විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ රු. මිලියන 1000 ක මුදලක් දුෂිත බැදුම්කර වංචාව සදහා යොදා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂිම් මහතා ගේ ප්‍ර‍කාශය සම්බන්ධයෙනි
Posted on June 26th, 2018

පුවත්පත් නිවේදනය  කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

දුෂිත බැදුම්කර වංචාව සදහා විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාව සතු අරමුදල් රු. මිලියන 1000ක් පර්පචුවල් සමාගමේ ආයෝජනය කර ඇති බවට අනාවරණය කරනු ලැබූයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විසිනි.  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හැර වෙනත් කිසිදු සිවිල් සංවිධානයක් මේ දක්වා ඒ පිළිබද අදහස් දක්වා නැත.

විශ්වවිද්‍යාල අරමුදලේ රු. මිලියන 1000 කට මුදලක් පර්පචුවල් බැදුම්කරවල ආයෝජනයකර ඇති බවට අප සිදු කළ අනාවරණයට අමාත්‍ය කබීර් හෂිම් මහතා ප්‍ර‍තිචාර දක්වා ඇත. එමගින් බැදුම්කර වංචාව සදහා මුදල් ලබාදීමට අවශ්‍ය පරිසරය සකස් කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බව ඒත්තු යන ලෙස හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වචන භාවිත කර ඇත.  මෙය සම්පූර්ණයෙන්ම විහිළුවකි. මෙයට පෙර අවස්ථාවක ද,බැදුම්කර වංචාවට මහින්ද රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ජනතාව නොමග යවන සුළු ප්‍ර‍කාශයක් රජයේ අමාත්‍යරුන් විසින් සිදු කර තිබුණි.

ලංකා ඉතිහාසයේ විශාලතම දුෂණයක් වන බැදුම්කර වංචාව සිදුවන්නේ 2015 පෙබරවාරි 27 දිනයි. එදාට පෙර දින ‘උදේ කෑමට මලික් සමරවික්‍ර‍ම, රවී කරුණානායක සමග මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍ර‍න්  හමුවූ පුද්ගලයා වූයේ අමාත්‍ය කබීර් හෂීම් ය. එම සිදුවීම සිදුවන විට ඔහු දින 100 යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ය. එවකට සිටි විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රජීව විජේසිංහ ගේ ද විරෝධය නොතකා ඉවත් කරන ලද්දේ  කබීර් හෂිම් මහතා විසිනි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ බවට කබීර් හෂිම් අමාත්‍යවරයා ප්‍ර‍කාශ කරන විශ්වවිද්‍යාල  ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ මුදල් ආයෝජනය සදහා වන කමිටුව පිහිටුවීමේ ගැසට් එක නිකුත් කරන්නේ 2015 මාර්තු 17 දින වි.වි.ප්‍ර‍කො.සභාවේ ලේකම් විසිනි.   එය බල පැවැත්වෙන්නේ මාර්තු 11 දින සිටයි. ඒ දා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කබීර් හෂිම් ය.

ආචාර්ය සරත් අමුණුගම උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරයට පත් වන්නේ 2015 මාර්තු මස 22 දින යි. ඒ අනුව, බැදුම්කර වංචාවට මුදල් සැපයීම සදහා පහසුකම් සලසන ගැසට් පත්‍ර‍ය නිකුත් වන්නේ ද, බලපැවැත්වන්නේ ද, කබීර් හෂිම් අමාත්‍යවරයා යටතේය.

දුෂිත බැදුම්කර ගණුදෙනුවට මුදල් දී ඇත්තේ ද, එයට පහසුකම් සපයා ඇත්තේ කුමන ඇමතිවරුන්ද යන්න නොව වැදගත් වන්නේ රු. මිලියන 1000 ක් ආයෝජනය කොට, එයින් මිලියන 146 ක් පාඩු වී ඇති බැවින් එය අයකර ගැනීමය. ඒ සදහා කබීර් හෂිම් මහතා සභාපතීත්වය දරණ එක්සත් ජාතික පක්ෂ කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන අතර, ජනතාව නොමග යවන සුළු ප්‍ර‍කාශ දිගින් දිගටම සිදු කරමින් සිටී.  ජනතාව නොමග යවන ප්‍ර‍කාශ නොව අවශ්‍යව ඇත්තේ බැදුම්කර වංචාව හේතුවෙන් මේ රටේ ජනතාවගේ අරමුදල්වලට සිදුව ඇති පාඩුව පියවා ගැනීමේ ක්‍ර‍මවේදයකි.  

 

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress