ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන යටි අරමුණක් සහිත ව්‍යවස්ථා සංශෝධනයෙන් අර්ජුන් ඇලෝසියස් වැනි පුද්ගලයෙක් මේ රටේ ජනාධිපති වුණත් පුදුම වෙන්න එපා.
Posted on June 1st, 2018

ඉෂාරා සිල්වා උපුටාගැණීම  මව්බිම

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය පිළිබඳ කථා කිරීමට පෙර කල් දැමූ පළාත් සභා මැතිවරණය පිළිබඳ කතා කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මතක් කර දෙයි.

ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණ යටි අරමුණක් සහිතව ගෙන එන මෙම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අර්ජුන් ඇලෝසියස් වැනි පුද්ගලයකු වුවද මෙරට ජනාධිපතිවරයා ලෙස අනාගතයේදී පත්විය හැකි බව ඒ මහතා අවධාරණය කළේය.

ඊයේ (31දා) බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ කණ්ඩායමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනතා විමුක්ති පෙරමුණ වැරැදි අර්ථ කථනයක් ලබාදෙනවා. ඔවුන් කියනවා මෙය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් කියලා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපේ රටේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් නොවෙයි. දැනට පවතින ක්‍රමය අහෝසි කරලා වෙනස්ම ක්‍රමවේදයකට ජනාධිපතිවරයෙක් පත් කිරිමටයි. ජනතා විමුක්ති පෙරමුණ අර්ථ දැක්වීම තුළත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැරැදියි කියලා තමයි පටන් ගන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන් ඊයේ රාත්‍රියේ රැස්වෙලා තීරණයක් ගත්තා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපේ සහාය ලබා නොදීමට. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රමය වෙනස් කිරීම එක් අංගයක් පමණයි.

අලුතින් නිර්මාණය කරන්න යන ව්‍යවස්ථාව මැතිවරණ කාලසීමාවේදී යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක් බවට පත්වුණා. මේ නිසා සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාව හැටියට පත් කළා. අලුත් ව්‍යවස්ථාව සකස් කිරීමේ මෙහෙයුම් කමිටුවක් පත් කළා.
රටපුරා ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් 200කට වැඩිය තිබුණා. කෝටි ගණනක් අපේ රටේ මහජනතාවගේ මුදල් මේ සඳහා වියදම් කළා. එවැනි අවස්ථාවක මේ ආණ්ඩුවේ ප්‍රධාන කර්තව්‍යය ඉටුකළ පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයුම් කමිටුවේ වාඩිවෙලා සමස්ත ව්‍යවස්ථාව ගැන කතා කරද්දී එක් අංගයක් ගැන පමණක්ම කථා කිරීම ගැන අපිට සැකයක් ඇතිවෙනවා. ඉදිරියේදී යම් ආකාරයකට පැවැත්වෙන මැතිවරණයකින් ජයග්‍රහණය කරන්න බැරි වෙන හින්දා වෙනත් ආකාරයකට ජනාධිපතිවරයෙක් පත් කරගැනීමට තමයි ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරන්නේ.

දයාසිරි ජයසේකර මන්ත්‍රිවරායා කියනවා 118 දෙනෙක් මුදල් ලබාගෙන තිබෙන බව අර්ජුන් ඇලෝසියස්ගෙන්. මොකටද මේ ජනතා විමුක්ති පෙරමුණ එන්නේ කියලා එයින්ම පෙනෙනවා. 118ක් මන්ත්‍රිවරුන් මුදල් ලබාගත්තා නම් අර්ජුන් ඇලෝසියස්ගේ ආයතනවලින්. මේ රටේ සිදුවූ බරපතළම වංචාව වහන්න තමයි ඒ මුදල් ලබාගත්තේ. ඊටත් වඩා මන්ත්‍රිවරුන් 5ක් අඩුවෙන් තමයි අවශ්‍ය වන්නේ අපේ රටේ ඊළඟ ජනාධිපතිවරයා පත්කර ගැනීමට.

ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන යටි අරමුණක් සහිත ව්‍යවස්ථා සංශෝධනයෙන් අර්ජුන් ඇලෝසියස් වැනි පුද්ගලයෙක් මේ රටේ ජනාධිපති වුණත් පුදුම වෙන්න එපා. ඒ තරම් සූක්ෂ්ම ආකාරයට තමයි මේ ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ. ආණ්ඩුවට සම්බන්ධ සියලු පාර්ශ්වයන් මේ රට විනාශ කරලා තිබෙනවා. විනාශයේ තරම කොපමණද කිව්වොත් රටේ ප්‍රධානියා මාධ්‍ය ඉදිරියට ඇවිත් කියනවා මේ රටේ ඇතිවෙලා තිබෙන අසාර්ථකත්වය ගැන. අපි අවුරුදු 3කට කලින් කියපු දේවල් අද ආණ්ඩුවේ අයට ඔප්පු වෙලා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාටත් ආසියාවේ හොඳම මුදල් ඇමැති කියන සම්මානය හිමිවුණා. නමුත් ඔහු මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්නට කරපු ක්‍රියාකාරකම් පෙන්වාදෙන්න ඕන තරම් කරුණු සාධක තිබෙනවා.

ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා විවෘත සංවාදෙකට එන්න කැමැතියි කියලා. අපිත් කැමැතියි එතුමා විවෘත සාකච්ඡාවකට එනවා නම් ඕනෑම නාළිකාවක. අපි අහන්න කැමැතියි එතුමාගෙන් 118 නම් ටික සඟවාගෙන ඉන්නේ කවුද කියලා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress