවා.

මෙතැනදී ඒකාබද්ධ විපක්ෂයට අපි එක්කවත් අපිට ඒකාබද්ධ විපක්ෂය එක්කවත් එකඟවිය යුතු නැහැ. මොකද අපි එක පවුලේ සාමාජිකයෝ. ලේ ඥාතියෝ.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර

පක්ෂයේ, සන්ධානයේ මහලේකම්වරුන්ගේ යම් යම් දේ ගැන අප කිසිසේත් එකඟ නෑ. ඒවා අපි කතා කරන්නේ මධ්‍යම කාරකසභාවේදී. ඒ නිසා අපි ඒ අයට විරුද්ධව කතා කරන්නේ නෑ. බේරගන්න තියෙන ගනුදෙනු සියල්ල එතැනදී බේරගන්නවා.

ශ්‍රී ලනිපයේ අපි එකට යා යුතුයි. එතැන එජාපයේ එක කකුලක් තියන් ඉන්න අයට ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඉන්නත් බෑ. මේ විදියට ගියොත් අපිත් එක්ක හිටිය ලක්ෂ 13ත් ලක්ෂ දෙක තුනට බහියි. එදා කිව්වා වගේ යූ.එන්.පී.යත් එක්ක වැළලෙන්න සූදානමක් නැහැ.

මේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමත් යූ.එන්.පී. එකට ද්‍රෝහි වීමක්, රනිල් වික්‍රමසිංහ මහත්තයට පක්ෂව ඡන්දය නොදීමත් යූඑන්පීයට ද්‍රෝහිවීමක්. අපි පමණක් ද්‍රෝහියො වෙලා තවත් පිරිසක් එහෙම නොවීමට යම් කිසි එකමුතුවක්, බැඳීමක් ඒ අය තුළ යූඇන්පීය හා තිබිය යුතුමයි.
ඒකයි අපි කියන්නේ, ඒගොල්ලන්ට ආණ්ඩු කරන්න ඉඩදීලා එළියට ගියහම ඇත්ත වශයෙන්ම ඩීල් ගහපු කට්ටිය එළිවෙයි. එහෙම නොකරපු අය ශ්‍රීලනිප මතයත් එක්ක එළියට එයි.

මේ ඡන්දය නොදුන් 26න් අතිමහත් බහුතරයක් ශ්‍රී ලනිප අපිත් එක්ක ඉන්න තීන්දුවේ ඉන්න අය. ඔවුන්ගෙත් අතේ ඇඟිලි ප්‍රමාණයක පිරිසක් තමයි, විවිධ ප්‍රශ්න මත එජාපය හා යම් බැඳියාවක් තියෙන්නේ. ඒ නිසා අපි කියන්නෙ කරුණාකර ඇතුළෙ ඉඳගන්න. එළියෙ ඉඳන් ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා කිය කිය යූඇන්පීයට අපිව විකුණන්න හදන්න එපා. අපි ඒකට සූදානම් නෑ.

ඒ නිසා ඇත්තටම යූඇන්පීයට වැඩ කරන්නෙ කවුද, ඇත්ත ශ්‍රී ලංකාකාරයො කියන්නෙ කවුද කියලා තව ටික දවසකින් බලාගන්න පුළුවන්.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා

විශ්වාසභංග යෝජනාව අගමැතිට ආශීර්වාදයක් වෙලානෙ තියෙන්නෙ. දැන් නැති 113 පෙන්නලා තියෙන්නේ. ඉතින් තනි ආණ්ඩුවක් පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙද්දි ඇයි අපි අසාර්ථක පරීක්ෂණයේ රැඳී සිටින්නේ.

කොහොම වුණත් ඉදිරියේදී අපේ මේ තීන්දුව ගැන අපේ පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා අප කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ ගුරුතුමිය හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග එක්කත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වුණත් ඇය ඉන්නේ නම් හංස පූට්ටුවේ. ඒ විතරක් නෙමෙයි හිටපු අගමැති දි. මු. සමඟද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි අලුත් අවුරුද්දෙන් පසුව විශ්වාසභංගයේ ඇත්ත කතාව රට පුරා කියන්න බලාපොරොත්තු වෙනවා.

 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress