මෙරට ආර්ථික ඉතිහාසයේ දැවැන්ත ඛේදවාචකයට අපි මුහුණදීලා
Posted on June 19th, 2018

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය ඡායා – වෙනුර චන්ද්‍රමාලිත උපුටාගැණීම  මව්බිම

වර්තමානයේදී රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 162 දක්වා වැඩිවී ඇති බවත් එය අප රටේ ආර්ථික ඉතිහාසයේ දැවැන්තම ඛේදවාචකය වන අතර සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කළහොත් රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 200ක් දක්වා වැඩිවීම වැළැක්විය නොහැකි බවත් ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික කටයුතු පිළිබඳ අංශයේ ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

ඒ මහතා ඊයේ (19දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවැසීය.
හෙතෙම මෙසේද පැවැසීය.

අද වන විට වාණිජ බැංකු විසින් ඩොලර් 1ක් අලෙවි කරන්නේ රුපියල් 162.30කටයි. මෙය අප රටේ ආර්ථික ඉතිහාසයේ දැවැන්ත ඛේදවාචකයක්. මහින්ද රාජපක්ෂ මහත්තයා රට භාරගන්නා විට ඇමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 105ක් ගෙව්වා. එතුමා රට පාලනය කළ වසර 10දී දැවැන්ත අර්බුද ගණනාවක් අපේ රටේ ඇතිවුණා.
ඒ කාලයේ අපේ රටේ යුද්ධයක් පැවැතියා. ලෝක ඛනිජ තෙල් අර්බුද සියල්ල තිබියදීත් අපි ආණ්ඩුව භාර දෙන විට ඩොලරයක් රුපියල් 131යි. අවුරුදු 10ටම වැඩිවෙලා තියෙන්නේ රුපියල් 26ක් පමණයි. නමුත් පසුගිය අවුරුදු 3 1/2ක කාලය තුළදී එම ගණන රුපියල් 31කින් වැඩිවෙලා.

හිටපු මුදල් අමාත්‍යවරයා පැවැසුවේ ඩොලරය රුපියල් 130ට ස්ථාවර කරනවා කියලා. නමුත් එහෙම දෙයක් වෙලා තිබෙනවාද? එහෙම නම් කොහොමද අද ඩොලරය 162කට විකිණෙන්නේ. මේ විනාශය වන බව
ඒකාබද්ධ විපක්ෂය දැනගෙන සිටියා. මම
වර්ෂයකට පෙර මේ පිළිබඳ පැවැසුවා. මෙය නවත්වා ගැනීම වෙනුවෙන් අපිට කළ හැකි දේ අප කළා. විනිමය පාලන පනත සංශෝධනය කරන අවස්ථාවේදී ඊට විරුද්ධව ශේ්‍රෂ්ඨාධිකරණයට ගියේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පමණයි.
අර්බුද දුරදිග ගිය නිසා හිටපු මුදල් ඇමැතිවරයා 2016දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට අස්සන් කළා. එහි තිබුණු එක් කොන්දේසියක් තමයි විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට ඉඩ හැරීම.

සම්පූර්ණ නිදහස් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමයි එහි අරමුණ වන්නේ.
මේ ආර්ථිකයේ ඇති ප්‍රශ්නකාරී තත්ත්වයන් පිළිබඳව ජනාධිපතිවරයාටවත් කැබිනට් මණ්ඩලයටවත් අබමල් රේණුවකවත් තක්සේරුවක් නැහැ. සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම් වැනි ගිවිසුම් අස්සන් කරන්නේ ඒ නිසයි. රටේ ආර්ථිකය වෙනත් රටවලට නිදහස් කළාට පසුව රටින් පිටට ගලායන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. රට ඇතුළට ගලා එන සල්ලි වැඩි කරන්නට හැකි වාතාවරණයක් අපට නැහැ. සිංගප්පූරුවත් සමඟ අස්සන් කළ ගිවිසුම නීති විරෝධී ගිවිසුමක්. මේ රටේ ජනතාව අසාමාන්‍ය ආර්ථික අර්බුදයකට මුහුණ දීලයි සිටින්නේ.

රුපියල පහළ බසින එක නතර කරන්නට ඩොලර් වෙළෙඳපොළට දමන්නට කටයුතු කරලා තිබෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව විසින්.

එක වරක මෙම උත්සාහය සම්පූර්ණයෙන් අසාර්ථක වුණාම 7.4%කට තිබුණු මේ රටේ ආර්ථික වර්ධන වේගය 2017දී 3.1%කට අඩු වුණා. ඉතින් ආර්ථිකය ගැන කුමන කතාද? ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ ලෝකය පිළිගන්නේ නැහැ. රුපියල බේරාගැනීමට නම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සමාලෝචනය කළ යුතුයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්
අද ඇමැති මණ්ඩලය විශාල වශයෙන් වැඩිවෙලා. තමන්ට අවශ්‍ය දේවල් කර ගැනීම වෙනුවෙන් ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබා දෙමින් පවතිනවා. දේශීය ආදායම් පනත දැන් සංශෝධනය කරමින් පවතිනවා. ශ්‍රී ලනිපයට තාවකාලික නිලධාරීන් පත්කරලා. එහෙම තනතුරු ශ්‍රී ලනිපයේ ව්‍යාවස්ථාවේ නැහැ. දවස් 45ක් තුළ පක්ෂයක් ප්‍රතිසංවිධානය කරන්න බැහැ. මේ රටේ විශාලම මූල්‍ය වංචාව වුණේ මෙම යහපාලන ආණ්ඩුව යටතේයි.

නමුත් ජනාධිපතිතුමා “මව්බිම” පුවත්පතට කුමක්ද පවසන්නේ. පොලිසිය මගේ අතේ නැහැ. පොලිසිය භාර ඇමැතිවරු අමාත්‍යාංශ මේවාට වගකිව යුතුයි යනුවෙනුයි. කිසිම වගකීමක් නැතිවයි මෙම ආණ්ඩුව හැසිරෙන්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress