ගෝඨාගේ නඩුව අහන්න විශේෂ මහාධිකරණයට බලයක් නෑ – – ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
Posted on September 11th, 2018

කේ.එස්. උදය කුමාර් උපුටාගැණීම  මව්බිම

ඉකුත් රජය සමයේ මැදමුලන ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33ක රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව විභාග කිරීම සඳහා අධිකරණයට බලයක් නොමැති බවට විරෝධතාවක් මතු කරන බව විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (10දා) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ සඳහන් කළේය.
එම නඩුව ඊයේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම දැනුම්දීම කළේය.

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලීමක් කරමින් ඇප පනතේ 07 වැනි වගන්තිය ප්‍රකාරව තම සේවාදායකයා ඕනෑම අවස්ථාවක අධිකරණය හමුවේ පෙනී සිටීමේ කොන්දේසිය මත මුදාහරින්නැයි ඉල්ලීම් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විත්තිකරුවන්ට මේ වන විට චෝදනා පත්‍ර භාරදී ඇති හෙයින් ඔවුන් සුදුසු කොන්දේසි සහිත ඇපයක් මත මුදාහරින්නැයි ඉල්ලා සිටියේය.

මේ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්‍ෂයක් මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 10ක් බැගින් වූ පෞද්ගලික ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරුණු අතර, විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසටද නියම කළේය.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවට නියම කළ විනිසුරුවරු අධිකරණයේ අවසර ලබාගැනීමෙන් පසුව විත්තිකරුවන්ට විදේශගතවීමට හැකියාව පවතින බවද සඳහන් කළහ.
මෙම නඩුවට අදාළ ලේඛන සියල්ල විත්ති පාර්ශ්වය වෙත ලබාදීමට පියවර ගන්නැයි නීතිපතිවරයාට නියම කළ විනිසුරුවරු නඩුව නැවත ඔක්තෝබර් මස 09 වැනිදා දක්වා කල් තැබූහ. නඩුවට අදාළ ලේඛන විත්ති පාර්ශ්වය වෙත සම්පූර්ණයෙන් ලැබී තිබේද? යන්න ගැන එදින පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නඩුවට අදාළව විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිබඳ කරුණු විමසන බවද විනිසුරුවරු සිය නියෝගයේ සඳහන් කළහ.

මෙම නඩුව ඊයේ පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන නීතිපතිවරයා වෙනුවෙන් කිසිදු රජයේ නීතිඥවරයෙක් අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.
එම අවස්ථාවේදී විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ද සිල්වා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් පැමිණිල්ල වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී නොසිටින හෙයින් තම සේවාදායකයා ඇතුළු විත්තිකරුවන් මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙය අපරාධ නඩු කටයුත්තක් බැවින් එවැනි නියෝගයක් කළ නොහැකි බවයි.

විනාඩි කිහිපයකින් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ රජයේ නීතිඥ උදාර කරුණාතිලක යන නීතිඥවරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙහිදී සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා රජයේ නීතිඥවරුන්ට දන්වා සිටියේ මෙම අධිකරණයේ නඩු විමසීම් කටයුතු පෙරවරු 9.30ට ආරම්භ කරන හෙයින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි.

මෙම විත්තිකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවට රජයේ පාර්ශ්වය දැනුවත් කිරීමෙන් අනතුරුව ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා සඳහන් කර සිටියේ මෙම විත්තිකරුවන්ට ඇප දීම සඳහා නීතිමය වශයෙන් කිසිදු බාධාවක් නොමැති බවයි.

ඒ අනුව ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළ විනිසුරුවරු මෙම විත්තිකරුවන් රජයේ ඉහළ නිලතල දැරූ පුද්ගලයන් හෙයින් ඇප කොන්දේසි පිළිපදිමින් නඩු විභාගවලට පෙනී සිටිනු ඇතැයි අධිකරණය අපේක්‍ෂා කරන බවද සඳහන් කළහ.

2013 වසරේ සැප්තැම්බර් මස 03 වැනිදා සහ 2015 වසරේ පෙබරවාරි මස 02 වැනිදා දක්වා කාල සීමාව තුළ මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියනාරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එහි සාමාන්‍යාධිකාරි භද්‍රා උදුලාවතී කමලදාස, එම සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් වන සුදම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, මහින්ද සාලිය, ශ්‍රී මති මල්ලිකා කුමාරි සේනාධීර යන අය නම් කර තිබේ. මෙම නඩුවේ විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් සුගත් කල්දේරා, සම්පත් මෙන්ඩිස්. මංජුල සුගතපාල, රුවන්ත කුරේ, හරින් ද මෙල් යන නීතිඥවරුන් සමඟ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා හා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා යන මහත්වරු පෙනී සිටිති.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා සමඟ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටිති.

One Response to “ගෝඨාගේ නඩුව අහන්න විශේෂ මහාධිකරණයට බලයක් නෑ – – ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා”

  1. Dilrook Says:

    A very weak defence. If the special court does not have jurisdiction why on earth did he appeal to it to release his client on the basis of delay on the part of the prosecution? Does that mean the allegations cannot be countered? Gotabaya must find a better lawyer to defend himself.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress