අද බෞද්ධ පාසල්වල බුදු දහම විනාශයට පත්කරන නාට්‍ය පෙන්වනවා- මහින්ද රාජපක්ෂ
Posted on September 19th, 2018

රාජාංගණය – කේ.එම්. චන්දික  උපුටාගැණීම  මව්බිම

‘ජනතාවට වැඩ නොකර ඉඳලා එෆ්සීඅයිඩී කියලා නීති විරෝධී ආයතනයක් හදලා අලුත් උසාවි හඳුන්වලා දීලා විනිසුරුවරු තිදෙනකුත් පත්කරලා එක දිගට නඩු අහන්න පටන් අරන්. ඒ උසාවියේ මුලින්ම නඩු අහන්න පටන් ගත්තෙත් ගෝඨාභය රාජපක්ෂගෙයි ගාමිණී සෙනරත්ගෙයි.’ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ රාජාංගණයේ දුටුගැමුණු බෞද්ධ මධ්‍යස්ථානයේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද පැවැසීය. ‘බුද්ධාගමට අපහාස කරලා නාට්‍ය හදන්න රජයේම සල්ලි වියදම් කරනවා. අද බෞද්ධ පාසල්වල බුදුදහම විනාශයට ගෙනියන නාට්‍ය පෙන්වනවා. මේකට රජය වගකිව යුතුයි. පාලකයෝ මේවා නොදැක්කා වගේ ඉන්නවා. අද ආගම වෙනුවෙන් පෙනී සිටින අපේ හාමුදුරුවරු සිරගත කරනවා. උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ ගුවන් යානයේ යනකොට ටිකක් දුර ගෙනිහිල්ලා බෑගය බිමට දාලා හාමුදුරුවොත් බස්සලා යැව්වා. අද පාලකයෝ බලයෙන් මත්වෙලා ආගම දහම ගැන හැඟීම් නැතිව තමයි මේවා කරන්නේ. මේ පාලකයන්ට මේ රට, ජාතිය, ආගම ගැන හැඟීමක් නැහැ. ඔවුන්ට ඕනි බටහිර සංස්කෘතියයි.

නායකයෝ විහිළු සපයනකොට ගෝලයොත් විහිළු සපයන තත්ත්වයකට මේ රට පත්වෙලා. පොලිසිය ගත්තාම ඒක ඉතාම පැහැදිලියි. හැබැයි ඒක පොලිසියේ පහළ නිලධාරීන්ට අදාළ වෙන්නේ නැහැ. අද උතුරේ නීතිය හෑල්ලුවකට ලක්වෙලා. පොලිසියේ රාලහාමි කෙනෙක් වාහනයක් නතර කරන්න කීවාම නතර කරන්නේ නැහැ. හැබැයි එහෙට කරන්න බැරි නීතිය දකුණේ අපිට කරනවා. අවුරුදු තුනක් ජනතාව පිට බදු බර පටවලා, බඩු මිල වැඩි කරලා. මාත් එක්ක වැඩ කරපු සියලු දෙනාට පහර දෙමින් ජනමාධ්‍ය මඟින් උදේ ඉඳලා හැන්දෑවෙන කල් වෛරය පතුරවමින් බොරු ප්‍රචාර පතුරවනවා. ඇතැම් නාළිකාවල එක පැත්තකින් බණ කියමින් අනෙක් පැත්තෙන් වෛරය පතුරනවා.

පසුගිය කාලේ ජනබලය කියලා ජනතාව ලක්ෂ ගණනින් ආවා. මේකට ලොකුවට කලබල වෙලා. සමහරුන් කියන්නේ නම් මේක සුළු ගණනක් කියලා. ඇතැම් දේශපාලකයො ජනතාව කරපු හැඟීම්බර ජනබලයට අපහාස කරනවා. හැබැයි එදා ජනතාව පෙන්නුවේ තමන්ගේ තියෙන පීඩනය. ජනතාව එදා කිව්වේ මේ රජයට දැන් ඇති දැන් පලයන් කියලා. මේ පන්සලට රැස්වෙලා ඉන්න අයත් කියන්නේ ඒකම කියලා මම හිතනවා.
අද කර්මාන්තශාලා වහලා. රැකියාවලින් ‍ෙදාට්ට දාලා. මහ බැංකු වාර්තාවලට අනුව පසුගිය වර්ෂ කිහිපයේ පමණක් ලක්ෂ හතරක් රැකියාවලින් අයින් කරලා. අද ජීවත් වෙන්න විදිහක් නැතිව ජනතාව අතරමංවෙලා.
බුදු දහමට නිගා නොකරන යුගයක් ආරම්භ කරලා ළමයින්ට බුදුදහමින් පිරි යහපත් අධ්‍යාපනයක් ලබාදීලා පිරිපුන් දරු පරපුරක් රටට බිහිකරලා ජනතාවට නව යුගයක් කරා ගෙන යෑම මගේ අපේක්ෂාවයි. ඒ යුගය අෑතක නෙවෙයි කියන එකත් මම සතුටින් මතක් කරනවා.

මේ අවස්ථාවට විහාරාධිපති මහමාන්කඩවල ධම්මසිරි හිමියන් ඇතුළු හිමිවරුන්, පොදුජන පෙරමුණේ කලාවැව සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, එස්.සී. මුතුකුමාරණ සහ උතුරුමැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress