බැදුම්කර මංකොල්ලකරුවන් ‘මහපොළ ශිෂ්‍යත්ව අරමුදලත්‘ සුද්ධ කරලා
Posted on July 1st, 2018

ලංකා බැංකුව හරහා සිදු කළ මගඩියෙන් සිසුන් 270 කට වසරක් මහපොල දෙන්නට තිබුණා –  කීර්ති තෙන්නකෝන් හෙළි කරයි

පර්පචුවල් බැදුම්කර මංකොල්ලකරුවන් ‘මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදට‘ ට ද සුද්ධයක් දී, එම මුදල් භාවිත කර විශාල ලාභයක් ලබා ඇතැයි ද, එමගින් මහපොළ අරමුදලට ලබාගත හිමි විය යුතුව තිබූ විශාල පොලී මුදලක්, ද පාඩු වී ඇතැයි ද, කීර්ති තෙන්නකෝන් මහතා රාජගිරීයේ අද පැවති පුවත්පත් සාකච්ඡාවක දී පැවසීය.

මහපොළ අරමුදලට දුෂිත පර්පචුවල් බැදුම්කර වංචාව නිසා සිදුව ඇති පාඩුව කොපමණ ද යන්න තවමත් නිශ්චිතව ගණන් බලා නැත.  රු. මිලියන 440 කට මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල් දුෂිත බැදුම්කර වංචාවට සදහා යොදාගෙන ඇත්තේ ‘ලංකා බැංකුව‘ හරහා ද්විතීය මිලදී ගැනීම් සිදු කිරීම මගිනි. පර්පචුවල් සමාගමට ලැබුණු අභ්‍යන්තර තොරතුරු මත සාමාන්‍ය වෙළදපොළ වටිනාකමට අඩුවෙන් මිලදී ගනු ලැබූ බැදුම්කර, එම සමාගම රජයේ නිලධාරීන්ට විවිධ වරප්‍ර‍සාද, අල්ලස් ලබා දෙමින් ‘රජයේ අරමුදල්වල‘ ආයෝජනය කිරීමට පොළඹවා ගෙන ඇත.   

දැනටතම් සේවක අර්ථසාධක අරමුදල,  රක්ෂණ අරමුදල, විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදල්,  ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා මෙලෙස ද්විතීය වෙළෙදපොල හරහා ලබා ගෙන ඇත.  මෙම දුෂිත ගණුදෙනුව මගින් ‘පාඩු බලය බව අනාවරණය වන‘ අලුත්ම අනාවරණයට අනුව අවම වශයෙන් ‘මහපොළ‘ අරමුදල රු. මිලියන 18ක් අහිමිකර ඇත.  මෙය මසකට රු. 5,500 බැගින් වසරකට සිසුන් 270 කට වැඩි පිරිසකට මහපොල ලබාදීමට තරම් වන මුදලකි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය මේ පිළිබද මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල වෙතින් කළ විමසීමක දී, ඔවුන් තහවුරු කර ඇත්තේ අදාළ පාඩුව අය කර ගැනීමට මහ බැංකුවේ හා නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මේ වන විටත් නඩු පවරා ඇති බව යි. (අදාළලිපිය මේ සමග අමුණා ඇත)

1981 දී දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් මහපොළ භාරය ආරම්භ කරනු ලබන්නේ ‘දරිද්‍රතාවයෙන් මිදීමේ මාවත අධ්‍යාපනයයි‘ යන තේමාව යටතේය.  සිසුන් 441 දෙනෙකුට රු. 350 ක දීමනාවක් ලබා දෙමින් ඇරඹි මහපොළ, අද වසරකට සිසුන් 15,000කට  රු. 5,500 ක මුදලක් මාසිකව ලබා දෙයි.  ඇතුලත්මුදලි මහතා 1989 දී ප්‍ර‍කාශ කළේ ‘මහපොල ජනතාවගේ ව්‍යාපාරයක්‘ මගේ මරණයෙන් පසුව ද, මහපොළ අඛණ්ඩව පැවතිය යුතුය‘ යනුවෙනි. මහපොළ අරමුදල රු. බිලියන 10 කට වැඩිවේ.  ස්ථිර තැම්පත් සහ බැදුම්කර මහපොල භාරයේ ආයෝජනයන් ය.  දුෂිත බැදුම්කර වංචාව සිදු කොට ඇත්තේ ප්‍රාථමික බැකුම්කර මිලදී ගැනීමට හැකියාව තිබිය දී, එය සිදු නොකර ‘ද්විතීය වෙළෙදපොල මගින්‘ ලංකා බැංකුව හරහා බැදුම්කර මිලදී ගැනීම මගිනි.  මෙය සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ භාරය, විශ්වවිද්‍යාල අරමුදලින් බැදුම්කර වංචාව සිදු කළ යාන්ත්‍ර‍ණයට සමානය.

 ‘මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලේ‘ භාරකාර මණ්ඩලයේ නිලබලයෙන් පත්වන සභාපතිවරයා වන්නේ ගරු අගවිනිසුරුතුමන්ය. එහි විෂය භාර ආමත්‍යාංශය වන්නේ ‘උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය‘ යි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේම පවතින විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදල් හා විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල් රු. මිලියන 1000ක ට වැඩි මුදලක් යොදා ගනිමින් පර්පචුවල් බැදුම්කර මිලදී ගැනීම නිසා සිදු වූ පාඩුව රු. මිලියන 146 කි.

බැදුම්කර මගඩියට වි.වි.ප්‍ර‍.කො.ස. මුදල් යෙදවීම – වචන හරඹයකින් සත්‍ය වසන් කිරීමට උත්සහ දැරීමකි

විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාව හා බැදුම්කර වංචාව ගැනවන ‘පුවත්පත් වාර්තා‘ අසත්‍ය බවට පුවත්පත් නිවේදනයක් කොමිෂන් සභාව නිකුත් කර ඇත.  එම නිවේදනයේම දෙවැනි පිටුවේ සදහන් වන්නේ ‘‘ඉහත ආයෝජනයට අවාසිදායක ලෙස බලපා ඇතිනම් එය නිසි පරිදි අවයකර ගැනීමට ගරු නීතිපතිතුමාගේ උපදෙස් පරිදි අවශ්‍ය නීතිමය පියවර මේවන විටත් ගෙන ඇති බව‘ ය.  පුවත්පත් වාර්තා අසත්‍ය නම් පාඩුවක් සිදුවී නැතිනම් ‘පියවා ගැනීමට නීතිමය පියවර ගන්නේ ඇයි දැයි‘ වි.වි.ප්‍ර‍.කො.ස. සභාපතිවරාම හෙළි කළ යුතුය.

කුමන නිලධාරියෙකු, කුමන දේශපාලනඥයෙකු මගින් සිදු කළ නමුත්, මේ වන විට බැදුම්කර වංචාව සිදු කිරීමට මේ රටේ පුද්ගලික හා අර්ධ රාජ්‍ය සේවයේ විශ්‍රාම අරමුදල් ගණනාවක මුදල් යොදා ගෙන ඇත. එම අරමුදල් බංකොළොත් කර තම මඩිය තර කරගත් ‘මහ මොළකරුවන්‘ තවමත් නිදැල්ලේ සිටිති. එමෙන්ම, ලංකා බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකු හරහා වි.වි.කො.ස. සහ මහපොල මුදල් අවභාවිත කර තිබිය දී එම කටයුත්ත මෙහෙයවූ පුද්ගලයින් තවමත් එම මර්මස්ථානවල කටයුතු කරන බව ද තෙන්නකෝන් මහතා පැවසීය.

 (ඡායාරූප සහ හඩකොටස් අමුණා ඇත)

මාධ්‍ය ඒකකය 

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

2018 ජූලි 1

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress