ඈවරයි දෑවරයි මත්තලත් අහවරයි
Posted on August 5th, 2018

– ආචාර්ය නාලක ගොඩහේවා (2018 ජුලි 22 මව්බිම )

වත්මන් ආන්ඩුව බලයට ආ දා සිට ජප කරන එකම මන්තරය විකිණීමය. සමහර විට වර්ථමාන අගමැතිවරයා උදේට ඇඳෙන් බහින්නේත් අද විකුණන්නේ කුමක්ද කියා සිතමින් විය යුතුය. මන්ද රටේ සෑම ප්‍රශ්ණයකටම විසඳුම ලෙස ඔහු දකින්නේ මොකක් හෝ විකිණීම බැවිනි.

පසුගිය දිනක ප්‍රවෘති වලින් මුලු රටම අසා සිටියේ රටේ ආර්ථිකය 30% කින් කඩා වැටී ඇති බවත් , මුදල් සංසරණය දුර්වල වී ඇති බවත් අගමැතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරණ ආකාරයයි.මේ ප්‍රකාශය කරන්නේ ආසියාවේ දෙවෙනියට වේගයෙන්ම වර්ධනය වෙමින් තිබූ ආර්ථිකය බාරගෙන වසර 3 1/2 කට පසුවය. 2014 වන විට සෑම ආර්ථිකය දර්ශකයකින්ම වාගේ දකුණු ආසියාව තුල පලමු හෝ දෙවැනි තැන ලංකාවට හිමිවී තිබුනි. රටේ දල ආර්ථික සංවර්ධන වේගය 7% කට ආසන්න විය. අද 30% කින් කඩා වැටී ඇතැයි අගමැතිවරයාම කියන්නේ එවැනි ආර්ථිකයකි. මෙතෙක් පාවිච්චි නොකල මඩු වලිගෙන් ගහන්නට ඕනෑනම් ජනාධිපතිතුමාට මීට වඩා සුදුස්සෙකු සොයාගැනීමට අසිරු වනු ඇත.

කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැහැ කියා පැරණි කියමනක් ඇත. ඒ අනුව යමින්දෝ ප්‍රමාදවී හෝ තම රජය විසින් රටේ ආර්ථිකය විනාශ කර ඇති තරම අගමැතිවරයා ප්‍රසිද්ධියේ පිලිගැනීම සතුටට කාරණයක් වුවත් එය භයානක ප්‍රවෘතියක් වන්නේ අගමැතිවරයා ප්‍රශ්ණයට විසඳුම ලෙස ඉන් මොහොතකට පසු කියනා දේ නිසාය. ” ඉතින් අපි මේකත් විකුණනවා” කියා ඔහු කියනු ප්‍රවෘති නරඹන්නන්හට දැකීමට ලැබුණි. මෙවර විකුනන්ණේ කුමක්ද කියා පැහැදිලි නොවුනත් අගමැතිවරයාගේ දීර්ඝ විකිණීම් භාන්ඩ ලැයිස්තුව තුල කිසිදු ජාතික සම්පතක් සුරක්ෂිත නැති බව නම් ජනතාව දැනටම වටහාගෙන අවසන්ය.

ලංකාවට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොලක අවශ්‍යතාවය හඳුනාගත් ප්‍රථම රජය මහින්ද රාජපක්ෂ රජය නොවේ. හම්බන්තොට වරාය මෙන් මත්තල ගුවන් තොටුපොලද රජයන් ගනනාවක් විසින් කතාවට පමනක් සීමා කොට තිබූ සැලසුම් පසුගිය රජය යටතේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිපලයන්ය.

රටක් දියුණු කිරීමට නම් රජයකට දැක්මක් හා සැලැස්මක් තිබිය යුතුය. තමුන්ගේ කියා දැක්මක් හා සැලැස්මක් නොමැතිව අනුන්ට දොස් නගමින් කාලය නාස්ති කිරීමට රජයක් අවශ්‍ය නැත. එදා මත්තල ගුවන් තොටුපොල ඉදිවූයේ ලංකාව දකුණු ආසියාවේ ආසියා නාවුක හා ගුවන් ගමන් කෙන්ද්‍රස්ථානය බවට පත්කිරීමට පසුගිය රජයේ තිබූ සැලස්මේ එක් පියවරක් වශයෙනි. හම්බන්තොට ආශ්‍රිතව ජාත්‍යන්තර වරායක් හා කාර්මික නගරයක් ගොඩනැගෙන විට ඒ ආසන්නයේ ගුවන් තොටුපොලක්ද ඉදිවිය යුතු බව වටහා ගන්නට මහා ව්‍යාපාර ඥානයක් අවශ්‍ය නැත. මත්තල ඒ සඳහා තොරාගැනුනේ ශක්‍යතා අධ්‍යයනයකින් පසුවය. වත්මන් රජය ඒ ස්ථානය ගුවන් තොටුපොලකට නුසුදුසු යැයි කියනාවිට එය විශ්වාස කරනා අමන මිනිසුන්ගෙන් ජනතාව ඇසිය යුත්තේ ඒ තර්කය නිවැරදි නම් එම ගුවන්තොටුපොලම ඉන්දියාව බාරගන්නේ ඉන්දියාවට පිස්සු නිසාද කියායි. සත්‍යය නම් ඉන්දියාව මෙම ගුවන් තොටුපොලේ වටිනාකම හොඳින්ම දන්නා අතර වත්මන් ශ්‍රී ලංකා පාලකයින්ගේ නොහැකියාව හා අදූරදර්ශී කම ඔවුන්ට වාසනාව ගෙන ආ බවය. පෙර අපරදිග යා කරන සේද මාවතේ භූගෝලීය වශයෙන් සුදුසුම තැනක පිහිටා ඇති හම්බන්තොට වරාය අත්පත් කරගත් චීන්නුන්ද අද ඔවුන්ගේ වාසනාවට පින්දෙමින් ලංකාවේ අමන පාලකයින්ට සිනහසෙන බව නිසැකය.

හම්බන්තොට කාර්මික පුරය නිමවූ විට වසරක් පාසා ලක්ෂ සංඛ්‍යාත ගුවන් මගීන් හම්බන්තොටට පැමිනීම අපේක්ෂාකල හැකි අතර ඒ අතර ව්‍යාපාර අවශ්‍යතා පැමිනෙන්නන් මෙන්ම සංචාරකයින්ද සිටිනු ඇත. කාර්මික නගරයේ කර්මාන්තශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙන්ම නිමි භාන්ඩ වලින්ද කොටසක් ගුවන් මගින් ප්‍රවාහනය කෙරෙනු ඇත. එමෙන්ම ධාරිතාව සීමිත කටුනායක ගුවන් තොටුපොල වෙනුවට යම් ගුවන් සමාගම් මත්තල හරහා තම ගමන් මාර්ග සැලසුම් කරනු ඇත. ඒ අනුව මත්තල් ගුවන් තොටුපොල නිසාම නව ගුවන් මාර්ග බිහිවනු ඇත.මත්තල ඉදිකලාට පසු එය භාවිතාකරමින් දැනටමත් නව ගුවන්මාර්ග රැසක්ම ආරම්භ වී ඇති අතර ඒ නව ගුවන් මාර්ග සැලසුම් නිසා ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවලින් යුරෝපයට සහ මැදපෙරදිගට පියාසර කරන සහ ආපසු පැමිණෙන යානාවලට ගමන් දුර කෙටි වන අතර පිරිවැය අඩු වේ. එසේම ඒ මගින් හදිසියකදී භාවිතා කිරීම සඳහා රැගෙන යායුතු ඉන්ධන බර ප්‍රමාණය අඩුවීම මගින් ද පිරිවැය අඩු වේ. මෙම වාසිදායක තත්වයන් ගුවන් සමාගම් වලට ලැබෙන්නේ ලෝක සිතියමේ මත්තල ගුවන් තොටුපොල පිහිටා ඇති උපාය මාර්ගිකව වැදගත් ස්ථානය නිසාය. මත්තල තම ගුවන් ගමන් පථයේ සදහන් කරන සෑම විදේශ ගුවන් යානයක්ම මත්තලට ගොඩනොබෑවද මත්තලට ආසන්නව පියාසර කල පමනින් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව භාවිතා කිරීම සඳහා ගෙවනු ලබන ගාස්තු මත්තල ගුවන් තොටුපොලට ගෙවිය යුතුය.

සිංගප්පූරුව , මැලේසියාව, ඩුබායි වැනි රටවල් තම ගුවන් තොටුපොලවල් සැලසුම් කලේ වසර ගනනාවක් ඉදිරියට සිතාය. වාසනාවකට මෙන් ගුවන්තොටුපොල සාදා නිමකල වසරේ සිට එය ලාබ ලැබිය යුතුයැයි තර්ක කරණ අනුවණයන් ඒ රටවල සිටි බවක් නොපෙනේ. එසේ සිටියත් කිසිවෙකු ඔවුන්ට සවන් නොදුන් බව අද එම ව්‍යාපෘතීන් ලබා ඇති සාර්ථකත්වයෙන් පෙනී යයි.

මත්තල ගුවන් තොටුපොලද නිර්මාණය කර ඇත්තේ අනාගතයට සරිලන ආකාරයටය. ලෝකයේ විශාලතම ගුවන් යානා වුනත් ගොඩබෑමට හැකි ආකාරයට සැලසුම් කර ඇති මත්තල ගුවන් තොටුපොලේ දැනට නිමවී ඇති පලමු අදියරේ ධාරිතාවය වසරකට මගීන් දසලක්ෂයක් වේ. මත්තල සැලසුම් කොට තිබෙන්නේ ඉදිරියේදී ඉල්ලුම වැඩි වුවහොත් තවදුරටත් ගුවන්තොටුපොල තව දුරටත් පුලුල් කොට ධාරිතාව මගීන් මිලියන 5 දක්වා වැඩි කල හැකි ආකාරයටය. ජනාකීරණ ප්‍රදේශයක පිහිටා ඇති කටුනායක ගුවන් තොටුපොල මෙසේ පුලුල් කිරීමට පහසුකම් නැත.

ඕනෑම ව්‍යාපාරයකට ව්‍යාපාරික සැලස්මක් අවශ්‍ය වේ. මත්තල ගුවන් තොටුපොල විවෘත කරනාවිටම එයට සැලැස්මක් තිබුන අතර එම සැලස්මට අනුව ගුවන් යානා සමාගම් කිහිපයක්ම මත්තල ගුවන් තොටුපොල සමඟ ගිවිසුම් ගත වී තිබුනි. තවත් සමාගම් ගනනාවක් ඉදිරියෙදී සාකාච්ඡා කිරීම සඳහා හඳුනාගෙන තිබුනි. හම්බන්තොට කාර්මික නගරය කෙමෙන් ඉදිවන විට හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වන විට ඉල්ලුමේ වැඩිවීමට සමාන්තරව එසේ තව තවත් ගුවන් යානා සමාගම් සමඟ ගිවිසුම්ගතවීම ව්‍යාපාර සැලස්මේ අපේක්ෂාව විය. එහෙත් 2015 වූ දේශපාලන බල පෙරෙලියෙන් පසු මෙම ව්‍යාපාර සැලස්ම කුණු කූඩයට විසිවූ අතර මත්තල වී ගබඩා කරමින් ආරම්බ කල යහපාලනට නරි නාටකය අවසන් වූයේ අලුතින් ව්‍යාපාර ගෙන එනවා වෙනුවට තිබුන ගිවිසුමුත් මත්තලට අහිමි කරමිනි. හම්බන්තොට වරායට කලාක් මෙන් මත්තල ගුවන් තොටුපොල සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ රජය අනුගමනය කලේ එකම ප්‍රතිපත්තියය. ඒ පලමුව ව්‍යාපාරය බිඳවට්ටා දෙවනුව එය විකිණීම සාධාරණීකරනය කිරීමය.

රජය කියන ඕනෑම බොරුවක් විශ්වාස කිරීමට සැදී පැහැදී සිටින සමහරක් අය මත්තල ගුවන්තොටුපොල රට ඉතා බරක් වන තරමේ විශාල ආයෝජනයක් ලෙස සලකන්නේ හුදෙක්ම නොදන්නා කම නිසාය. මත්තල ගුවන්තොටුපොල සාදන්නට ගිය මුලු වියදම රුපියල් බිලියන 30 කට අඩුය. වත්මන් රජයබලයට ආ පසු ගත් වැරදි තීරණ දෙකක් වන වරාය නගරය ඉදිකිරීම් අත්හිටවීම හා ශ්‍රී ලංකන් ගුවන් සේවාව විසින් ඇනවුම් කොට තිබූ නව ගුවන් යානා අවලංගු කිරීම වෙනුවෙන් ගෙවන්නට වූ වන්දීන්හි එකතුව පමනක් රුපියල් බිලියන 40 කි.

රටේ සම්පත් විකුණා ඒවා විදෙශ සමාගම් විසින් දියුණුකල විට ලංකාවට එය වාසිදායක බවට මිත්‍යාවක් ජනගත කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආන්ඩුව උත්සාහ කරයි. නමුත් මේ සමාගම් වලට විශාල බදු සහන දී ඇති බවත් ඒ නිසා තව පරම්පරාවකටවත් මේ ව්‍යාපාරවලින් ආදායමක් නොලැබෙන බව ඔවුහු හෙලි නොකරති. එපමනක් නොව දැනටමත් අත්සන් කොට ඇති සිංගපුරු වෙළඳ ගිවිසුම් හා අත්සන් කිරිමට නියමිත ඉන්දියා වෙළඳ ගිවිසුම හරහා කලමනාකරුවාගේ සිට කම්කරුවා දක්වා පිටරටින් ගෙන ඒමට මේ සමාගම් වලට ඉඩ ලැබෙන නිසා ලංකාවේ තරුණ තරුණියන්ට මෙම සමාගම්වල රැකියා අවස්ථා උදාවේයයි සිතීම මිරිඟුවක් පසු පස දිවීමක් බවද ජනතාවට හෙලිකොට නැත. වත්මන් රජයේ නායකයින්ගේ හැසිරීම් රටාව තේරුම් ගැනීමට පුලුවන් වනු ඇත්තේ දක්ෂ මානසික වෛද්‍යවරයකුට පමණකි. මන්ද දැන හෝ නොදැන ඔවුන් විසින් දිනපතා රටට කරණු ලබන ද්‍රේහිකම් අපමනක් බැවිනි

පසුගිය දිනක නාවුක හමුදා කඳවුරක වූ උත්සවයකදී අගමැතිවරයා අපූරු අනාවැකියක් කීවේය. ඒ නුදුරු අනාගතයේ දිනක ශ්‍රී ලංකාව ආශ්‍රිතව සබ්මැරීන් යුද්ධයක් ඇති විය හැකි බවත් එයට මුහුනදී හම්බන්තොට වරාය ආරක්ෂා කරන්නට වන්නේ ලංකාවේ නාවුක හමුදාවට බවත්ය. එසේ නම් ඔහු මේ නොකියා කියන්නේ චීනයත් ඉන්දියාවත් අතර අනාගතයේ ඇතිවිය හැකි යුද්ධයක් ගැනය. මෙහිදී මතුවන ප්‍රශ්ණය නම් අසල්වැසියන් සමඟ ආරවුල් ඇතිකර නොගන්නා සාමකාමී රටක් වන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද්ධයකට පවා මැදිවිය හැකි තරමේ අනතුරක හෙලුවේ කවුද යන්නයි. චීනයට හම්බන්තොට වරාය පවරා දී ඉන් සැතපුම් කිහිපයක් ඈතින් පිහිටි ගුවන් තොටුපොල ඉන්දියාවට පවරා දීම ගැටුමකට තමන් විසින්ම මග පාදා දීමක් බව මුලින් වටහා ගන්නට තරම් මොලයක් මේ පාලකයින්ට නොතිබුන බවත් වැඩේ වරද්දාගත්තාට පසුව තම අමන තීරණ නිසා අනාගතයේ රට මුහුණ පෑ හැකි තනතුර තරමක් දුරට හෝ වැටහී ඇති බවත් මින් පෙනී යයි.

ජාතික සංවර්ධන සැලසුම් අවුල් කරමින්, රටේ සම්පත් අනාගත පරපුරට අහිමි කරමින්, ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙලමින්, කලාපීය බලවතුන්ගේ ගැටුම්වලට මැදිවිය හැකි අනාගත යුධබිමක් බවට ලංකාව පත් කරමින් කරනු ලබන මත්තල විකිණීමේ තීරණය කෙතරම් විශාල පාවාදීමක්ද යන්න අනාගතය විසින් පෙන්වා දෙනු ඇත.
(2018 ජුලි 22 මව්බිම )
යුතුකම සංවාද කවය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress