ජනාධිපතිවරණය අහෝසිකර රටට ‘ශික්‍ෂණය’ ගෙන ඒමට අනුර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිලට ගත හැකි පුද්ගලයකු ජනාධිපති කිරීමට යෝජනා කරයි..
Posted on June 5th, 2018

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ

ශික්‍ෂණයට වඩා සමීප මුළු රටේම ජනතාවගේ කැමැත්තෙන් ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම ද? නැතහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිලට ගත හැකි අර්ජුන් ඇලෝසියස් වැනි පුද්ගලයකු ජනාධිපති ධුරයට පත් කර ගැනීම ද? යන ප්‍රශ්නයට ජනාධිපතිවරණය අහෝසිකර රටට ශික්‍ෂණය ගෙන ඒමට යෝජනා කරන ජවිපෙ නායකයා විසින් පිළිතුරු ලබා දිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (03) ‘පරගැති ආණ්ඩුව, 20 වැනි සංශෝධනය හා ජාතියේ ඉරණම’ යන තේමාව යටතේ හලාවත ක්‍රවුන් ශාලාවේ දී විශේෂ දේශනයක් සිදු කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

දින සීයෙන් අලුත් රටක්, කියන බේගලයට රැවටුණු 62 ලක්‍ෂයට දැන් බඩ කපාගෙන මැරෙන්න හිතෙන තත්වයක් රට තුළ උද්ගතව තිබෙනවා. තාවකාලිකව මේ රට භාරගත්තු මේ පාලකයන්ට එය සදාකාලිකව විපතකට ඇද දමන්න ඉඩ දී නිහඬව සිටීමට රටට ආදරේ කරන කිසිවකුටවත් බැහැ. අද මේ රට ආර්ථිකමය වශයෙන් පමණක් නොවෙයි, ජාතික ආරක්‍ෂාව අතිනුත්, දේශපාලනමය වශයෙනුත් බරපතළ අයුරින් අස්ථාවර වෙමින් තිබෙනවා. මේ සම්පූර්ණ චිත්‍රය අප පැහැදිලි කර ගත යුතුව තිබෙනවා. මේ විපතින් මේ රට ගලවාගත හැක්කේ රටට සිදු වෙමින් පවතින දෙය පැහැදිලිව තේරුම් ගතහොත් පමණයි.

අවුරුදු තුනක් තුළ මේ ආණ්ඩුව රටේ ආර්ථිකය ඇද වට්ටවා තිබෙන තැන දැනගැනීමට මා එක් උදාහරණයක් පවසන්නම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද ලෝකයේ පත්ලේම පවතින රටවල් තම සිතැඟි පරිදි නටවමින් සිටිනවා. මේ වන විට අපේ කලාපයේ එවැනි රටවල් දෙකක් පමණයි පවතින්නේ. එකක් මොංගෝලියාව, අනෙක තමයි අපේ මේ ශ්‍රී ලංකාව. ගෙවී ගිය වසර තුන පුරාම මේ ආණ්ඩුව ස්වදේශිකයාට බදු පෝරියල් එකක් දීලා විදේශිකයාට හැකි තරම් බදු සහන සහ වෙනත් සහන දුන්නා.

‘විනිමය පාලන පනත සංශෝධනය කිරීම’

අද ශ්‍රී ලංකාව කළු සල්ලි, සුදු සල්ලි බවට පත් කරන තිප්පොළක් බවට පත්ව තිබෙනවා. එසේ වූයේ විනිමය පාලන පනත සංශෝධනය කිරීම මගිනුයි. දැන් මහ බැකුවේ පාලනයකින් තොරව රට තුළට ඩොලර් ගෙන එන්නත්, ආපසු රැගෙන යන්නත් පුළුවන්. ඒ අනුව තමයි කොටි හිතවාදී ලයිකා මොබයිල් සමාගමට තමන්ගේ කළු සල්ලිවලින් ඊඒපී මාධ්‍ය ජාලය ඇතුළු සමූහ ව්‍යාපාරය මිලදී ගන්න හැකි වී ඇත්තේ. ඊඒපී මාධ්‍ය ජාලය මිලදී ගැනීමට දේශීය ව්‍යාපාරිකයකු වැඩි ලංසුවක් තබා තිබුණත් විශේෂ කැබිනට් අනුමැතියකින් එය ලයිකා මොබයිල් සමාගමට හිමිව තිබෙනවා. විදේශිකයන් කළු සල්ලි රැගෙන විත් ලංකාවේ ව්‍යාපාර මිලදී ගනිද්දි ඊඒපී සමූහ ව්‍යාපාරයට අයත් ඊටීඅයි සමාගමේ මුදල් තැන්පත් කළ ස්වදේශික ජනතාවට සිදුව ඇත්තේ කුමක්ද? ඒ අය හද්දා අනාථ වෙලා. ආණ්ඩුව කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීන්දුව අනුව, පෞද්ගලික සමාගමකින් සිදු වූ පාඩුව සඳහා මේ ජනතාවට රාජ්‍ය මුදලින් වන්දි ගෙවන්න බැහැ කියලයි. විදේශිකයාට කළු සල්ලි ගෙනවිත් ව්‍යාපාර මිලදී ගන්න පුළුවන් වුණාට මේ රටේ ජනතාවට තමන්ට සිදු වූ පාඩුව පියවා ගන්න ආණ්ඩුවෙන් කිසිදු පිළිසරණක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ ආණ්ඩුව විදේශිකයන්ට තට්ටු නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගැනීමේදී පනවා තිබූ 100%ක බද්ද ඉවත් කිරීමටත් කටයුතු කර තිබෙනවා. 62 ලක්‍ෂය ජනවාරි 08 වැනිදා කතිරය ගැහුවේ ‘අපට බදු පෝරියල් එකක් දීලා, සුද්දන්ට බදු ගහන එක නවත්වන්න කියලා ද?’ කියා අපි අහනවා.

‘ගොවියාට සින්නක්කර ඔප්පු දීම පිටුපස කතාව’

දැන් මේ ආණ්ඩුවට ගොවියා පිළිබඳ මහා සත්ව කරුණාවක් පහළ වී තිබෙනවා. අවුරුදු තුනක් තිස්සේ පොහොර සහනාධාරය කපා දමලා, වී ටික සහතික මිලට මිල දී නොගෙන ගොවියා හද්දා අමාරුවේ දමපු මේ අය ගොවියාට සින්නක්කර ඔප්පු දීම පිටුපස තිබෙන කතාව කුමක්ද? මේ ගොවි ඉඩම් බොහෝ ඒවා බලපත්‍රලාභී ඉඩම්. ඒවා පවුලෙන් පිට විකුණාගන්න බැහැ. දැන් වැලේ වැල් නැතිව සිටින ගොවියාට සින්නක්කර ඔප්පුව ලැබුණාම එය විකුණාගත හැකියි. ඒ විකුණන ඉඩම් විදේශ සමාගම් අතට ගන්නත් වැඩක් මේ ආණ්ඩුව හදලා දීලා තිබෙනවා. ඒ තමයි කුඹුරුවල සෝලා පැනල් ගහන ව්‍යාපෘතියක් හඳුන්වා දීම. දැන් විදුලි බල මණ්ඩලය හා එක්ව කුඹුරුවල සෝලා පැනල් ගහන්න එන විදේශ සමාගම්වලට ගොවීන් තම කුඹුර විකුණන එක වළක්වන්න බැහැ. කුඹුරේ සෝලා පැනල් ගහන්න දුන්නාම අපට කන්න වී කොයින්ද? ඒකටත් මේ පරගැති ආණ්ඩුවට අපූරු උත්තරයක් තිබෙනවා. දැන් කැබිනට් මණ්ඩලයටත් කොලේ වහළා අත්සන් කරපු සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ තමයි ඒකට උත්තර තිබෙන්නේ. තායිලන්තයේ වී අතිරික්තයක් තිබෙන කාලයට සිංගප්පූරුව තායිලන්තයෙන් වී අරගෙන තමන්ට ඉහත ගිවිසුමෙන් ලබා දී තිබෙන බදු සහනය පාවිච්චි කරලා ශ්‍රී ලංකාවට වී ටික එවාවි. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අනුව භාණ්ඩවලට විතරක් නොවෙයි, වෘත්තිකයන් හා වෙනත් සේවා සපයන්නන්ට ද මේ රටට පැමිණ රැකියා කරන්න අවස්ථාව උදාකර දී තිබෙනවා. දැනටමත් අපේ කොල්ලො කෙල්ලො හූල්ලද්දි චීන්නු 12,000ක් සහ ඉන්දියානුවන් 10,000ක් මේ රටට පැමිණ රැකියා කරනවා. සිංගප්පූරු වෙළඳ ගිවිසුම අනුව සිංගප්පූරුවේ ලියාපදිංචි මෑන් පවර් සමාගම්වලට මේ රටට ඇවිත් සේවා සපයන්න පුළුවන්. ඒ අනුව ඒ මෑන් පවර් සමාගම් හරහා ඉන්දියානු වෘත්තිකයන් හා වෙනත් සේවා සපයන්නන් මේ රටට පැමිණ අඩු පඩියට වැඩ කරාවි. අපේ අනාගත පරපුරට රැකියා විරහිතව ඉන්න සිදුවේවි.

‘හොරකම නැමති ලිහිසි තෙල්’

විදේශිකයන්ට අපේ ආර්ථිකය තුළට රිංගන්න ඉඩ හදමින් යන මේ ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය වර්ධන වේගය 3%ක අගයකට පහත වැටී තිබෙනවා. යුද්ධයකට සල්ලි පිච්චෙන කාලයේදීත් මහින්ද රාජපක්‍ෂ පාලනයට මේ රටේ ආර්ථික වර්ධන වේගය 7%ක පමණ අගයක පවත්වා ගන්න පුළුවන් වුණා. මේ පාලක ජෝඩුව දැක්කාම තියෙන වර්ධන වේගයත් බහිනවා. මේ අය පවත්වා ගෙන යන්නේ නව ලිබරල්වාදී ආර්ථිකයක්. එම ආර්ථිකය දුවවන්න නම් එහි එන්ජිමට ‘හොරකම’ නැමති ලිහිසි තෙල් දමන්න ඕනේ. ඒ කියන්නේ ලිබරල්වාදී ආර්ථිකයක් තුළ හොරකම නීත්‍යනුකූල කරන්න ඕනෙ, හොරකම ආයතනගත කරන්න ඕනෙ. ඒකනම් මේ ආණ්ඩුව අපූරුවට කරගෙන යනවා.

‘බැඳුම්කර හොරකම් නීත්‍යනුකූල කිරීම’

දැන් ලංකාවේ කුඩා දරුවකු පවා දන්නවා, රටේ අගමැතිවරයා මහ බැංකුව කඩා මුදල් හොරකම් කළ බව. බැඳුම්කර සොරකම කියන්නේ මේ රටේ සිදු වූ විශාලතම හොරකම. මේ හොරකම වහන්න නොකළ දෙයක් නැහැ. නමුත් දැන් බැඳුම්කර හොරකමේ මහ මොළකරු එළියේ හිටියාට ලොකු හොරු දෙන්නෙක් හිරේ ගිහින් තිබෙනවා. මේ හොරකම ගැන හොයන්න පත් කළ බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පාර්ලිමේන්තුවට නොදුන් පිටුවල අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118ක නම් තිබෙනවාලු. ඒ අතර පොතක් ලියපු කෙනෙකුට ලැබුණු ලොකුම කර්තෘභාගය වන මිලියන තුන, චෙක්පත් තුනකින් ලබා ගත්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් ඉන්නවාලු. ගංවතුරට කෙසෙල් බෙදපු එයා ගැන දැන් කවුරුත් දන්නවා. මේ විදියට ඒ බැඳුම්කර හොරකම අහුවුණු හින්දා නීත්‍යනුකූලව බැඳුම්කර ගනුදෙනුවලින් හොරකම් කරන්න ‘සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනතක්’ සම්මත කර ගත්තා. මේ මගින් ශ්‍රී ලංකාවේ සමස්ත ණය බර වන රුපියල් ටි්‍රලියන 10න් 10%ක ණයක් කැමති පොලියකට, කැමති හෙට්ටියකුගෙන් ලබා ලබාගන්න විෂය භාර ඇමතිවරයාට හැකි වෙනවා. මෙතෙක් රජය වෙනුවෙන් ණය ගත්තේ මහ බැංකුව විසිනුයි. දැන් මේ පනතින් රජය වෙනුවෙන් ණය ගන්න ඇමතිවරයකු පත්කර තිබෙනවා.

‘බදු හොරකම නීතිගත කිරීම’

යම් සමාගමක් හෝ පුද්ගලයකු බදු ගෙවීම පැහැර හැරියොත් හිරේ යන්න වෙනවා. නමුත් දැන් බලන්න, පාන්පිටි සමාගමට අවුරුද්දකට රුපියල් මිලියන 34,000ක බදු සහනයක් දෙනවා. සමාගම බදු ගෙවන්නේ නැහැ. මේ සහනය දුන්නට පාන්, බනිස් මිල අඩු වුණේ නැහැ. මෙය දුන්නාම මිලියන ගණනක් ඇමතිගේ සාක්කුවට යනවා. කිරි ගොවියා හූල්ලද්දි කිරිපිටි සමාගම්වලටත් අවුරුද්දකට රුපියල් මිලියන 18000ක බදු සහනයක් දෙනවා. කිරිපිටි මිල අඩු නොවී ඒකෙනුත් රුපියල් මිලියන ගණනක් ඇමතිගේ සාක්කුවට යනවා. මේ මහා පරිමාණ බහුජාතික සමාගම්වලට දැන් ප්‍රතිපත්තිමය තීරණයක් අරන් කැබිනට් අනුමැතිය ඇතිව බදු සහන දෙනවා. ඒ අනුව දැන් බදු හොරකම නීතිගත කර තිබෙනවා. ඒවා තමයි ආයතනගත හොරකම් කියා කියන්නේ. මේ ආණ්ඩුව එක පැත්තකින් හොරකම නීතිගත කරමින් අනෙක් පැත්තෙන් ආර්ථිකයේ සියලු අංග විදේශිකකරණය කරමින් යනවා. පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියනවා, ‘මම නැත්නම් රාජ්‍ය බැංකු ටික ඉතිරි වන්නේ නැහැ’ කියලා. රනිල් වික්‍රමසිංහ අතේ තිබෙන න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුවහොත් මේ රටේ ස්වදේශිකයා ආර්ථිකමය වශයෙන් අවතැන් වෙලා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විදේශිකයන්ගේ ග්‍රහණයට නතු වීම වැළැක්වීමට බැහැ.

‘හිතක් පපුවක් නැතිව කළ ආර්ථික ඝාතනය’

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ සේද මාවතේ වැදගත් තැනක. නැවක් මලක්කා සමුද්‍ර්‍ර සන්ධිය පසුකරලා එනකොට හමුවන පළමු ගොඩබිම තමයි ශ්‍රී ලංකාව. පළමු වරාය තමයි හම්බන්තොට වරාය. චීනය, තායිලන්තය හරහා ක්‍රා ඇල කැපුවාට පසුව සේද මාවත කෙටි වුණ. තායිලන්තයේ සිට දින 12ක් ගත වුණු ගමනට දැන් නවයයි ගතවන්නේ. නැවකට තෙල් ගහන්නේ දින දහයකට සෑහෙන්න. ඒ නිසා හම්බන්තොට වරායට දහවැනි දවසේ ළඟා වන නැවකට තෙල් ගහන්න වෙන්නේ ශ්‍රී ලංකාවෙන්. ඒ අනුව නැව්වලට තෙල් හා වතුර සැපයීම පමණක් සිදු කළත් හම්බන්තොට වරාය ලාභ ලබන තැනක් බවට පත් වෙනවා. හම්බන්තොට වරාය හදන්න ගත්තු ණය ගෙව්වේ මහා භාණ්ඩාගාරයෙන් නොවෙයි, ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන්. එහෙම තිබියදීත් හිතක්, පපුවක් නැතිව මේ රන් බිජු දමන කිකිළිය තුට්ටු දෙකට චීනයට විකුණා දැම්මා. දැන් ණය අපේ – වරාය චීනයේ. එහෙමයි අද මේ රටේ ආර්ථිකය විජාතිකකරණය කෙරෙමින් තිබෙන්නේ.

ආරක්ෂක හමුදා දුර්මුඛකර දුර්වල කිරීම

ආර්ථිකය දුබල කරන වැඬේ මේ අය හොඳටම කරගෙන යනවා. එහෙම කරලා විතරක් මදි. රටක් ගිලගන්න නම් ජාතික ආරක්ෂාවත් දුර්වල කරන්න ඕනේ. ඒකට ආරක්ෂක හමුදාවන්හි මිලිටරි ශක්තිය හීන කිරීම හා බුද්ධි අංශවල ශක්තිය කඩා වැට්ටවීම සිදු කරන්න ඕනේ. එවිට රජයේ ආරක්ෂක හමුදා දුර්මුඛ වී දුර්වල වෙනවා. දැන් කෙරෙමින් ඇත්තේ එය නොවේද?

‘රණවිරු දඩයම’

රණවිරු දඩයමට අවශ්‍ය නීති එකිනෙක හැදුවා. මුලින් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත සම්මතකර ගත්තා. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවා අවසන්. එය රණවිරුවන්ට එරෙහි චෝදනා පැක්ටරියක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මංගල සමරවීර ඇමැතිවරයා ‘අතුරුදහන් කිරීම්වලින් තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට’ ජිනීවාවලදී අත්සන් තැබුවා. පසුව එම ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවේ නීතියට ඇතුළත් කරමින් තවත් රණවිරු දඩයම් පනතක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගනු ලැබුවා. ඒ අනුව යුද අපරාධ අධිකරණයක් ලෙස ක්‍රියාකරන අතුරුදහන්වීම්වලට අදාළ නඩු අහන වෙනම මහාධිකරණයක් පිහිටුවීමට නෛතික ප්‍රතිපාදන ලැබී තිබෙනවා. අතුරුදහන් කිරීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කළ රටක ජීවත්වන කොටි ත්‍රස්තවාදියෙකුගේ ඥාතියකුට දැන් ඒ රටේ අධිකරණයට පැමිණිලි කරන්න පුළුවන් තම ඥාතියා අතුරුදහන්වූ බවට. ඒ අනුව සැකකරුවන් හා සාක්ෂිකරුවන් ඒ රටට උදර්පණය කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටිනවා. එසේ අපේ රණවිරුවන් උදර්පණය කරනු ලබන රට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය පිහිටුවීමේ ප්‍රඥප්තියට ද අත්සන් තබා තිබුනොත් ඔවුන්ව හේග් නුවර ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය දක්වා ගෙනයාමට මෙමගින් ඉඩකඩ සලසා දී අවසන්. රණවිරු දඩයමට අදාළ තුන්වන පනත ද දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අන්‍යෝන්‍ය සහයෝගීතාව පළකිරීමේ නාමයෙන් ඕනෑම රටක් අපේ රණවිරුවකු, සාක්ෂිකරුවකු හෝ සැකකරුවකු ලෙස ඉල්ලා සිටින ඕනෑම මොහොතක ඔහු එම රට වෙත භාරදීමටයි මේ නීතිමය ප්‍රතිපාදනය සකස් කෙරෙන්නේ.

ගෝඨාභය කෙසේ හෝ හිරේ දමන්න හදනවා

කලින් සකසා ගත් නාම ලේඛනයක් අනුව රණවිරුවන් හිරේ දැමීමට දැන් සියල්ල සූදානම්. ආරක්ෂා හමුදාවන් දෙමළ ඩයස්පෝරාව සහ බටහිර බලවතුන්ගේ වුවමනාවන්ට අනුව පාවාදී ඉවරයි. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙසේ හෝ හිරේ දමන්න හදනවා. තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම විභාගයට ගැනීමේ නඩු කටයුත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් එකිනෙකා වරින් වර ඉවත් වන බව පෙනී යනවා. එහෙම වෙන්නේ නීතියට අනුකූලව තීන්දු ගැනීමට එතුමන්ලාට අපහසු තත්වයක් හදලා තිබෙන හින්දා නොවෙයි ද?

රාජ්‍ය ආරක්ෂාව දියකර හැරීම

දැන් යුද්ධය කාලයේ භාවිතයට ගත් යුද උපකරණ වෙනත් රටවල්ට විකුණා දැමීමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙන බව පුවත්පත් මගින් වාර්තා කොට තිබෙනවා. යුද්ධයක් අවසන් වූවාට පසු රටකට යුද උපකරණ වුවමනා නැද්ද? පසුගිය කාලයේ බර අවි මූනිස්සම් මුහුදට දැමීමත් දැකගත හැකි වුණා. සාලාව අවි ගබඩාව පිපිරීම පිළිබඳ වාර්තාව තවමත් එළියට දමා නැහැ. අගමැති මාස තුනෙන් දෙනවා කියූ ඒ වාර්තාව තවමත් සඟවා ඇත්තේ ඇයි? ආර්ථිකය බෙලහීන කිරීම වගේම රාජ්‍යාරක්ෂාව දිය කර හැරීමත් මේ සැලසුමේම කොටසක්. එක පැත්තකින් ආර්ථිකය බෙලහීන කිරීමේ මෙහෙයුමත්, අනෙක් පැත්තෙන් රාජ්‍යාරක්ෂාව දියකර හැරීමේ මෙහෙයුමත් අපේ මේ මව් පොළොවට සතුරු බලවේග විසින් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඔවුන්ගේ තුන්වන මෙහෙයුම තමයි ශ්‍රී ලංකා රාජ්‍යය දේශපාලනමය වශයෙන් බෙලහීන කිරීම.

ව්‍යවස්ථා සංශෝධනවලින් කරන වැඬේ

ශ්‍රී ලංකා රාජ්‍යය දේශපාලනය වශයෙන් බෙලහීන කිරීම සිදුකරන්නේ ව්‍යවස්ථා සංශෝධන මගිනුයි. ඒ සඳහා බලයට ආපු ගමන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළා. කෙසේ වෙතත් එදා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්දෙනා ඉන් ඉවත් වූවා. ඊට පසු මෙම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය නියෝජනය වන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගෙන් සමන්විත මෙහෙයුම් මණ්ඩලයක් ද අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් පත් කළා. අගමැතිවරයා දෙමළ ඩයස්පෝරාවට සහ බටහිර බලවතුන්ට පොරොන්දු වුණේ ඒ විදියට ඒ යාන්ත්‍රණය ඔස්සේ අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනැවිත් රට බෙදලා දෙන්න. 2018 පෙබරවාරි 10 වැනිදා රනිල් – මෛත්‍රී හවුල ලබපු බරපතල මැතිවරණ පරාජයෙන් පස්සේ මේ වැඬේ බකල් වෙන තත්ත්වයක් ආවා. ‘ඒක හරි අමාරුයි’ කියා රනිල්ලා තේරුම් ගත්තා.

සිරිකොත ගජමිතුරු රතු අලි පැටියා

පසුව රතු කමිසධාරී සිරිකොත ගජමිතුරු රතු අලි පැටවාට රනිල් කීවා, ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නැමැති සුන්දර ලලනාව ඉදිරියේ තබාගෙන, මට දෙමළ ඩයස්පෝරාවට සහ බටහිර බලවතුන්ට මෙතෙක් ඉටු කර දීමට බැරි වී තිබෙන පොරොන්දුව ඉටු කරදීමට පාර කපා දෙනු මැනවි, අනුර මලනුවනි” කියලා. ඒක අහලා අනුරගේ හදවත උණු වුණා. අනුර කීවා, ‘ඔබ දුෂ්කරතාවට පත් වුවහොත් මාගේ හදවත පැලී මා මිය යනු ඇත. එබැවින් අගමැති අයියන්ඩි මා ඔබ වෙනුවෙන් ඕනෑම කුප්ප වැඩකට කර ගසන්නා සේ මේ කුප්ප වැඬේ ද ඉටු කර දෙන්නෙමි‘ කියා.

අනුරට ශික්ෂණය ගැන පාඩමක්

ඇන් අනුර දිසානායක පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනවිත් තිබෙනවා ‘විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත්‘ කියා. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පුළුවන් කියා වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසි තැනක සඳහන්ව නැහැ. නමුත් ටික දවසක් යන විට මේක රජයේ යෝජනාවක් වේවි. රනිල් බලා ඉන්නවා මේ දරුවා තමන්ගේ දරුවෙක් වගේ වඩාගන්න. දැනට තාත්තාගේ නම තියෙනවා ‘අනුර’ කියලා. කොල්ලා ලොකු වන විට තාත්තාගේ නම වෙනස් වෙනවා ‘රනිල් ’ කියලා. කොල්ල ලොකු වෙනකම් අනුර කියනවා ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නැමති දරු පැටියාගේ නහය මෙහෙමයි. කට මෙහෙමයි මේ දරු පැටියා රටට ශික්ෂණය ලබාදෙනු ඇත’ කියා.

එදා ලිබියාවට, ඉරාකයට ගියෙත් ශික්ෂණය, ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන්න. ඒකාධිපතිවාදය පරදවන්න. අන්තිමේදී ඒ රටවලට ශික්ෂණයත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒ රටවලූත් විනාශ වුණා. දැන් මෙයා අපට ශික්ෂණය විකුණන්න හදනවා. අපි අනුර දිසානායකට කියනවා ‘මේ මව් පොළොව ලෝකයේ ඉපැරණි දහමකින් ශික්ෂණය ලැබූ එකක්. නුඹලාගේ බටහිර ශික්ෂණය මෙතැන පැටව් ගස්සන්න වුවමනා නැහැ. ලෝකයේ මුල්ම රෝහල හදලා තමන්ගේ රටවැසියන්ට නොමිලේ බෙහෙත් ටික දුන්නේ, ලෝකයේ මුල්ම තට්ටු ගොඩනැගිල්ල වන ලෝවාමහාපාය හැදුවේ, තමාගේ සතුරාගේ සොහොනට පවා ගරු කරන්න ඉගැන්නුවේ බටහිරයන් ශික්ෂණය ලබන්න වසර දහස් ගණනකට පෙර මේ මව් පොළොව ශික්ෂණය ලබා තිබූ නිසයි. සුද්දන් කොළ අතු ඇඳගෙන ශික්ෂණය යන වචනයේ ‘ශි’ යන්නවත් නොදන්නා කාලේ අපේ මුතුන් මිත්තන් ශික්ෂණය ලබා සිටියා. දැන් ලැජ්ජා නැතිව, ජිප්සිස් නායකයා සමඟ එනවා අපට ශික්ෂණය ගැන කියා දෙන්න. ඔයා ශික්ෂණය කියන වචනය පෙරට දමා ගෙන එන්නේ මේ රටේ තිබෙන ශික්ෂණයටත් වැඬේ දෙන්න කියා අපි දන්නවා. ඒකට අපි ඉඩ තියන්නේ නැහැ’ කියා.

අනුරගේ ශික්ෂණයේ මාර්ගය

දැන් මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කර තිබෙනවා ද? නැහැ. එමගින් යෝජනා කරන්නේ විධායක ජනාධිපතිවරයා තෝරන ක්‍රමය වෙනස් කිරීමට පමණයි. එනම් දැනට පවතින ජනාධිපතිවරණය අහෝසි කිරීමට පමණයි. මේක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ඇදෙන ස්විප් එකක්. රනිල් කීවානේ ‘ජනාධිපතිවරණය ළං වෙලා මම එජාප නායකත්වයෙන් ඉවත් වෙලා සුදුස්සාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා දෙනවා කියා. දැන් අනුරගේ යෝජනාව අනුව ජනාධිපතිවරණය අහෝසි වන නිසා රනිල්ට නායකත්වයෙන් ඉවත් වීමට සිදු වන්නේත් නැහැ. ශික්ෂණයට වඩා සමීප මුළු රටේම ජනතාවගේ කැමැත්තෙන් ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සල්ලිවලට ගත හැකි අර්ජුන් ඇලෝසියස් වැනි හොරෙකු ජනාධිපති ධුරයට පත්කර ගැනීම ද? ඔන්න අනුර කියන ශික්ෂණයේ මාර්ගය

අනුරගේ යෝජනාව අනුව ජනාධිපතිවරණය අහෝසියි. විධායක ජනාධිපති ධූරය පෙර පරිදිම තිබෙනවා, එයාට බලතල ටිකක් අඩු වී තිබෙනවා. නමුත් එයා තවමත් විධායකයේ ප්‍රධානියා සහ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා තමයි. අගමැතිවරයාෙ ආණ්ඩුවේ ප්‍රධානියා වෙනවා. මේකත් හොඳටම මඤ්ඤංනේ. දැන් අපට පෙනෙනවානේ එළ හරකා සහ මී හරකා එකට ගැටගහලා රටට සිදුවී තිබෙන විනාශය. මේ යෝජනාව අනුව අගමැතිවරයා තේරී පත් වන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී ‍ධුර සංඛ්‍යාවක් ලබාගෙන ඇති පක්ෂයෙන්. ජනාධිපතිවරයා තෝරන්නේ කොහොමද? දේශපාලන පක්ෂයක සාමාජිකයකු නොවන, බාහිර පුද්ගලයෙකු පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන්.

ජනාධිපති බෙලහීන වන විට පළාත් ආණ්ඩුකාරවරයා…

අපි හිතමුකෝ, ලලිත් කොතලාවල වැනි පුද්ගලයෙකුට ජනාධිපති වෙන්න හිතුනා කියා. එයා සල්ලි මලූ ටික බෙදලා 113 හදාගන්නවා. ඒ අනුව ලලිත් කොතලාවල ජනාධිපති වෙනවා .දැන් ඉන්න ජනාධිපතිට වඩා එයාට බලතල ටිකක් අඩුයි. ඒ නිසා එදාට පළාත් ආණ්ඩුකාරවරයා පත් කරන්නේ අදට වඩා බෙලහීන ජනාධිපතිවරයෙක් විසිනුයි. ජනාධිපති බෙලහීන වෙනකොට එයා පත්කරන පළාත් ආණ්ඩුකාරවරයාත් බෙලහීන වෙනවා. එදාට ඒ ආණ්ඩුකාරවරයාට ද ක්‍රියාත්මක වීමට සිදුවන්නේ බෙලහීන කරන ලද ප්‍රමාණයට මිස ඉන් එහාට නොවේ. වර්ධරාජා පෙරුමාල්ලා වගේ ගැලවිලා යන්න හදන විට, ගැටුමක් ඇති වන විට, ඒක පාලනය කරන්න පළාත් ආණ්ඩුකාරවරයාට තිබෙන බලය නැති වෙනවා. අවසානයේ ශ්‍රී ලංකා රාජ්‍යය අස්ථාවර වෙනවා.

‘ඊළම නිර්මාණයකර ගැනීමේ දෙවන මෙහෙයුම

බෙදුම්වාදීන් දෙමළ ඊළම නිර්මාණයකර ගැනීමේ දෙවන මෙහෙයුම ජයග්‍රහණය කිරීමට හදන්නේ යුද්ධ කරලා නොවෙයි. ඔවුන්ගේ උවමනාව ගැටුමක් හදලා ඒ හරහා තම මෙහෙයුම ජයග්‍රහණය කිරීමයි. මේ අය අපේ රජය ලවාම අපේ ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදු කළ බව ඔප්පු කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් හදවා ගත්තා. අනික් පැත්තෙන් උතුරු පළාත් සභාව නිල වශයෙන් ජන සංහාරක සතියක් සමරනවා. දකුණු ඉන්දියාවේ ජන සංහාරක සතිය සමරන්න ගිහින් 50ක පමණ පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා. නමුත් ශ්‍රී ලංකාවේ ජන සංහාරක සතිය නිල වශයෙන් සැමරීමට ඔවුන්ට ඉඩ ලැබී තිබෙනවා. අද රජයේ නිල ප්‍රකාශකවරයා වන කැබිනට් ප්‍රකාශකවරයා දළදා මාලිගාවට බෝම්බ ගහපු, ශ්‍රී මහා බෝ සමිඳුන් ලේවලින් නැහැවූ, අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු කළ, ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ඇමති ගාමිණි දිසානායක ඇතුළු දේශපාලනඥයන් මරා දැමූ, ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් තම දරුවන් යැයි කියා පවසනවා.

විග්නේෂ්වරන් ලෝකයාට කියපු දේ

එදා ජන සංහාරක සතිය අරඹමින් උතුරේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් සිදුකළ කතාව දිහා බලන්න. එයා කතා කළේ ජත්‍යන්තර ප්‍රජාවටයි. ඔහු කීවේ ‘ශ්‍රී ලංකා රජයේ හමුදා යුද අපරාධ කරලා තිබෙනවා. ඒ යුද අපරාධවල වින්දිතයන් සැමරීමයි අප සිදු කරන්නේ. අපට අපේ නිදහස හා ස්වාධීනත්වයත්වය ලබාදිය යුතුයි’ කියලයි.

රට බෙදන මාර්ග සිතියම

මේ අය දැන් කුරුමානම් අල්ලන්නේ උතුරු නැගෙනහිර පළාත් සභා ඒකාබද්ධ කරන්නයි. එහෙම පිහිටුවන උතුරු – නැගෙනහිර පළාත් සභාව මධ්‍යම රජය සමඟ දිගටම ගැටුම් හදා ගනීවි. මේ ගැටුම් විසදීම ජාත්‍යන්තරය බාර ගනීවි. ජාත්‍යන්තර නීතිය අනුව නඩු අහලා සර්බියාවෙන් කොසෝවෝ වෙන් කළා වගේ ඉන්දුනීසියාවෙන් නැගෙනහිර ටිමෝරය වෙන් කළා වගේ අපේ ඉරණමත් විසඳේවි. ඒකයි මේ රට බෙදන මාර්ග සිතියම.

ඒ මාර්ග සිතියම ජයග්‍රහණයෙන් කෙළවර කරන්න නම් ශ්‍රී ලංකා රාජ්‍යය අස්ථාවර වෙන්න ඕනෙ. විධායකය දුර්වල වෙන්න ඕන, එය තීන්දු තීරණ ගන්න බැරි තත්ත්වයකට පත් කරන්න ඕනේ. අන්න ඒ තත්ත්වය තමයි විසිවැනි සංශෝධනයෙන් ඇතිකරන්න හදන්නෙ. 20වැනි සංශෝධනය කියන්නේ අනුර දිසානායක බාරදුන් කෙටුම්පතේ තිබෙන කරුණු පමණක් නොවෙයි, කාරක සභා අවස්ථාවේදී බෙදුම්වාදීන්ට අවශ්‍ය අනෙක් උප්පරවැට්ටි ටිකත් එයට එකතු කරාවි. මේ ආණ්ඩුව සිදු කරමින් ඉන්නේ දෙමළ බෙදුම්වාදය සහ බටහිර බලවතුන්ගේ උවමනාව අනුව අනාගතයේ බෙදී වෙන්වී යාමකට ඉඩකඩ ලබාදෙන ආකාරයට රාජ්‍යය බෙලහීන කිරීම, දුර්වල කිරීම.

‘මව් පොළොවට සතුරුකම් කරන්නන්ගේ සතුරකු වීම’

මේ දියත් වන්නේ මේ මව් පොළොව ඔබේ දරුවාට අහිමි කිරීමේ මෙහෙයුමක්. මේ ඇත්ත අනතුරුදායක මෙහෙයුම, අපි දිනපතා රූපවාහිනියෙන් දකින මේ යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නරුමකම් සහ අමනකම්වලට යටින් දිවෙනවා. ඒ ඇත්ත අනතුරුදායක මෙහෙයුම කල්තියා දැකලා ඊට එරෙහිව ජනතාව පෙළගැස්වීම නිසයි අපි මේ ආණ්ඩු වේ වෛරයට හා පළිගැනීම්වලට නිබඳවම ලක්වෙන්නේ. මේ මව් පොළොවට සතුරුකම් කරන අයගේ සතුරෙකු වීම අපේ සතුටට කාරණයක්. ධර්මය රැක්ක මේ රට, මානව ශිෂ්ටාචාරයේ අභිමානවත් නැවතුම්පොළක් බවට පත්වූ මේ රට සුරැකීම අපේ අනුල්ලංඝනීය වගකීමයි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress