ගෝඨාභයයි බන්දුලයි ආර්ථික විග‍්‍රහයක…
Posted on August 5th, 2018

බුලිත ප‍්‍රදීප් කුමාර  උපුටා ගැන්ම දිවයින

මොරගහකන්ද ජලාශය විවෘත කිරීමෙන් ඇරඹූ රජරට නගාසිටුවීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වැඩපිළිවෙළ තවමත් නිමාවක් නැත. එදා පටන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කය හා අනුරාධපුර දිස්ත‍්‍රික්කය ඉලක්ක කරගෙන ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘති සැලැස්මේ ව්‍යාපෘති ගණන සියයකටත් වැඩිය. ජනාධිපතිවරයා හා ඇමැති මණ්ඩලය පසුගිය සති කිහිපය පුරාම මෙම ව්‍යාපෘති වෙනුවෙන් කාර්ය බහුලව සිටින ආකාරය දැකගත හැකි විය. 
 
 මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ප‍්‍රමුඛ අවධානය යොමු ව තිබුණේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කය වෙතටය. ඒ තුළින් ප‍්‍රදේශයේ මහාමාර්ග, වාරිමාර්ග, අධ්‍යාපන, ගමනාගමන සේවා, විවිධ රජයේ කාර්යාල හා ක‍්‍රීඩා පිටි ඉලක්ක කරගෙන මේ දිනවල සිදුවන සංවර්ධනය අති විශාලය. ජනාධිපතිවරයා සෘජුවම පුද්ගලිකව මැදිහත් වෙමින් මෙම සංවර්ධන ව්‍යාපෘතිවලට වෙහෙස වන ආකාරය අපට  පසුගිය දිනවල දැකගත හැකි විය.
poli1

පොලොන්නරුව අනුරාධපුර දිස්ත‍්‍රික්ක දෙක ඉලක්ක කරගෙන සංවර්ධන කටයුතු කෙරුණද ජනාධිපතිවරයා ඒවාට පුද්ගලිකව මැදිහත් වෙමින් වැඩ කටයුතු බලා ගත්තත් රටේ තත්ත්වය නම් පසුගිය සතිය වනවිටත් ඒ තරම් සතුටුදායක මට්ටමක තිබුණේ නැත. 
 
 එක් පැත්තකින් එක්සත් ජාතික පක්ෂයේත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් දේශපාලන අර්බුදය හා නොගැලපීම යහපාලන ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින ම අසාධ්‍ය තත්ත්වය වෙත ළං කරමින් තිබුණ බව රහසක් නොවීය. ෆයිසර් මුස්තාපා, නිමල් සිරිපාල ද සිල්වා, ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙක් ජනාධිපතිවරයාගේත් යම් යම් ආශිර්වාද සහිතව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සම්පත් විකිණීමේ ආර්ථික වැඩපිළිවෙළට උදව් උපකාර කළත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය සිටියේ ලොකු දේශපාලන උභතෝකෝටිකයකය. ඔවුන් පසු වූයේ අගමැතිවරයාගේ දේශීය සම්පත් විකිණීමේ ආර්ථික වැඩපිළිවෙළට සහයෝගය නොදී ආණ්ඩුවේ ඉන්නත් බැරි, එසේ සහයෝගය දුනහොත් යළි ගමට ගොස් ගමේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනය කරන්නත් බැරි දැඩි අවදානම් සහිත දේශපාලන වාතාවරණයකය. බලවත් උභතෝකෝටිකය ක ය.
 
 මෙම ප‍්‍රශ්නය එසේ පවතිද්දී ජනතාවට හිරිහැර කරන, වධදෙන, ජනතාව පීඩනයට පත් කරවන බරපතළ ප‍්‍රශ්න, වැඩපිළිවෙලවල් හා තීන්දු තීරණ රාශියක් ම පසුගිය සතියේත් අපට දැකගත හැකි වූයේ හෙමින් සීරුවේ රජයේ මෙහෙයුමන් ක‍්‍රියාත්මකවන ආකාරයයි.
 
 එක් අතකින් බඩු මිල වැඩි කරන්නට පටන්ගෙන තිබිණි. අනිත් අතින් ජනතාව වෙත දවසෙන් දවසම එල්ලවෙන බදුබර ජනතාවට උහුලාගත නොහැකි තත්ත්වයකට පත් වූයේ ඔවුන් සතු ආදායම් තත්වය ඊට සාපේක්ෂව කිසිලෙසකත් ඉහළ නොයෑම නිසාය. වැඩ වර්ජන, සේවක ප‍්‍රශ්න, ශිෂ්‍ය අරගල කම්කරු ප‍්‍රශ්න, ගොවි ප‍්‍රශ්න ඇතුළු සමාජීය ප‍්‍රශ්න උග‍්‍රවීම්වල කෙලවරක් ම තිබුණේ නැත. මේවා අතරින් බෙල්ල බේරා ගෙන සාර්ථක ගමනක් ඉදිරියට යාම රජයකට කිසි ලෙසකත් කළ නොහැකි අන්දමේ කරුණක් ව තිබුණත් කාගේ හෝ දුර්වලකමක් නිසා අපි දුටුවේ බාධක කොතෙක් වුවත් අගමැතිගේ මෙහෙයවීමෙන් සංවිධානය වූ රජයේ වැඩපිළිවෙළවල් ඒ ඒ අයුරින්ම ක‍්‍රියාත්මක වෙමින් ඉදිරියට යන ආකාරයකි.
 
 කම්කරු ආරවුල් මැද
 සංවර්ධනය ගමටද…
 
 මේ අයුරින් ආණ්ඩුවේ වැඩකටයුතු අගමැතිගේ පාර්ශ්වයෙනුත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙනුත් වෙන වෙනම සිදුවෙමින් පවතිද්දී විපක්ෂයේ වැඩ කටයුතු ද ඉතා වේගයෙන් ක‍්‍රියාන්විතයක් ලෙසින් ක‍්‍රියාත්මක කෙරෙන ආකාරය අපට පසුගිය සතියේ දැකගත හැකි විය. ඒ අනුව පසුගිය සතියේ කණ්ඩායමක් හෝ පෙරමුණක් ලෙස වඩාත් කැපී පෙනෙන දේශපාලන ක‍්‍රියාන්විතයක නිරතවී සිටි දේශපාලන බලවේගය වූයේ ඒකාබද්ධ විපක්ෂයයි. 
 
 ඒකාබද්ධ විපක්ෂය තුළ දැන් කුඩා කුඩා බලවේග ද බොහොමයකි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි ඇති ප‍්‍රමුඛම බලවේගය වන අතර, ඒ හැරුණු විට පිළිවෙලින් මහජන එක්සත් පෙරමුණ, විමල්ලාගේ ජාතික නිදහස් පෙරමුණ, ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය හා වාසු ඩියු ඇතුළු සමසමාජ කොමියුනිනිස්ට් බලවේගයන්හි බලපෑම්ද එය ඇතුළේ සුළුපටු නොවීය. ඒකාබද්ධ විපක්ෂයට අලූතෙන්ම එකතු වූ ප‍්‍රධාන ප‍්‍රවාහයේ අලූත් බලවේගය වූයේ 16 දෙනාගේ කණ්ඩායමයි. 
 
 වත්මන් ‘‘යහපාලන ආණ්ඩුවට තම දේශපාලන ගමන්මගේ පොදු සතුරා ලෙස මේ සියලූ කණ්ඩායම් තර්කයකින් තොරව පිළිගත්තත් එම සතුරු බලවේගය පරාජය කරන්නට අනුගමනය කළ යුතු දේශපාලන උපාය මාර්ග හා විකල්ප මාර්ගවල දී ඒකාබද්ධ විපක්ෂයේ මෙම කණ්ඩායම් අතර පොදු එකඟතාවක් නොවූහ. සතුරා පරාජය කළයුතු විකල්ප උපාය මාර්ග සම්බන්ධයෙන් මෙකී කණ්ඩායම් අතරත් විවිධ උත්තර, විවිධ තර්ක විතර්ක හා මත වාද තිබිණ. මෙම විකල්ප උපායමාර්ග තර්ක විතර්ක හා මතවාද පිටස්තර ලෝකයා විසින් තේරුම් ගනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ තිබෙන බරපතළ ගණයේ දේශපාලන අර්බුද ලෙසයි.
 
 උදාහරණයක් වශයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ හැරුණු විට ඊළඟට සිටින ජනප‍්‍රියම දේශපාලනඥයා වන ගෝඨාභය රාජපක්ෂ හට ඒකාබද්ධ විපක්ෂය තුළින්ම දැඩි විරෝධයක් මතුව ඇතැයි යන ප‍්‍රවාදය රටේ පැතිර ගියේ අභ්‍යන්තරයේ පවතින ඉහත කී දේශපාලන උපාය මාර්ගවල විවිධතා හා විෂමතා නිසා ය. 
 
 ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් දෙනා ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද යන ප‍්‍රශ්නය සාකච්ඡා කිරීමේදී ගෝඨාභයගේ නම් ඉදිරියට ගත්තත් තවත් පිරිසක් ඊට විරුද්ධත්වය ප‍්‍රකාශ කළේ යම් යම් දේශපාලනික හා සමාජ කරුණු කාරණා ඉදිරිපත් කරමිනි. ඔවුන්ගේ තර්කය වූයේ ගෝඨාභය පැමිණියහොත් කිසිලෙසකත් සුළු ජන කොටස්වල සහයෝගය ඒකාබද්ධ විපක්ෂය වෙත ගත නොහැකි බවයි. මේ සඳහා විකල්පයක් ලෙස ඔවුන් බැසිල් රාජපක්ෂගේ නම යෝජනා කළ අතර තවත් සමහරු ඒ සඳහා චමල් රාජපක්ෂ වැනි නිහඬ නිසල හීතල දේශපාලනඥයෙකුගේ නමද යෝජනා කර සිටියහ. 
 
 පසුගිය දිනවල මේ ප‍්‍රවාදය ප‍්‍රයෝජනයට ගනිමින් ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධ බලවේග ජනතා වේදිකාවේ හුවා දැක්වූයේ ඒකාබද්ධ විපක්ෂය දෙකට බෙදී යන බරපතළ දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් පවතින බවයි. ඒකාබද්ධ විපක්ෂය තුළ මේ වන විට ගෝඨාභය පිල හා බැසිල් පිල ලෙස පිල් දෙකක් නිර්මාණය වී අභ්‍යන්තර අර්බුදයකට මුහුණපා සිටින නිසා යහපාලන ආණ්ඩුව තව තවත් ශක්තිමත් වෙමින් පවතින බව රාජ්‍ය මාධ්‍ය ප‍්‍රමුඛ විවිධ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ රටපුරා ප‍්‍රචාරය වන්නට වූයේ මේ අතරතුර ය.
 
 නායකත්ව සටනට ආ
 විපක්ෂයේ තුන්වැන්නා… 
 
 තත්වය මෙසේ තිබිය දී මේ සංවාදයට තවත් අපූරු අර්ථකථනයක් සපයමින් තවත් පුද්ගලයකු පැමිණියේය. ඒ වූ කලී හිටපු ජනාධිපතිවරයාගේ ද ඉතා සමීප මිතුරකු මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයේ පතාක යෝධයකු ලෙසින්ද සලකන කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයාය.
 
 ඔහු පෙන්වා දුන්නේ ඒකාබද්ධ විපක්ෂය තුළ ඊළග ජනාධිපති අපේක්ෂකයා ලෙසත් වත්මන් පාර්ලිමේන්තු ක‍්‍රියාදාමයේදී විපක්ෂනායකයා ලෙසත් කටයුතු කිරීමට තමන් හැර වෙනත් සුදුස්සෙක් ඒකාබද්ධ විපක්ෂය තුළ ඇත්තේ නැති බවකි. 
 
 කුමාර වෙල්ගම මෙසේ පවසද්දී සමහර දේශපාලන නිරීක්ෂකයන් නිගමනය කළේ ඔහු මේ තර්කය ඉදිරිපත් කරමින් කරළියට එන්නේ යම්කිසි දේශපාලන උපාය 
 
 මාර්ගික වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන්නට බවය. දේශපාලන ලෝකයේ මහින්ද බලවේගයේ විරුද්ධවාදීන් විසින් බරපතළ ලෙස සාකච්ඡාවට බඳුන් කරන ගෝඨා ද බැසිල් ද කියන සංවාදය අල කිරීම් සඳහා තුන් වැන්නෙකු ලෙස කුමාර වෙල්ගමගේ නම කවුරුන් හෝ සැලසුම් සහගතව ඉදිරිපත් කර ඇතැයි යන තර්කය පැමිණියේ ඒ අනුවය. 
 
 එහෙත් පසුගිය සතියේ කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවේ තම අදහස් ඉදිරිපත් කරමින් කතා කළේය. ඔහු කීවේ තමන් කිසිවිටකත් කාගෙවත් පිටපත් අනුව හෝ කාගෙවත් බෙර පද අනුව නටන්නට හෝ කතා කරන්නට ක‍්‍රියා නොකරන බවයි. එසේම කාටවත් අවශ්‍ය පරිදි තමන් රඟපෑමක් කරන්නටද ඉදිරිපත් නොවන බව ඔහු පෙන්වා දුන්නේය. තමන් මේ තර්කය ඉදිරිපත් කළේ තමන් ඊට සුදුසු නිසා බව පෙන්වාදුන් කුමාර වෙල්ගම තමන් ඊට සුදුසු බව කියන්නේ මෙකී සුදුසුකම් ඇසුරෙන් බවද තහවුරු කරන්නට කරුණු කීවේය.
 
 කුමාර වෙල්ගම කලූතර දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයේ ප‍්‍රබලයෙකි. නොකඩවා අවුරුදු 35ක් අගලවත්ත ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයාය. ඒ හා සමාන කාලයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස ද කටයුතු කර ඇත. 
 
 වරක් ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක රට පාලනය කරමින් සිටි සමයේදී ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරන ප‍්‍රශ්නයට පක්ෂය මුහුණ දෙමින් තිබියදී ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ නම සුදුසු බව මුලින්ම යෝජනා කළ අය අතර ප‍්‍රමුඛයා වූයේ ද කුමාර වෙල්ගමයි. එම යෝජනාව නිසා කාලයක් යනතුරු චන්ද්‍රකා කුමාරණතුංග වෙල්ගමගේ මුහුණවත් නොබැලූ බව ද දන්නෝ දනිති. 
 
 2015 වසරේදී ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා පදනම් ආයතනයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමෙන් ගැන කරන ලද අදහස් විමසීමේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කොටස්කාරයෙක් වනවාට අකමැත්ත පළ කළ එකම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරයා වූයේද කුමාර වෙල්ගමයි. අනිකුත් සියලූ දෙනාම හිටියේ අනිත් පැත්තෙයි. සමහරු නිහඬව සිටියහ. තවත් සමහරු කැමැත්ත පළ කරමින් ආණ්ඩුව සමඟ එකතු වන්නට ගියාහ.
 
 එපමණක් ද නොවේ… හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්දවාදී කණ්ඩායමත් පාර්ලිමේන්තුවේ ඊළඟ විපක්ෂ නායකයා ලෙස යෝජනා ස්ථිරත්වයෙන් නම් කරනු ලැබුවේ ද කුමාර වෙල්ගමවය.
 
 ඉන් කලකට පසු විපක්ෂයේ බලවේග එකතු වී මහින්ද රාජපක්ෂ දේශපාලන වේදිකාවට යළිත් ගෙන ඒමට කරන ලද ‘‘මහින්ද සුළඟ’’ නුගේගොඩ 
 
 රැස්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මුලින්ම වේදිකාවට ගොඩ වූ දේශපාලනඥයා වූයේද කුමාර වෙල්ගමයි. එදා ඔහු එම කැපකිරීම කරනු ලැබුවේ නුගේගොඩ වේදිකාවට ගියහොත් පක්ෂයෙන් අස් කර දමනවා යැයි කියා පක්ෂයේ නායකයන් කරන ලද අභියෝග වලට නොබියව මුහුණ දෙමිනි.
 
 ඊළඟ ජනාධිපති අපේක්ෂක කමට හා වර්තමානයේ විපක්ෂ නායකකම සඳහා තමන්ගේ සුදුසුකම් මේ යැයි පෙන්වා දෙමින් කුමාර වෙල්ගම ඉදිරිපත් කරන ලද කරුණු අතර ඉහත කරුණු සියල්ලම තිබුණි.. එම කරුණු ඉදිරිපත් කරමින් කුමාර වෙල්ගම පසුගිය සතියේ මාධ්‍ය හමුවේ තැන් කිහිපයකදීම කරන ලද අදහස් දැක්වීම් නිසා විපක්ෂ දේශපාලන කරළියේ තිබුණු සංවාදය වෙනතකට යොමු වූ බවනම් පැහැදිලි විය.
 
 හැඩි දැඩි ඇඟක් ඇතුලේ
 මෘදු සංවේදී හදවතක්…
 
ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල යෙදී සිටින්නේ කුමන හෝ මැතිවරණයක් ඉල්ලා පාරට බැසීමේ වැඩපිළිවෙළ සහ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළෙහි නිරත වෙමිනි. ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළවෙළ ආරම්භ කෙරුණේ උතුරු මැද පළාතෙනි. පසුගිය සතියේ වයඹ පළාතේ එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කෙරිණි.
 
 එහි එක රැස්වීමක් පැවැත්වුණේ නාත්තන්ඩියේදීය. එම රැස්වීමට බැසිල් සහ ප‍්‍රසන්න සහභාගී වී සිටියහ. රැස්වීම අවසන් වූ පසු බැසිල්ගෙන් සමුගත් ප‍්‍රසන්න තමන්ට නියමිත අනෙක් රැස්වීම සඳහා පිටත්ව ගියේ ඩුලිප්, ලන්සා සමඟ එකම රියක නැගීය. ඒ යන අතරතුර ප‍්‍රසන්නට දුරකථන ඇමතුමක් ලැබුණේය. 
 
 දුරකථන ඇමැතුමෙන් කියැවුණේ ප‍්‍රසන්නගේ බිරිඳගේ ළඟම ඥාති දියණියක මිය ගොස් ඇති බවය. සය හැවිරිදි දැරියගේ මරණය ඇසූ ප‍්‍රසන්න දුරකථන ඇමැතුම විසන්ධි වූ විගසම ඉකි බිඳිමින් හඬන්නට විය. ප‍්‍රසන්නගේ හැඬීම ලන්සාට සහ ඩුලිප්ට ගැටලූවක් විය. 
 
 ‘‘මොකක්ද මන්ත‍්‍රීතුමා වෙලා තියෙන්නේ?’’ ලන්සා ඇසුවේය. 
 
 ‘‘මට ගොඩක් හිතවත් අපේ දුවෙක් නැතිවෙලා. එයා අපේ නෝනගෙ පැත්තෙන් ඥාති වෙන කෙනෙක්. අපේ ගෙදර ආවම කා එක්කවත් කතා නැහැ මගේ ඔඩොක්කුවට වෙලාමයි ඉන්නේ. කොහේ හරි ඇවිදින්න ගියත් මගේ අතේ එල්ලිලා තමයි යන්නේ’’ ප‍්‍රසන්න විස්තර කළේය. 
 
 අනතුරුව ප‍්‍රසන්න කීවේ තමන් දැන් වහාම කොළඹ යා යුතු බවය. ලන්සා සහ ඩුලිප් කීවේ රැස්වීමේ වැඩ තමන්ට බලාගත හැකි බැවින් ප‍්‍රසන්නට කොළඹ යා හැකි බවය. ඒ අනුව වහාම ප‍්‍රසන්න කොළඹ ආවේය. 
 
 දැරියගේ දේහය තැන්පත් කර තිබුණේ මෝදරය. ප‍්‍රසන්නගේ බිරිඳ ඉන්දියානු දෙමළ ජාතික කාන්තාවක් වීම නිසා එම දැරිය මෙන්ම ඇගේ ඥාතීහු ද ද්‍රවිඩ ජාතියට අයත්වූහ. අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ මෝදරය. 
 
 දැරියගේ අවසන් කටයුතු සිදුකෙරුණේ අඟහරුවාදාය. මහින්ද සහ බැසිල් ද ප‍්‍රසන්නගේ ඥාති දියණියට අවසන් ගෞරව දක්වන්නට පැමිණ සිටියහ. ඔවුන් ඉදිරියේදී ද ප‍්‍රසන්නට හැඬුණේ දැරියගේ හුරතල් කතා සිහිපත් වූ නිසාය. 
 
 ‘‘මේ මනුස්සයා හැඩි දැඩි ඇඟක් තියෙන, හැමතිස්සෙම දැඩි ස්ථාවරයක ඉන්න කෙනෙක් වුණත් හරිම සංවේදී කෙනෙක්නේ’’ බැසිල් එම නිවසින් පිටත්ව යන අතරතුර මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු සමගම කීවේය.
 
 ගෝඨාභයයි බන්දුලයි
 ආර්ථික විග‍්‍රහයක…
 
poli2පසුගිය ඉරිදා කොළඹ ෂැංගි‍්‍රලා හෝටලයේදී ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ දේශපාලනඥයෙකුගේ මංගල උත්සවයක් පැවැත්විණි. මංගල උත්සවය පැවැත්වුණේ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියංකර ජයරත්නගේ දියණිය විවාහ වීම නිමිත්තෙන් බැවින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු විශාල පිරිසකට මේ සඳහා ආරාධනය කර තිබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ බහුතරයක් පැමිණි මගුල් ගෙයක් ලෙස මෙය කැපී පෙනෙන්නට විය…
 
 මේ සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පැමිණ සිටියේ මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්නය. 
 
 මහින්ද ඇතුළු ඒකාබද්ධයේ පිරිස වෙනම මේසයක අසුන් ගෙන සිටින විට අමරවීර සහ අලගියවන්න තවත් වෙනම තැනක අසුන් ගෙන සිටියහ. එතැන සිටි මහින්ද දුටු අමරවීර සහ අලගියවන්න එම මේසය අසළට පැමිණ මහින්ද හා සුහදව කතා බහ කළේය. 
 
 ‘‘ව්‍යවස්ථාවෙන් ජනාධිපති වෙන්න පුළුවන් දෙපාරයි. හැබැයි මෙතුමා නම් තුන් පාරක්ම හිටියා’’ බැසිල් මහින්දට කීවේ අලගියවන්නව පෙන්වමිනි. 
 
 ‘‘ඒ කොහොමද? මහින්ද ඇසුවේය.
 
 ‘‘ඇයි මෙයා චන්ද්‍රිකාගේ කාලෙත් ඇමැති. ඔබතුමාගේ කාලෙත් ඇමැති. මෛත‍්‍රීගේ කාලෙත් ඇමැති. එහෙමයි මෙතුමා තුන් පාරක් හිටියේ’’ බැසිල්ගේ තර්කයට මහින්දට හිනා ගිය මුත් අලගියවන්නගේ මුහුණේ නම් හිනාවක් තිබුණේ නැත.
 
 මහා ගත්කතුවර මාටින් වික‍්‍රමසිංහ ශූරීන්ගේ ඥාති දියණියක ද මෙම උත්සවයට සහභාගී වන්නට පැමිණ සිටි අතර මහින්ද දුටු ඇය එතැනට පැමිණියාය. ඒ සමඟම එහි සිටි අමරවීර සහ අලගියවන්න දෙදෙනා දුටු ඇය ඔවුනට බැණ වදින්න ගත්තේ මහින්දලා තක්කු මුක්කු කරවමිනි. 
 
 ‘‘සර් ඉන්න තැනම මෙයාලව අල්ල ගන්න ලැබුණ එක හොඳයි. බලන්න සර් අර අපේ මාටින් වික‍්‍රමසිංහ මහත්තයාගේ ගම්පෙරළිය පොතේ නම කොපි කරලා මේ ආණ්ඩුව නටන නාඩගම. මේක මහා අපහාසයක්. මේ ඇමැතිවරු නිදහස් පක්ෂයේ අය වෙලත් මේවට උඩ ගෙඩි දි දී ඉන්නේ. නැහැනේ ලැජ්ජාවක් ගෑවිලාවත් තියෙනවා නම්’’ ඇගේ බැණ වැදිල්ල නතර කරවා අමරවීර සහ අලගියවන්න දෙදෙනා බේරා ගැනීමට මැදිහත් වන්නට සිදුවූයේ මහින්දට සහ බැසිල්ටය. 
 
 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවත් විශේෂ කටයුත්තක් නිසා මංගල උත්සවයේ නිල රාජකාරි කිහිපයකින් අනතුරුව පිටව ගියේ…. මම නැතිවට රාජපක්ෂලා ගණනාවක්ම ඉන්නේ…. යැයි විහිළුවට මෙන් කියමිනි.
 
 අනතුරුව බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, චමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් කතාබහ කරමින් සිටි මේසයට තවත් අමුත්තෙකු එන ලකුණු පහල විය… ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ එතැන විශේෂ ආසනයක් සකස් කළේ කිසිවෙකුටත් නොදැනෙන පරිදිය…
 
 කවුද බං මෙතැනට එන්න හදන්නේ… මහ මිනිහවත් ද දන්නෙ නෑ…. ආවොත් නම් මම යනවා යන්න…. කියමින් බන්දුල, රෝහිත, වෙල්ගම ඇතුළු මන්ත‍්‍රීවරු කිහිප දෙනා අතර සිටි එක් අයෙක් විහිළු කළේය…
 
 ඒ අතර ගෝඨාභය රාජපක්ෂ පැමිණ එම විශේෂ අසුනේ අසුන් ගත්තේය… මෙයානේ මේ ආවේ… අපි හිතුවේ වෙන කෙනෙක් එයි කියලයි…. කියමින් එතන සිටි අය ගෝඨා පිළිගත්හ. 
 
 මන්ත‍්‍රීවරු ඉන්පසුව ගෝඨාභය රාජපක්ෂ සමඟ කතා බහ කළේ රට මුහුණදී තිබෙන වර්තමාන ඛේදවාචකය පිළිබඳව….
 
 ආර්ථිකය නම් ඉවරයි…. ගන්නම දෙයක් නැහැ… හැම පැත්තෙන් ම කඩා වැටෙන එක විතරයි දකින්න ලැබෙන්නේ…
 
 ගෝඨාභය ඇසූ ප‍්‍රශ්නයකට උත්තර දෙමින් බන්දුල ගුණවර්ධන කීවේය…
 
 සංචාරක කර්මාන්තයත් දැන් එන්න එන්නම පිරිහෙනවා නේද… ගෝඨාභය ඇසීය.
 
 සංචාරක ව්‍යාපාරය විතරක් නෙවෙයි… අද පුංචිම පුංචි ව්‍යාපාරිකයෝ පවා කඩ වහලා දාලා වෙන වෙන රස්සාවල් හොයන්න පටන් අරන්…. පුංචි මනුස්සයාට මේ තරම් පහර ගහපු ආණ්ඩුවක් මම නම් දැක්කේ නෑ.. බන්දුල කීවේය.
 
 කොළඹ තියෙන ලොකු හෝටල් කිහිපයක් හැරුනහම අද පිට පළාත්වල සංචාරක හෝටල් මේන්ටේන් කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා ඉවරයි…. ලංකාවේ ලොකුම මූල්‍ය සමාගමක් මේ මොරගල්ලේ කාමර 500ක සංචාරක හෝටලයක් හදාගෙන ගියා…අද ඒක මග නතර කරල දාල… මම දන්න හෝටලයක් තිබ්බා, පිලිපීන ගෑනු කෙනෙක් අපේ සිංහල මනුස්සයෙක්ට බැඳගෙන පටන් ගත්ත. ත‍්‍රිකුණාමලයේ මුහුද අයිනේ අක්කර දෙකක ඉඩමක ෂැලේස් දහයක් තිබුණා…ඒ ගෑනි ඉතාම අඩුම මුදලකට ඒක විකුණලා දාලා යන්න ගියා… ඔන්න ඔහොමයි හෝටල් වැහෙන් නේ… කුමාර වෙල්ගම විස්තර කළේය..
 
 කාලයක් මූදුකරේ ඉඩම් වල්ට හොඳ වටිනාකමක් ලැබුනා… දැන් ඉඩම් කුණුකොල්ලෙට බැහැලා.. ගන්න කෙනෙක් ඇත්තෙ නැහැ… රෝහිත කීවේය.
 
 බැසිල් රාජපක්ෂද කතාබහ කරමින් ටික වේලාවක් සිට ආපසු ගියේ නෙළුම් මාවත කාර්‍යාලයේ සංවිධාන කටයුතු කිහිපයක් බලා ගැනීම සඳහාය.. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ධම්මික ආටිගල සමග ද බොහෝ වේලක්වත් කතාබහ කරමින් සිටින අයුරු දක්නට ලැබෙනට ලැබුණි.
 
 මංගල සාදය සඳහා පැමිණ සිටියේ බහුතරයක් විපක්ෂයේ දේශපාලනඥයෝ බැවින් හොද හොද විවේචන රැසක් සිදු වූ තැන්ක් ලෙස එම මගුල් ගෙදර කැපී පෙනෙන්නට විය… 
 
 රතන හිමි රංගනයට
 දේශපාලන විග‍්‍රහයක්…
 
 කටාන ආසනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බල මණ්ඩලය රැස් වූයේ නාමල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙනි. ප‍්‍රසන්න රණතුංග, ප‍්‍රසන්න රණවීර ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. එහිදී මන්ත‍්‍රීවරුන්ගේ අවධානය යොමු කෙරුණේ රතන හිමියන්ගේ දේශපාලන පිම්ම සම්බන්ධයෙනි. 
 
 රතන හාමුරුවෝ ආණ්ඩුවට විරුද්ධයි කියලා බොරුවට කෑගැහුවට ආණ්ඩුවට එරෙහි අභියෝගයක් ආවම අගමැතිගේ පැත්තේ හිටගන්නවා. මිනිස්සු දැන් උන්හන්සේ ගැන හොඳට දන්නවාට් නාමල් පැවසීය.
 
 කාන්තාවෝ පිරිසක් ඉන්න රැස්වීමකට ගිහින් ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වුණා කියලා වැඩක් නැහැ. එහෙම නම් ජනාධිපතිට ලියුමක් යවලා නීත්‍යානුකූලව අස්වෙන්න ඕනේ. මොකද උපදේශකකම දුන්නේ ජනාධිපති මිසක් කාන්තාවෝ ටිකක් නෙමේනේට් ප‍්‍රසන්න පෙන්වා දුන්නේය.
 
 රතන හාමුදරුවෝ දන්නවා දැන් දේශපාලනය යන අත. ඒක තමයි ඔය කරණම ගැහුවේ. මේ ආණ්ඩුවේ ඉඳලා පලක් නැහැ කියලා හොඳටම තේරිලා තියෙන්නේට් රණවීර පැවසීය.
 
 ගම් මට්ටමෙන් පොහොට්ටුවට ලොකු උනන්දුවක් තියෙනවා. මිනිස්සු දැන් අපිව හොයාගෙන ඇවිත් අහන්නේ කවද්ද ආණ්ඩුව පෙරළන්නේ කියලයිට් හරිශ්චන්ද්‍ර කීවේය.
 
 අපිටත් වඩා මේ ආණ්ඩුව එළවීමේ උනන්දුව තියෙන්නේ මිනිස්සුන්ට. කොහොමටත් ජනාධිපතිවරයාගේ කාලේ ලබන අවුරුද්දෙන් ඉවරයි. ඊට පස්සේ ආයෙත් එක්සත් ජාතික පක්ෂයටවත් නිදහස් පක්ෂයටවත් මේ රටේ ආණ්ඩු පිහිටුවන්න ලැබෙන්නේ නැහැට් ප‍්‍රසන්න කීවේය.
 
 ජ වි පෙ 20 ගෙනඒම ගැන
 ඒකාබද්ධය දැඩි විවේචනයක…
 
 ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි වැඩකටයුතු කර සාකච්ඡා කරන්නට විශේෂ පක්ෂ නායක රැස්වීමක් මෙම සතියේ පවත්වන්නට කල්තියා සැලසුම් කර තිබිණි. ඒ සඳහා 16 දෙනාගේ කණ්ඩායමේ නායකයින් තුන්දෙනෙකුටද ආරාධනය කර තිබීම විශේෂ සිද්ධියක් විය. පක්ෂ නායක රැස්වීම් 
 
 පසුගිය අඟහරුවාදා මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් විජේරාම මාවතේ නිල නිවසේදී පැවැත්විණි. ඊට සහභාගි වන්නට පැමිණ සිටි 16 දෙනාගේ කණ්ඩායමේ එස්. බී. දිසානායක ජෝන් සෙනවිරත්න, සුසිල් පේ‍්‍රමජයන්ත යන තුන්දෙනා සාදරයෙන් පිළිගනු ලැබුවේද මහින්ද රාජපක්ෂ විසිනි…. 
 
 ‘‘අද අපේ පක්ෂ නායක රැස්වීමට නිදහස් පක්ෂයෙන් එකතු වෙලා ඉන්න තුන්දෙනා සාදරයෙන් පිළිගන්නවා’’ මහින්ද පැවසීය. ඒ සමඟම ඒකාබද්ධයේ පක්ෂ නායකයෝ අත්පොළොසන් දෙමින් ඔවුන් පිළිගත්හ. 
 
 මෙම පක්ෂ නායක රැස්වීමේදී අනාගත දේශපාලන වැඩපිළිවෙල සකස් වන ආකාරය පිළිබඳ තීන්දු තීරණ කීපයක්ද ගනු ලැබූහ. මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළේ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා උද්ඝෝෂණ පෙළගස්වන ආකාරය පිළිබඳවය.. ජනතාව පෙළමින් ජනතාවට අපහසුතා දිගින් දිගටම සලසමින් ආණ්ඩුව බදු අය කරමින් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ දමමින් ගෙන යන වැරදි ආර්ථික පිළිවෙත දැඩි විවේචනයට ලක් කරමින් පක්ෂ නායකයෝ මෙහිදී අදහස් දැක් වූහ.
 
 පාර්ලිමේන්තුවේදී මේ ගැන සටන් කරල වැඩක් නැහැ… අපි මේ සටන පාරට ගේන්නයි ඕන… පාරට විතරක් නෙවෙයි… කම්කරුවෝ වැඩකරන වැඩපළට, රාජ්‍ය ආයතනවලට, අධ්‍යාපන ආයතනවලට, අපි මේ සටන අරගෙන යන්ඩ ඕන…. විවිධ සටන් පෙරමුණු වලින් එකපාර සටනක් ආණ්ඩුවට විරුද්ධව ගෙනිච්චොත් තමයි ආණ්ඩුවට දන්වන්න පුළුවන්….. පක්ෂනායකයෝ යෝජනා කළහ.
 
 ඒ අනුව ගාමිණී ලොකුගේ, සුමිත් විජේසිංහ ඇතුළු කිහිප දෙනෙකුට වගකීමක් පැවරුණේ ආයතන මට්ටමින් වැඩ කරන ජනතාව හමුවී මෙම ගැටලූව සාකච්ඡා කරමින් සටන් පෙරමුණක් බිහි කරන්නට ය.
 
 අනතුරුව ඊටත් වඩා වැදගත් තවත් කාරණයක් පිළිබඳව මෙම පිරිස් සාකච්ඡා කරනු ලැබූහ.
 
 ‘‘අපි මහින්ද මහත්තයා එක්ක එකතු වෙලා ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට ලැහැස්තියි. ආණ්ඩුව පෙරළීමේ කටයුත්ත සඳහා අපි 16 දෙනාගේ උපරිම සහයෝගය ලබාදෙනවා’’ සුසිල් පැවසීය. 
 
 ‘‘ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරපු 20 වැනි සංශෝධනයේ උඩින් පෙනෙන්නට තියෙන දේ නෙමෙයි යටින් තියෙන්නේ. මේක ජනතා විමුක්ති පෙරමුණ හරහා එක්සත් ජාතික පක්ෂයේ වුමනාව ඉටු කරගන්න හදන වැඩක්’’ දිනේෂ් පෙන්වා දුන්නේය.
 
 ‘‘අපි මේ උත්සාහයට සම්පූර්ණයෙන්ම විරුද්ධ විය යුතුයි. 20 වැනි සංශෝධනය හරහා එක්සත් ජාතික පක්ෂයේ අරමුණු ඉටුකර ගන්න දෙන්න බැහැ’’ මහින්දානන්ද පැවසීය. 
 
 ‘‘එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාදායක සභාවත් හෑල්ලූවට ලක් කරලා තමන්ගේ හෙංචයියෝ දාලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හොර පාරෙන් සම්මත කරගන්න යනවා. මමයි ප‍්‍රසන්නයි මේකට දැඩි ලෙස විරෝධය පළ කළා’’ දිනේෂ් කීවේය. 
 
 ‘‘මේක වෙන්න ඉඩ තියන්න බැහැ’’ ගම්මන්පිල පැවසීය. 
 
 ඉන් පසුව මාතෘකාව වූයේ බෙදුම්වාදී බලවේග විසින් ගෙනෙන්නට උත්සාහ කරන සූක්ෂම පෙඩරල් ව්‍යවස්ථාවයි. උදය ගම්මන්පිල මෙම ෆෙඩරල් ව්‍යවස්ථාවේ ඇති භයානක බව පිළිබඳව සභාවේ පැහැදිලි කිරීමක් කරනු ලැබීය….ඉන් පසු පැවැති සාකච්ඡාවේදී මෙසේ මන්ත‍්‍රීවරු අදහස් දක්වනු ලැබූහ.
 
 ‘‘මෙම ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පත් කූට ලේඛනයක් කියලා ඔප්පු කරන්න පුළුවන් සාධකයක් තියෙනවා…. දහ දෙනකුගෙන් යුතු තේරීම් කමිටුවේ හයදෙනෙක් අත්සන් කරලා තමයි මෙම කෙටුම්පත ඉදිරිපත් කරල තියෙන්නෙ… හැබැයි එම කමිටුවේ ලේකම්වරිය කියනවා මෙම අත්සන් කරපු අයගෙන් කීප දෙනෙක් දැන් මාස 6 ක් පමණ වනතුරු ලංකාවට ඇවිල්ලාවත් නෑ කියලා…. 
 
 එහෙම නම් කොහොමද ඒ අයගේ අත්සන් මෙම ලේඛනයට ආවේ… අපට සැකයක් තියෙනවා එම අයගේ අත්සන් හොරට ගහලා තමයි මෙම කෙටුම්පත් අදාළ කමිටුවට ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා…. එහෙම නම් ඒක කූට ලේඛනයක්…. කූට ලේඛනයක් ලෙස ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර තිබීම පිළිබඳව අවශ්‍ය නීතිමය පියවර ගන්න අපට සිද්ධ වෙනවා….. 
 
 ජයම්පති වික‍්‍රමරත්න, සුරේන් ප‍්‍රනාන්දු හා සුමන්තිරන් තමයි මේ ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන එන්න මුල්වෙලා තියෙන්නෙ…. 
 
 ඒ සම්බන්ධයෙන් මතුවන නීතිමය ගැටලූ සලකා බලා ඉදිරියේදී පියවර ගන්නට ද මෙහිදී පක්ෂ නායකයෝ තීරණයක් ගනු ලැබූහ…
 
 ‘‘මත්තල ගිහින් ආවට පස්සේ අපි නිමල් සිරිපාල ඇමැතිවරයා හමුවෙන්න ගියා. එතැන දී නිමල් කිව්වේ පනත වෙනස් කරලා හරි අපි මේක විකුණනවා කියලායි’’ කතාව මත්තල විකිණීම දෙසට යොමු කළේ කෙහෙළියය. 
 
 ‘‘මම එතනදී නිමල් ඇමැතිතුමාගෙන් ඇහුවා ඔබතුමා නිදහස් පක්ෂයේ ද එහෙමත් නැත්නම් එක්සත් ජාතික පක්ෂයේද කියලත්’’ මහින්දානන්ද පැවසීය. 
 
 ‘‘එතුමා ඉතින් කොයි පැත්තටවත් නැහැනේ’’ කවුදෝ කී කතාවට සියලූදෙනාට සිනහ ගියේය. 
 
 මත්තල ඉන්දියාවට විකුණා දමන බව ආණ්ඩුව කීවත් ඉන්දියාව ප‍්‍රකාශ කර ඇත්තේ මත්තල ගැනීමට ඉන්දියානු රජයේ සම්බන්ධයක් නැති බවත් එය හුදෙක් ඉන්දියානු සමාගමක ගනුදෙනුවක් පමණක් බවත්ය. ඒ අනුව එක් මන්ත‍්‍රීවරයෙක් පෙන්වා දුන්නේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවය. ඊට මහින්දගේ අනුමැතිය ලැබුණි. 
 
 එසේම ආණ්ඩුව මැතිවරණවලට බියෙන් පළාත් සභා මැතිවරණය කල්දැමීමේ උත්සාහයක නිරත වන බවත් ඊට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට පොදුජන පෙරමුණ සූදානම් බවත් ජී. එල් පැවසීය. එතැන දී බැසිල් පෙන්වා දුන්නේ අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම මෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා මුණගැසීම ද වැදගත් බවය.
 
 සුවපති ඇමැති රාජිතට
 කාලෝ දුන් පණිවුඩය…
 
poli3‘‘පසුගිය සතියේ අමාත්‍ය රාජිත සේනාරත්න ට අලූත් නමක් පටබැඳුණු බව සමාජ වෙබ් අඩවි ඔස්සේ බොහෝ දෙනෙක් දැනගත්හ. ඒ නම ‘‘සුවපති” රාජිත සේනාරත්නයි.
 
 රාජිත ඇමැතිවරයාට සුවපති යනුවෙන් අලූතින් විශේෂණ නාමයක් එකතු වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරයට පසුගියදා ඔහු පත්වීමෙන් අනතුරු ව ඒ නිමිත්තෙන් උපහාර පුදන්නට සංවිධානය කර තිබූ එක්තරා උත්සවයක් නිසා ය. එම උත්සවයේ දී රාජිත සේනාරත්න ඇමැතිවරයා ව නම්කර තිබුණේ සුවපති කියාය.’’
 
 ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු රජයේ මැති ඇමැතිවරුන්ද සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉහළ උගතුන්ද රටේ සිටින ප‍්‍රභූවරුන්ද විශාල පිරිසක් කොළඹ නෙළුම් පොකුණ රඟහල ට පැමිණ සිටි මෙම උත්සවයේ දී මහාචාර්ය කාලෝ ෆොන්සේකා විශේෂ සමරු දේශනයක් කරමින් අපූරු කතා කිහිපයක් ද කීවේය. ඔහු පෙන්වා දුන්නේ එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක පළමු සුවපති ලෙස සිට පසුව රටේ රාජ්‍ය නායකයා බවට පත්වූ බවය. ඉන්පසුව ලංකාවේ 25 වෙනි සුවපති වූ මෛත‍්‍රීපාල සිරිසේන ද නොසිතූ විරූ අයුරින් රටේ රාජ්‍ය නායකයා බවට පත් වූ අයුරු ඔහු මතක් කළේය. 
 
 මෙය වර්තමාන සුවපතිටද ලොකු පණිවිඩයක් ලබා දෙන කාරණයක් බව මහාචාර්යවරයා මතක් කළේය. කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමාගේ කතාවෙන් පසුව තවත් මහාචාර්යවරු කීපදෙනෙක්ද දේශන පවත්වනු ලැබූහ. එම දේශනා අතර ජනාධිපතිවරයා ප‍්‍රමුඛ මුළු ඇමැති මණ්ඩලයෙන් විශාල පිරිසක් නිද්‍රාවට පත් කරන ලද දේශනයක් ද තිබිණි. උත්සව වල නිදා ගන්නට සමත් ඇමැතිවරයකුට මෙම අවස්ථාවේදී සමහර සමාජ වෙබ් අඩවි මාධ්‍යවේදීන් ‘‘නිදිපති” ලෙස නාමයක් ලබා දුන්නේ ද මෙම කතාව අතරතුර නිදා ගැනීම හේතුවෙනි. ඒ ආකාරයටම අමාත්‍යවරු ගණනාවකටම මෙහිදී අලූත් අලූත් නම් ලබා දී තිබීම විශේෂත්වයක් විය.
 
 අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ එම උත්සවයේ දී අදහස් දැක්වීමක් නොකර ම පිටව ගියේ ගාල්ල ප‍්‍රදේශයේ පැවැත්වෙන උත්සවයකට කල්තියා සහභාගි වීමට අවශ්‍යව තිබූ නිසාය. ජනාධිපතිවරයා හමුවන්නට ද එදින විශේෂ ඉරාන දූත පිරිසක් පැමිණ සිටින බැවින් ජනාධිපතිවරයාගේ කතාව ද ඉස්සරහට ගැනීමට උත්සවයේ සංවිධායකයින්ට සිදුව තිබිණි.
 
 සන්ධානයේ ප‍්‍රබලයාට
 තානාපති ඔවදනක්…
 
 ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයකුට පසුගිය සතියේ ඇමෙරිකානු තානාපතිවරයාගෙන් සාකච්ඡාවකට පැමිණෙන ලෙසට ඇරැයුමක් ලැබුණි. මෙම හමුව පැවැත්වුණේ කොළඹ තරු පන්තියේ හෝටලයකදීය. 
 
 ඇමෙරිකානු තානාපතිවරයාට අමතරව කැනඩා සහ ජර්මානු තානාපතිවරුන් ද මෙම අවස්ථාවට 
 
 සහභාගීව සිටි අතර ඉන්දියානු සහ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරු දුරකථනයෙන් අවස්ථානුකූලව සාකච්ඡාවට එක් වූහ. 
 
 එහිදී අමෙරිකානු තානාපතිවරයා ඒකාබද්ධ ප‍්‍රබලයාට කීවේ ‘‘අපි ලංකාවේ ආණ්ඩු මාරුවකට දායක වුණා. හැබැයි ඒකෙන් අපි බලාපොරොත්තු තරම් සාර්ථක වුණේ නැහැ. ඒකට විවිධ හේතු තියෙනවා. 
 
 අපි දැන් තියෙන තත්ත්වය ගැන සතුටක් නැහැ. ඒත් අපිට දැන් විකල්පයක් නැහැ. ඒ හින්දා ඔයාලට ඉඩක් ලබාදෙන්න අපි සූදානම් නැහැ. මොනවා වුණත් මේ ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාම තමයි අපට අවශ්‍ය වී ඇත්තේ’’ කියාය. 
 
 ‘‘අපි අතින් පහුගිය කාලයේ සිද්ධ වෙච්ච අඩුපාඩු අපි දැන් නිවැරැදි කරගෙන තියෙනවා. ආණ්ඩුව අපිට කරපු චෝදනා එකක්වත් ඔප්පු වෙලා නැහැ. අපි ස්වයං විවේචනයක නිරත වෙලා ගමනක් ආරම්භ කරලා තියෙනවා. ජනතාවට දැන් වැටහිලා තියෙනවා අපිට කරපු චෝදනා බොරු බව’’ ඒකාබද්ධයේ ප‍්‍රබලයා පැවසීය.
 
 ‘‘අපිට ඔයාලව විශ්වාස නැහැ. ඔයාලගේ ප‍්‍රතිපත්ති තවම වෙනස් වෙලා නැහැ කියලයි අපි හිතන්නේ. අපි මොනවා වුණත් පළාත් සභා මැතිවරණය තියන්න ආණ්ඩුවට අවසර දෙනවා. දිගින් දිගටම මැතිවරණ කල් දාන එක ආණ්ඩුවට හොඳ නැහැ.
 
 එහෙම වුණාම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැහැ කියලා මතයක් ජනතාව අතර ඇති වෙනවා. අපේ සමීක්ෂණවලට අනුව නම් දිනන්නේ ඔයාලා. ආණ්ඩුවක් කරගෙන යන්න ලැබෙන එකක් නැහැ’’ තානාපතිවරයා පැවසීය. 
 
 ‘‘එහෙම කරන්නේ කොහොමද? අද ජනතාව ඉන්නේ අපි එක්ක. මේ රටේ මිනිස්සු දැන් ආයෙත් ඉල්ලන්නේ මහින්ද ව. ඒ නිසා ඒක කරන්න බැහැ’’ ප‍්‍රබලයා කීවේය. 
 
 ‘‘අපි ඒ ගැන දන්න නිසයි කියන්නේ. ලෝකෙ හුඟක් අත්දැකීම් මේ ගැන තියනවා. දන්නවා ඇතිනේ’’ තානාපතිවරයා අවධාරණය කළේය.
 
 ‘‘අපි විශ්වාසය තියන්නේ ජනතාව ගැනයි. මොන තරම් වියහියදම් කළත් ආයෙත් වතාවක් මේ රටේ ජනතාව රවට්ටන්න පුළුවන්කමක් නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. අපි මැතිවරණයෙන් පස්සේ බලමුකෝ’’ කියමින් ඒකාබද්ධයේ ප‍්‍රබලයා සාකච්ඡාව නිමා කළේය. 
 
 අනතුරුව මෙම ප‍්‍රබලයා කෙළින්ම ගියේ මහින්ද මුණගැසීමටය. ඔහු මහින්ද හමු වී තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් තමන්ට කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. ඒ අනුව ඉදිරි වැඩපිළිවෙළක් සැකසීම ගැන දෙදෙනා සාකච්ඡා කළහ.
 
 එම සාකච්ඡාවට අනුව මහින්දගේ යුගයේ විදෙස් රටවල රාජ්‍ය තාන්ත‍්‍රික මෙහෙවරේ යෙදී සිටි පිරිස ගෙන්වා සාකච්ඡා කිරීමට තීන්දු කෙරිණි. මෙම හමුව මහින්දගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණේ හිටපු තානාපතිවරයකුට අයත් අවන්හලකදීය. 
 
 එහිදී බටහිර තානාපතිවරුන් ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයාට කියා ඇති දේ ගැන කරුණු පැහැදිලි කළ මහින්ද ‘‘අපි මේ තර්ජනයට බිය විය යුතු නැහැ. නමුත් මේකට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගත යුතුයි. ඒ ගැන සාකච්ඡා කරන්නයි අපි ඔබතුමාලා කැඳෙව්වේ’’ මහින්ද පැවසීය. 
 
 ඉදිරි ආණ්ඩුවක් ස්ථාපිත කළ පසු විදෙස් සේවාව සකස්විය යුතු අන්දම ගැන මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. එතැන සිටි රාජ්‍ය තාන්ත‍්‍රිකයෝ තමන්ට ඇති අත්දැකීම් සමගින් අදහස් පළ කළහ. ඔවුන් කීවේ ඇතැම් රටවලට ගිය වැරැදි තොරතුරු, කේලාම් වැනි දේ නිසා මෙවැනි තත්ත්වයක් ඇති වූ බවය. ඒ අනුව එක් එක් කලාප නියෝජනය කළ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සමඟ එක්ව සාකච්ඡා කිරීම ජී. එල් ට පැවරුණි. 
 
 ජනපති අණින්
 පිබිදෙන පොළොන්නරුව
 
 අමාත්‍ය රාජිතගේ සුවපති උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන එදා රාත‍්‍රියේ තිබූ විශේෂ සාකච්ඡාවකට සහභාගි වී ඉන් පසුව කෙළින්ම ගියේ පොළොන්නරුවටය. ජනාධිපතිවරයා සේ ම සුවපති රාජිත සේනාරත්න ද පොළොන්නරුව බලා පිටත්ව ගියේ පොළොන්නරුවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් සූදානම් කර තිබූ උත්සව ගණනාවකටම සහභාගි වන්නට බලාගෙනය… 
 
 ජනාධිපති මෛත‍්‍රිපාල පිරිස් සිරිසේනගේ දියණියට ද දැන් පොළොන්නරුවේ විශාල හෝටලයක් තිබේ. තිදස් අරණ නමින් හැඳින්වෙන මෙම හෝටලය මේ දිනවල සම්පූර්ණයෙන්ම වෙන්කර තිබුණේ පොළොන්නරුවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් සංවිධානය වූ උත්සව 180 වෙනුවෙන් කොළඹින් පැමිණෙන මැති ඇමැතිවරුන්ට හා සංවිධායක භවතුන්ට විවේක ගන්නට ය. 
 
 පළමුවෙන්ම මෙම හෝටලයට ගොඩවූ අමාත්‍යවරයා විවේක ගැනීමට පැමිණෙන මැති ඇමැතිවරුන්ට හොඳින් සංග‍්‍රහ කරන්නට තම ලේකම්වරුන්ට උපදෙස් දෙයි ඉන්පසුව තම නිවසට ගියේ මද වේලාවක් විවේක ගෙන නැවත එහි පැමිණෙන පොරොන්දුව ඇතිවය…
 
 පසුදින මැදිරිගිරියේ හා හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ අලූතෙන් ඉඳිවූ ගොඩනැඟිලි කීපයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව සඳහා සහභාගි වන ජනාධිපතිවරයා ඇමැතිවරුන් ද පිරිවරා ගෙන යනු ලැබුවේය. මැදිරිගිරියේ බස් නැවතුම්පළ මෙන්ම හිඟුරක්ගොඩ රෝහලේ අලූතෙන් ඉදිකළ ශල්‍ය වෛද්‍ය වාට්ටුව ද එසේ ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් විවෘත කරනු ලැබුවේය… 
 
 මේ ආකාරයේ විවෘත කිරීම් ගණනාවකට පසු වෙහෙස මහන්සි වූ ජනාධිපතිවරයා හා ඇමැතිවරුන් රාත‍්‍රියේ තිදස් අරණ හෝටලයට එක්රොක් වූහ. මැති ඇමැතිවරුන් වෙනුවෙන් එහි සියලූ ආහාර පාන සහිත විශේෂ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් සූදානම් කර තිබිණි…
 
 සියලූ රස සමගින් සූදානම් කර තිබූ මෙම සුවබර රාත‍්‍රියට සංගීත රසය ලබා දෙන්නට කැලිප්සෝ සංගීත කණ්ඩායමක් ද පැමිණ සිටියහ. එහෙත් ජනාධිපතිවරයා එනතෙක්ම ඒවා වාදනය කිරීම අරඹා තිබුණේ නැත…
 
 ඕවා නිකන් තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ දැන් ගහනවා…. ජනාධිපතිවරයා කී පසුව කැලිප්සෝ කණ්ඩායම් සංගීතය බෙදා හදා දෙන්නට පටන් ගත්හ…
 
 වැඩිපුර ? බෝ වන්නට මත්තෙන් ජනාධිපතිවරයා බුද්ධික පතිරණ, වීරකුමාර දිසානායක හා ලසන්ත අලගියවන්න සමග රාත‍්‍රී ආහාරය ඉතා සරල ලෙස ලබා ගෙන එතනින් සමුගෙන පිටත්ව ගියේ මැදිරිගිරිය ප‍්‍රදේශයේ තිබෙන සංගීත සංදර්ශනයට සහභාගි වීමට තිබෙන බව පවසමිනි..
 
 මැදිරිගිරි සංගීතයේ
 පූජිත් අකරතැබ්බයක
 
 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන එතනට එන විට පොලිස්පති පූජිත් ජයසුන්දර පැමිණ මැදිරිගිරිය සංගීත සංදර්ශනයේ සියලූ වැඩකටයුතු සංවිධානය කරමින් බලා සිටියේ සංගීත සංදර්ශනය පටන් ගන්නා තුරුය.
 
 සංගීත සංදර්ශනය ආරම්භ වූ පසුව ජනාධිපතිවරයා සමග එකට වාඩිවී සිටි පූජිත් ජයසුන්දර ඔහුගෙන් එක්තරා ඉල්ලීමක් කළේ මෙසේය…
 
 සර්ගේ පළාතට ඇවිල්ලා මේ වගේ තැනක සින්දුවක් කියන එක නොකරම බැරි වැඩක්… සර්ගේ අමනාපයක් නැත්නම් මම හොඳ සින්දු දෙකක් තුනක් කියන්නම්… පූජිත් එසේ කියන විට ජනාධිපති මෛත‍්‍රී ඔහු දෙස විමසුම් බැල්මකින් තියුණු බැල්මක් හෙළා මෙසේ කීවේය…
 
 ඔය ඉතින් තමුසෙ ඉල්ලන් කන්න වගේ හදන්නෙ…. තමුසෙ දන්නෙ නෑ මෙහේ මිනිස්සුන්ගෙ හැටි… පොලිස්කාරයොත් එක්ක මෙහෙ මිනිස්සු පුදුම තරහක් තියෙන්නේ… බහිනකම්ම හූ කියන්න පටන් ගනීවි… මෛත‍්‍රී කීවේය…
 
 පොඩි හූවක් කිව්වට කමක් නෑ සර්… කොල්ලන්ගෙ වැඩනේ… මම එහෙනම් එක සින්දුවක් කියලා ඉන්නම්….
 
 ඕන එකක් කර ගන්නවා…. ඉතින් ඉල්ලගෙන කන්න හරි දක්ෂයනේ…. ඉල්ලගෙන කාලා පොළොන්නරුවේ කොල්ලොන්ගෙ හැටි දැනගෙන එනවකො එහෙනම්….
 
 පොලිස්පති පූජිත් වේදිකාවට ගොඩවන ආකාරය දුටු ජනතාව නොනවත්වාම හූ කියන්නට පටන් ගත්තේය. හරි හරි නියමයි…. මේවා තමයි අපිටත් ඕනි…. කියන්න බලන්න තව ටිකක් හයියෙන් ලොකු හූ වක්…. කියමින් පූජිත තව තවත් සමාජශීලී වන්නට පටන් ගත්තේ ය… හූව දෙගුණ තෙගුණ විය… හූ හඬ කාගෙනම ඔහු තම ගීතය කියන්නට උත්සාහ කළත් එක වචනයක් වත් නෑසෙන පරිදි ඇසුනු හඬ වඩාත් බලවත් විය…
 
 හූ හඬ ඔස්සේ මහත් අපහසුවෙන් ගීතය කියා ඉවර කළ පොලිස්පති පූජිත් යළි කෙලින්ම ආවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ළඟටය. …
 
 මම තමුන්ට යන්න කලින්ම කිව්වානේ මෙහෙ මිනිස්සුන්ගෙ හැටි… කියන දේ අහන්්නෙ නැති වුණාම ඔහොම තමයි දැන් ඉතිං ඕවා ගණන් ගන්න එපා…. කියමින් ජනාධිපතිවරයා අවවාද කරද්දී පූජිත කිසිවක් නොකියා සිනාසෙමින් බිම බලා ගත්තේය….
 
 පෙරදා රාත‍්‍රියේ සිදුවූවා සේම ඊට පසුදා දිනයේ ද පොලිස්පති පූජිත ජයසුන්දරට ජනාධිපතිවරයා සමග ගොස් ලොකු අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදු වූයේ ය…. 
 
 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පසුදා පාන්දරම පොළොන්නරුව ක‍්‍රීඩා සංකීර්ණය විවෘත කරන්නට ගියේය…. එහිදී මෛත‍්‍රිපාල ජනාධිපතිවරයාට පොලොන්නරුවේ ශරීර සුවතා මංතීරුව විවෘත කරන්නට ද නියමිත විය… එම උත්සවයට ද ජනාධිපතිවරයා සමග පොලිස්පති පූජිත් ජයසුන්දර පැමිණ සිටියේය….
 
 ජනපති මෛත‍්‍රීගෙන්
 පොලිස්තිට අභියෝග…
 
 poli4මංතීරුව ඔස්සේ ඇවිද යමින් ඇවිදින මංතීරු විවෘත කළ ජනාධිපතිවරයා ඊළඟට පැමිණියේ ශාරීරික ව්‍යායාම් කරන ස්ථානයට ය….
 
 අපේ පොලිස්පතිතුමා ඇෙඟ් පතේ හයිය තියෙන මනුස්සයානේ…. අපි එයාට දෙමු මෙතන විවෘත කරන අවස්ථාව…. කියමින් ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට ශරීර සුවතා ව්‍යායාම් කරන ස්ථානය පෙන්වා සිටියේය…
 
 මේවා ඉතින් අපිට සිම්පල් වැඩ කියමින්… පොලිස්පතිවරයා එම ස්ථානයේ ඩිප්ස් ගහන්න පටන් ගත්තේ ය….
 
 පොලිස්පතිතුමා ඔහොම බැහැ… ඩිප්ස් 100 ක් ගහලයි නැගිටින්න ඕන… ජනාධිපතිවරයා අභියෝගයක් භාර දුන්නේය….
 
 අම්මෝ…. සීයක්. පොලිස්පතිවරයාට කියැවිණි… 
 
 සීයක් තමයි…. රාළහාමි කෙනෙක් දහයයි. අයි පී කෙනෙක් පහළවයි. ඒ එස් පී කෙනෙක් විස්සයි. ඔය විදියට ඞී අයි ජී කෙනෙක් හැත්තෑ පහයි. අයි ජී කෙනෙක් සීයයි….. ජනාධිපතිවරයා අනුපිළිවෙළ අනුව කියාගෙන කියාගෙන ගියේය…. 
 
 පොලිස්පතිවරයා අපහසුවෙන් ඩිප්ස් ගහනා අතරවාරයේ එතැන සිටි පොලිසියේ රාළහාමිලාට කතා කරමින් ජනාධිපතිවරයා කිව්වේ…. ගණන් කරනවා ගණන් කරනවා. කියාය.
 
 මොහොතකින් සිනාමුසු මුහුණෙන් පූජිත ළඟට ගිය ජනාධිපතිවරයා හා හා දැන් ඇති…. නැගිටින්න… නැගිටින්න… නැගිටින්න… මේ විදියට තව ටික වෙලාවක් ගියොත් මට ඉතින් අලූතෙන් පොලිස්පති කෙනෙක් හොයාගන්න තමයි වෙන්නේ කියමින් පොලිස්පතිවරයාව නැගිට්ටවා ගත්තේය.
 
 ජනපතිගේ වෙස්ගෙන
 අගමැති ගාලූ ගිහින්…
 
පසුගිය ඉරිදා මඩකලපුවේ දෙමළ ජනතාව වෙසෙන ආරියම්පති වෙත පැමිණි අගමැතිවරයා නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කළ අතර අනතුරුව බෝගොල්ලාගම සංවිධානය කොට තිබූ සිවිල් සංවිධාන හමුවීමකට ද එක් විය. සහජීවනය ගොඩනඟන අයුරු එහිදී සාකච්ඡා විය. ආණ්ඩුකාර නිල නිවසේදී තේ පානය කළ අගමැතිවරයා මුස්ලිම්වරු වෙසෙන එරාවුර් වෙත ගොස් එහි නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කළේය. අති විශාල ජනකායක් එක්වූ ජන හමුවක්ද ඇමතු අගමැතිවරයා එහිදී විශේෂ ප‍්‍රකාශයක් කළේය.
 
 ”නැෙඟනහිර සංචාරක ව්‍යාපාරය ශීඝ‍්‍රයෙන් දියුණු කිරීමට සෘජු ගුවන් සේවයක් කඩිනමින් අරඹනවා. එවිට සංචාරකයන්ට හා ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේත් කටයුතු කඩිනම් වේවි’’ අගමැතිවරයා කීවේ දැවැන්ත අත්පොලසන් මැදය. ආණ්ඩුකාර බෝගොල්ලාගම, රාවුෆ් හකීම්, වජිර අබේවර්ධන හා ටී.එන්.ඒ මන්ත‍්‍රීවරු ද මෙම උත්සවවලට එක් වූ අතර ඔවුන් එදින දිවා ආහාරය ගත්තේ නැෙඟනහිර හිටපු මහ ඇමැතිගේ එරාවූර් නිවසේදීය. ඉරිදා සවස අගමැතිවරයා යළි කොළඹ බලා පිටත් විය. 
 
 අඟහරුවාදා, අගමැතිවරයා ගාල්ලට ගියේ තරු පහේ නවීනතම හෝටලයක් විවෘත කිරීමටය. හෙලිකොප්ටරයෙන් බහින විට මද වැසි ඇද හැළිණ.
 
 ”කෝට් එක අඳිනවට වඩා ෂර්ට් එකට උඩින් ජැකට් එක අඳිමු. ස්මාර්ට් කැෂුවල්නේ එන්න කියල තියෙන්නෙත්’’ කී අගමැතිවරයා තැඹිලි පැහැයට හුරු ඉන්දියානු ක‍්‍රමයේ ජැකට් එකක් ඇඳ උත්සවයට එක් විය.
 
 ”අපි හිතුවා ජනපති මෛත‍්‍රිපාල ඡුන්දය ඉල්ලන්න එනවා කියලා’’ වජිර අබේවර්ධන මෙන්ම ගයන්ත කරුණාතිලක කී විට අගමැතිවරයා ද සිනාසුණහ. 
 
 බ‍්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැඳුරට ආවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉහළ දූත පිරිසක් හමුවීමටය. අනතුරුව පැමිණ සිටි මැති ඇමැතිවරු සමගද අගමැතිවරයා කාලීන දේශපාලනය ගැන අදහස් හුවමාරු කර ගත්හ.
 
 ”අද නේද ඒකාබද්ධයේ ආණ්ඩුව පෙරළන මහින්ද අගමැති කරන ලිප්ටන් උද්ඝෝෂණය. පළාත් පාලන ඡුන්දයේදීත් කිව්වෙ මහින්ද අගමැති කරනවා කියලනේ.’’ ලක්ෂ්මන් කිරිඇල්ල සුපුරුදු ලෙස කතාවට මුල පිරුවේ උස් හඬින් සිනාසෙමිනි. 
 
 ”ඒකාබද්ධයේ දැන් ඇතුළෙත් උද්ඝෝෂණ එළියෙත් උද්ඝෝෂණ. ආණ්ඩුව ඕනෑම උද්ඝෝෂණයකට ආරක්ෂාව දෙනවා. එයාල වගේ අපි වෙඩි තියල මිනිස්සු මරන්නෙ අතපය කඩන්නේ නෑ.’’ අගමැතිවරයා කීවේද සිනා මැදය. 
 
 ”අගමැතිකම ගන්න බව කියන මහින්ද මහත්තය උදේ හවස විපක්ෂ නායක කමයි ඉල්ලන්නේ.’’ චමින්ද විජේසිරි කීවේද සිනාමැදය. 
 
 ”පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට කාටවත් අභියෝග කරගන්න බෑ. අගමැති පත්වෙන්න වැඩිම මන්ත‍්‍රීවරු ඉන්න පක්ෂයෙන්. විපක්ෂ නායක පත්වෙන්නේ ඊළඟට වැඩිම පක්ෂයෙන්. මේ පාර්ලිමේන්තුවේ දෙවැනි වැඩිම මන්ත‍්‍රීවරු ඉන්න පක්ෂය ආණ්ඩුවේ ඉන්න නිසා තුන්වැනිව වැඩිම මන්ත‍්‍රීවරු ඉන්න පක්ෂයටයි විපක්ෂනායකකම යන්නේ. මේක නොතේරෙන බබාලයි අද ඒකාබද්ධයේ ඉන්නේ.’’ ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග‍්‍රහය අගමැතිවරයා ද අනුමත කළහ. ‘‘මෙයාල ඒක තේරුම් ගන්න බැරිව බොරුවට කථානායකතුමාට බනිනවා.’’ අගමැතිවරයා කීය. 
 
 ”ඇඹිලිපිටියෙ පන්සලකට මහින්ද මහත්තයා ආවේ නෑ කියල චමල් ආවම මිනිස්සු හූ තියලා. මහින්ද ටෙලිෆෝන් එකෙන් සංවිධායකට බැනලා අපි කියන විදියට උඹල වැඩ කරපල්ලා කියල තර්ජන කරපු හැටි ටී.වී. වල ගියා. මේ සිද්ධිය ඒකාබද්දේ වෙනම ටීම් එකක් සැලසුම් කරල කරපු බවයි ආරංචි’’ නවීන් දිසානායක කීය.
 
 ”විශේෂ මහාධිකරණ එයාල ආපු දවසට අහෝසි කරනවා කියල බැසිල් කිව්වා.’’ දයා ගමගේ කීය.
 
 ”නීතිය දන්නේ නැති අයයි ඕක කියන්නෙ. උඩතලවින්න, විද්‍යා දැරියගෙ නඩු ඇහුවෙත් විශේෂ මහාධිකරණවල තමයි.’’ විජයදාස රාජපක්ෂ කීය. ”නවක වධයට එරෙහිව වසර 10 ක් හිරේ යන ඇපත් නැති නීති ගේන එක අනාගත සිසු පරපුරට කරන විශාල සේවයක්. මේ ආණ්ඩුවටයි විජයදාස ඇමැතිතුමාටයි රටම ස්තුති කරනවා.’’ චමින්ද විජේසිරි කීය. 
 
 ”ප‍්‍රාදේශීය සභාවක මන්ත‍්‍රීකමින් දිනන්න බැරි පෙරටුගාමින් පටු අරමුණු මත අධ්‍යාපනය විනාශ කරන්න සිසුන් යොදා ගන්නවා. කැම්පස් එන්න කලින්ම ඒ ගෙවල්වලට බැහැල සිසුන්ට සමාජ වෛරය ඇති කරනවා. ඊළඟට නවක වධය හරහා සිසුන් බිළි ගන්නවා. මහපොළෙන් ජීවත් වෙන සිසුන්ගේ උද්ඝෝෂණවලට දස ලක්ෂ ගණන් මුදල් යොදවන්නේ කවුද කියල අපි දන්නවා. ඒ ශිෂ්‍ය නායකයෝ ලක්ෂ 300 වාහන වලින් ඇවිත් සිසුන් අව්වේ පයින් යවලා කඳුළු ගෑස්, ජල ප‍්‍රහාරවලට ලක් කරලා නායකයෝ ටික සල්ලි මළු අරන් තරු හෝටලේකින් අඩියකුත් ගහලා පයින් ආපු අර සිසුන්ට හිනා වෙවී ගෙදර යනවා. අද ඇත්ත තත්ත්වය එයයි. මේකට දැඩි පියවර අරන් සිසුන් බේරාගන්න ඕනෑ.’’ විජයදාස රාජපක්ෂ කළ විග‍්‍රහය අගමැතිවරයා ඇතුළු පිරිස අසා සිටියේ නළල රැලි ගන්වමිනි.
 
 මහරගම අපේක්ෂා රෝහලට නුදුරින් පිහිටි ”ඉන්දිරා පිළිකා භාරයේ’’ මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාත්මක වැඩසටහන් අතර 0112 – 363211 අංක දරණ උපකාරක ඇමතුම් සේවය මෙන්ම රෝගී තත්ත්වය නිසා කේශ කලාපය අහිමි වූ කාන්තාවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 02 කට ආසන්න වටිනාකමින් යුතුව ස්වාභාවික හිසකෙසින් සැකසූ කෙස් කළඹක් පිරිනැමීමද එහි සේවාවන් අතර වඩාත් ප‍්‍රචලිත වන අතර දැනටමත් විශාල පිරිසක් එම සේවාවන් ලබා ඇත. ඉන්දිරා පිළිකා භාරය ගෙවීගිය සතියේ කථානායකවරයාගේ නිවසේ දී 
 
 රැස්වී ප‍්‍රගතිය විමසා බලමින් සිය සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කළ අතර, එහිදී අනාවරණය වූ රෝගීන් පිළිබඳ ඇතැම් තොරතුරු අතිශයින් සංවේදීය. සියල්ල සමාලෝචනය කළ කථානායකවරයා සාකච්ඡාව නිමා කළේ බෙහෙවින් තෘප්තිමත් මුහුණකිනි. හෙතෙම දේශපාලන කටයුතුවලට වඩා ඉමහත් මානසික සුවයක් මෙම සේවාවන් තුළින් ලබන බව පෙනිණි. මේ අතර, පාර්ලිමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදීන්ට විශේෂ වැඩමුළු කිහිපයකින් සමන්විත අධ්‍යාපන චාරිකාවක් සඳහා චීනයට යෑමට අවස්ථාවක් උදාකරලීමට පසුගිය සතියේ කථානායකවරයා පියවර ගත්තේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධව ඔවුන්ගෙන් සිදු වන සේවයට වටිනාකමක් ලබා දෙමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress