ගිවිසුම් ද පඤ්ඤං
Posted on August 2nd, 2018

උපුටාගැණීම  මව්බිම

“බණ්ඩාරනායක-චෙල්වනායක් ගිවිසුම සිංහල ජාතිය පාවාදීමක්”

බණ්ඩාරනායක-චෙල්වනායකම් ගිවිසුම ප්‍රකාශයට පත්කළේ 1957 ජූලි 26 දා ය. එදිනම රැස් වූ එජාප කෘත්‍යාධිකාරි සභාව ගිවිසුමට එරෙහිව පළමු වෙඩි මුරය පත්තු කළේ එහෙම ය.
උතුර සහ නැඟෙනහිර පළාත් ආවරණය වන ලෙස ස්වාධීන දෙමළ රාජ්‍යයක් දිනා ගැනීම සඳහා තබනු ලබන ඉදිරි පියවරකි. පුරවැසි පනත් අවලංගු කිරීමත්, ලංකාවේ වෙසෙන දශලක්ෂයක් වන ඉන්දීය නේවාසිකයන්ට ස්මපූර්ණ පුරවැසිභාවය ලබා ගැනීමත් සඳහා ෆෙඩරල් පක්ෂයත්, ඉන්දීය දමිළයන් නියෝජනය කරන පක්ෂත්, ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීම මීළඟ පියවර විය යුතු යැයි ඔවුහු අදහස් කරති.

මේ ගිවිසුමට පදනම් වී ඇත්තේ, මෑතකදී භාවිතයට ආ, හුදෙක්ම කෘත්‍රිම වූ, පළාත් මායිම් පිළිගැනීම මත ය. නැඟෙනහිර පළාත හෝ මුළු උතුරු පළාත හෝ පාරම්පරික වශයෙන් දෙමළ ජනතාවට අයත් ප්‍රදේශ හැටියට කිසිදාක පිළිගෙන නොතිබුණු බව ඓතිහාසික සත්‍යයකි. නැඟෙනහිර සහ උතුරු පළාත් එක් කොටසක් වශයෙන් ද සෙසු පළාත් හත අනෙක් කොටස වශයෙන් ද රට කොටස් දෙකකට බෙදීම මේ ගිවිසුමෙන් පිළිගනු ලැබ ඇති බව මේ කරුණුවලින් පැහැදිලි වෙයි.”

1957 අගෝස්තු 3වැනිදා යූඑන්පීය දෙවැනි වෙඩි මුරය පත්තු කළේ එහෙම ය. මේ වෙඩි දෙකටම වෙඩි බෙහෙත් කෙටුවේ ජේ.ආර්. ය.

1956 බණ්ඩාරනායක බලයට එන්නේ සිංහල බෞද්ධ බලවේගයේ ආවේගයෙනි. එහෙම බලයට ආපු බණ්ඩාරනායකට, යථාර්ථය තේරුණේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්නට යද්දී ය. බණ්ඩාරනායක හිටියේ ගිරයට අහුවුණු පුවක් ගෙඩියක් මෙන් ය. දෙමළ නායකයන්ගෙන් ආපු විරෝධය හමුවේ බණ්ඩාරනායක නැවෙද්දී දේශප්‍රේමී බලවේග කුපිත වුණේ ය.

උතුරු සහ නැඟෙනහිර පළාත්වල පරිපාලන කටයුතුවලදී දෙමළ භාෂාවට ප්‍රමුඛ තැන දීම, රට සභා කෙටුම්පත සංශෝධය කිරීම, උතුර සහ නැඟෙනහිර වාරිමාර්ග ව්‍යාපෘතිවලදී සිංහල පදිංචි කිරීම් සීමා කිරීම, ඉන්දියානු සම්භවයක් ඇති අයට ලංකාවේ පුරවැසිකම ලබා දීම. යන යෝජනා බණ්ඩාරනායක-චෙල්වනායකම් ගිවිසුමෙ ප්‍රධාන කරුණු ලෙස පිළිගැනුණේ ය.

කොන්දේසි ටික එළියට ආපු ගමන් බණ්ඩාරනායක කඳවුරේ භාෂා ප්‍රේමීන් කුපිත වුණේ ය. ඒ වාසිය දුටු ජේ.ආර්. විසින් ආණ්ඩුව ගෙදර යැවීමේ මෙහෙයුම අතට ගත්තේ ය. බණ්ඩාරනායක-චෙල්වනායකම් ගිවිසුමට එරෙහිව ජේ.ආර්. මල්ටි බැරල් ගැසුුවේ ය. යූඑන්පී පත්තරයෙන් දිගට හරහට ගැසුවේ ය. දෙමළ පාලනයට යටත් වෙන ප්‍රදේශ නම් කොට සිතියම් පළ කළේ ය. ලංකාවෙන් භාගයක් දෙමළ පාලනයට යටත් වන බවට ප්‍රචාරය කළේ ය. පත්‍රිකා බෙදා හැරියේ ය. මහා සංඝයා එකතු කරගෙන රටටම අඬබෙර ගැසුවේ ය. ජේ.ආර්. ප්‍රමුඛ යූඑන්පිය ගෙන ගිය දැවැන්ත ප්‍රචාරයෙන් නැඟී ආ මහා සංඝයාගේ සහ ජනතාවගේ විරෝධය හමුවේ අගමැති බණ්ඩාරනායක ගිවිසුම ඉරා දැම්මේ ය. අන්තිමට ආණ්ඩුවත් පිරිහුණේ ය. කරුණු කාරණා සිද්ධ වුණේ එහෙම ය.

ජේ.ආර්. උෟරාගේ මාළු උෟරාගේ පිටේම තියලා කැපුවේ ය. බණ්ඩාරනායකලා බලයට ගෙනා සිංහල බෞද්ධ බලවේගයම බණ්ඩාරනායකලා බලයෙන් පහ කරන්න යොදා ගත්තේ ය.

1964දී යූඑන්පිය මෙහෙය වූ සාර්ථක පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් මැතිනිගේ ආණ්ඩුවේ බල බිඳුණේ ය. ඕනෑම මොහොතක ඡන්දයකට යෑමේ බලය විපක්ෂයට හිමි වුණේ ය. 1965 මහ මැතිවරණය පැවැත්වුණේ එහෙම ය. ඡන්දය පක්ෂ දෙකටම තීරණාත්මක විය. ඒත් ප්‍රතිඵල දෙපැත්තටම නැති විය. යූඑන්පිය දින්නේ ආසන 66ක් පමණි. බහුතරයට තව 7ක් ඕනෑ විය. ඩඩ්ලිලාට ජේ.ආර්.ලාට දෙලෝ රත් වුණේ එවිට ය. ප්‍රතිඵල නිකුත් වී දින දෙක තුනක් යන තෙක්ම වෙන දෙයක් හිතා ගන්නට බැරි විය. බණ්ඩාරනායක-චෙල්වනායකම් ගිවිසුම අල්ලගෙන රට ගිනි තියපු ජේ.ආර්. – ඩඩ්ලි ප්‍රමුඛ යූඑන්පිය අන්තිමට ලැජ්ජා නැතිව චෙල්වනායකම් පස්සේ වැටුණේ ය. චෙල්වනායකම්ගේ ෆෙඩරල් පක්ෂය සමඟ ගිවිසුම් ගසා කොහොමහරි බලය ගත්තේ ය. 1965 යූඑන්පී ආණ්ඩුව පිහිටුවූයේ එහෙම ය.

එහෙම ගේම ගහලා හදපු 1965 යූඑන්පී ආණ්ඩුවයි 2015 යහපාලන ආණ්ඩුවයි අතර වැඩි වෙනසක් පේන්නට නැත. ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයෙහි පහත දැක්වෙන කොටස කියවන ඕනෑ අයෙක් එය හොඳින්ම තේරුම් ගන්නවා ඇත.

‘මේ වතාවේ ඔහු විසින් පිහිටුවා ගන්නා ලද සභාගය වෛවාරන්න කණ්ඩායම්වල එකතුවක් වූ අතර, බලයට ඇති කෑදරකමත්, බණ්ඩාරනායක මහත්මිය සහ ඇගේ සගයන් බලයෙන් වියුක්ත කොට තබා ගැනීමේ දැඩි වුවමනාවත් හැරුණු විට ඔවුන් අතර වෙනත් ආකාරයක පොදු අපේක්‍ෂා තිබුණු බවක් කිව නොහැකිය. එ.ජා. පක්‍ෂය මේ සභාගයේ අරටුව වූ අතර, ෆෙඩරල් පක්‍ෂයත් ඔවුන්ගේ දීර්ඝ කාලීන විරුද්ධවාදීන් වූ කේ.ඇම්.පී. රාජරත්නගේ ජාතික විමුක්ති පෙරමුණත් (පාර්ලිමේන්තුවෙහි එම පක්‍ෂය නියෝජනය වූයේ ඔහුගේ භාර්යාවගෙනි) පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණත් එයට ඇතුළත් විය. ඩඩ්ලි සේනානායක පෞද්ගලිකව වගාකරගෙන තිබූ ප්‍රසාදය හා ගෞරවයත්, කෘතහස්ත දේශපාලනයත් නිසා විනා මේ සභාගය එක්තැන් කිරීමට නොපිළිවන් විය හැකිව තිබිණි. සභාගය ඇතුළත තිබුණු කලබලකාරී තත්ත්වය අනුව සලකන විට, ඉහත සඳහන් ගුණාංග ස්වකීය සභාගය ජාතික රජයක් වශයෙන් හැඳින්වීමට ඔහු පෙලැඹුණද ඇත්ත වශයෙන් පාර්ලිමේන්තුවේ නියෝජනය වුණු ඉතා විශාල කොටසක් අත්හැර තිබුණු නිසා, එය ඒ නමින් හැදින්වීම පැහැදිලි ලෙසම සාවද්‍ය විය.

එකිනෙකා පරස්පර විරෝධී වුවමනා එපාකම් ඇතිව සිටි කණ්ඩායම් තුලනයක් ඇති වන සේ අමාත්‍ය මණ්ඩලය සංයුක්ත කළ යුතු විය. එය අසාමාන්‍ය ලෙස දුෂ්කර කාර්යයක් වූ අතර මේ තුලනය පවත්වා ගැනීමේ අවශ්‍යතාව, නව පරපුරේ දේශපාලනඥයන්ගේ නියෝජිතයන් අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කර ගැනීමේ අවශ්‍යතාව යටපත් කරමින් නැඟී සිටියේය.’

1965දී චෙල්වනායගම්ලා එක්ක සාකච්ඡාවට පෙරමුණ ගත්තේ රනිල්ගේ මාමා වන ජේ.ආර්. ය. අනුබල දුන්නේ තාත්තා වන එස්මන්ඩ් ය. 2015 ත් එහෙම ය. ඒ චෙල්වනායගම්ලා ය. මේ සම්පන්දන්ලා ය. ඒ මාමා ජේ.ආර්. ය. තාත්තා එස්මන්ඩ් ය. මේ බෑණා රනිල්. යහපාලන ආණ්ඩුව පිහිටුවන්න රනිල්ලා සම්පන්දන් එක්ක ගිවිසුම් ගැසුවේ ය. මහින්දලා එළවන්න රටේ සියලුම බලවේග එකතු කරගෙන ආණ්ඩුව හැදුව රනිල්ලාට දැන් බලය රැක ගන්න නම් සම්පන්දන්ලාගේ අවශ්‍යතා ඉටු කිරීමට සිදුව ඇත. සම්පන්දන්ලා පොරොන්දු ඉටු කරන තෙක් රනිල්ගේ පස්සෙන් පන්නනවා ඇත. අලුත් ව්‍යවස්ථාව සම්පන්දන්ලාගේ එකම බලාපොරොත්තුව ය.

එදා විපක්ෂයේ ඉඳන් ජේ.ආර්.ලා කරපු රෝල් එක අද විමල්ලා, ගම්මන්පිලලා කරති. ‘රට පාවා දෙන ව්‍යවස්ථා මර උගුල’ කියා ඔවුහු රට වටේ යති. දැන හෝ නොදැන මහා සංඝයා ඇතුළු රටේ සාමාන්‍ය ජනතාව බහුතරයකට මේ අලුත් ව්‍යවස්ථාව දැන් අරහං ය. 1949 සිටම මේ රටේ වුණේ ඕක ය. එදා චෙල්වනායකම්ලා ය. අතර මැද ප්‍රභාකරන්ලා ය. දැන් සම්පන්දන්, සුමන්තිරන්ලා ය. ප්‍රශ්නේ එතැනමය. යූඑන්පිය එදත් එහෙම ය. 1965 බලය ගන්න ඩඩ්ලිලා – ජේ.ආර්.ලා චෙල්වනායකම් ගාව දණින් වැටී ආණ්ඩුකාරවරයාට දෙන්න ඔහුගෙන් ලියුමක් අරන් ගිහින් බලය අතට ගත්තේ ය. අන්තිමේ ඩඩ්ලිත් රට සභා පනත ගේන්න ගිහින් නා ගත්තේ ය. “ඩඩ්ලිගේ බඩෙ මසල වඩේ” කියා මිනිස්සු පෙළපාළි ගියහ. ඒ ආණ්ඩුවත් ඒකෙන්ම ඉවර වුණේ ය. සම්පන්දන්ලාගේ ඕනෑ එපාකම් ඉටු කරන්න ගිහින් මේ ආණ්ඩුවත් ගෙදර යන දවස වැඩි අෑතක නොවේ ය. මේක බලය පිළිබඳ ප්‍රශ්නයක් ය. බලය ගන්නකම් ඕන දේකට ඔට්ටු ය. ඕන ගිවිසුමක් පඤ්ඤං ය. බලය ගත් දාට හැසිරෙන්නේ කුම්බලා මාළු කාපු බළලුන් මෙන් ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress