හඬ පටයකින් රටම හොල්ලපු කවුද මේ නාමල්
Posted on September 22nd, 2018

උදේනි සමන්කුමාර උපුටාගැණීම  මව්බිම

දින දහයකට පෙර මහනුවර මාධ්‍ය හමුවකදී එළියට පැමිණි ජනපති ඝාතන කුමන්ත්‍රණ කතාවෙන් මාධ්‍ය ලෝකය බෝම්බයක් පිපුරුණාක් මෙන් හෙල්ලුම්කෑවේය. ලෝකයේ රාජ්‍ය නායකයන් ඝාතන ප්‍රයත්න අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. නොබෝදා වෙනිසියුලාවේ ජනාධිපති ඝාතනයට ඩේ‍රා්න බෝම්බයක් එවූ ප්‍රවෘත්තියක් වාර්තා විය.

ඉකුත් 13 වැනිදා මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී වාර්තා වූයේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයකු කරන ලද කුමන්ත්‍රණයකි. එය රටේ පුරවැසියන් විස්මයට පත්කළ ප්‍රවෘත්තියක් වූයේය. ජනතාව එයින් තිගැස්සීමට පත්වුවත් ආණ්ඩුව මෙම ඝාතන කුමන්ත්‍රණය ඊට උචිත නිසි බරින් ගත් බවක් නොපෙනිණි. දින කිහිපයක් එය අගනුවර මාධ්‍ය හමුවල රස කරමින් බුදින මස් කටුවක් පමණක්ම විය. මේ වනවිට පරීක්ෂණ ආරම්භ වී ඇති අතර සැකයට භාජන වූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා නිවාඩු යවා ඇත.

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව හෙළි කරමින් අලුතෙන්ම චරිතයක් එළියට ආවේය. නිකම්ම හුදු ප්‍රවෘත්තියක් වශයෙන් නොව හඬපට හා සනාථ කළ හැකි සාක්ෂිද සහිතව මේ තොරතුරු රටට ඉදිරිපත් කළේ නාමල් කුමාර නමැති කෙසඟ තරුණයෙකි.

කවුද මේ නාමල් කුමාර. කුමක්ද ඔහුගේ පසුබිම. ඔහු මෙතෙක් කල් සිටියේ කොහේද?

දැන් නාමල් කුමාර ගැන දහසකුත් එකක් ප්‍රශ්න ජනතාව අතර මතුව තිබේ. ජනතාව අතර තිබෙන බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සොයා අපි නාමල් කුමාර මහතා හමුවුණෙමු.

කවුද මේ නාමල් කුමාර කියන්නෙ? කොහේ ඉඳලද ඔබ මේ එක පාරටම මතුවුණේ..?

මම මෙවැනි ජාතික වශයෙන් ඉතා වැදගත් තොරතුරක් හෙළිදරව් කළ ප්‍රථම අවස්ථාව මෙයයි. නමුත් මම මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් ආදියට රට පුරා සම්බන්ධ වී බොහෝ කටයුතු සිදුකර තිබෙනවා. මා දන්නා හඳුනන උදවිය මේ රටේ සෑම ප්‍රදේශයකම සිටිනවා.

නාමල්ගේ උපන් ගම කොහේද…?

මම ඉපදුණේ අම්පාරේ මහඔය. මගේ අම්මල තාත්තල පාරම්පරික ගොවීන් කිව්වොත් වඩා නිවැරැදියි.
පවුලේ වෙන කවුද ඉන්නෙ

මට වැඩිමහල් සහෝදරයො හතර දෙනෙක්. එයින් මගේ නිවුන් සහෝදරයා ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී වෙඩි වැදීමෙන් මියගියා. සහෝදරයන් හතර දෙනාම යුද හමුදාවේ සේවය කරපු, කරන අය. වැඩිමල් අයියා තවමත් හමුදා සේවයේ සිටිනවා. අනෙක් සහෝදරයන්ගෙන් එක් අයෙක් යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වුණා. මට බාල සහෝදරයන් දෙදෙනා හමුදාවෙ සේවය කළා. දැන් හමුදා සේවයෙන් ඉවත්ව පෞද්ගලික අංශයේ රැකියාවල නිරතව සිටිනවා.

නාමල් ඉගෙන ගත්තේ කොහේද..?

අම්පාර මහඔය අධ්‍යාපන කොට්ඨාසයේ බොරපොළ මහා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා මා අධ්‍යාපනය ලැබුවා.

එතැනින් එහාට ඉගෙනුමක් ලැබුවේ නැද්ද..?

නැහැ. මට වයස අවුරුදු 18 වෙද්දි මම රැකියාවක් සොයාගෙන කොළඹට ආවා.

රැකියාවක් ලැබුණද..? මොන අවුරුද්දෙදිද ඔබ කොළඹට පැමිණියේ..?

මම 2004දී තමා කොළඹට ආවෙ. එතැන් සිට හැමදාමත් පෞද්ගලික අංශයේ වෙළෙඳ ආයතනවල රැකියාව කළා.

දැන් ඔබ පදිංචිව සිටින්නේ කොහෙද..? ඔබ විවාහකද..?

මා රැකියාව කරද්දී හඳුනාගත් ගැහැනු ළමයකු සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කර ගත්තා. ඇගේ ගම වරකාපොළ, ඒ කියන්නෙ අලව්වෙ පාලමෙන් මෙගොඩ වාරිගොඩ හන්දියෙන් නෙළුම්දෙණිය පාරේ කෙටි දුරක් ගියාම වමට හැරී ගමන් කරන විට කරඳ කියන පිටිසර ගම හමුවෙනවා. 2014දී අප දෙදෙනා විවාහ වෙලා බිරියගේ ගම වූ කරඳ පදිංචියට ආවා. දැනටත් මා පදිංචිව ඉන්නේ ඒ ගමේ.

ඔබේ ජීවන වෘත්තිය පොලිස් උපාය දූතයකු ලෙස කටයුතු කිරීමද..?

නැහැ. මම පෞද්ගලික ආයතනයක රැකියාව කරමින් සමාජ කටයුතුවල නියැළෙන තරුණයෙක් කීම වඩාත් නිවැරැදියි.

දූෂණයට විරුද්ධ වෙන්න, ඒ වගේම ජාති හිතෛෂී යම් යම් කටයුතුවල යෙදෙන්න ඔබ යොමුවුණේ කොහොමද? පටන් ගත්තේ කොතැනින්ද..?

මා මේ ගමේ පදිංචියට පැමිණියාට පසු කරඳ ගමේ පැවැති ස්වභාවය මාව මේ තත්ත්වයට පත්වෙන්නට තදින් බලපෑවා. ගමේ හිටියේ පවුල් පනස් ගණනයි. එයින් පවුල් 8ක්ම කසිප්පු පෙරනවා. එක පුද්ගලයෙක් හෙරොයින් ජාවාරමේ යෙදෙනවා. ඇත්තම කියනවා නම් ගම අරාජිකයි. මම උත්සාහ කළා ගම මේවයින් මුදා ගන්න. එතකොට මගෙන් තොරතුරු සොයාගෙන පොලිස් නිලධාරීන් ගමට එන්න පටන් ගත්තා. එතකොට මිනිස්සු හිතට ගත්තා ඔවුන්ගෙ ජීවන මාර්ගවලට බාධා කරන්නේ නාමල් තමයි කියලා. ඇඟිල්ල දිගුවුණේ මා දිහාට.

ඔබ මොකද කළේ..?

මම කල්පනා කළා නිකම්ම චෝදනාවට ලක්වෙනවාට වඩා යමක් කරන එක හොඳයි කියලා. ඒ අනුව මම දූෂණයන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න තීරණයක් ගත්තා. ඒ පටන් ගැන්ම තමයි මේ දක්වා ඉදිරියට ආවේ.

එහෙම වැඩ කරන්න කිසියම් සංවිධානයක් ගොඩනඟා ගත්තද..?

මුලින් මම තනිවමයි වැඩ කළේ. මම පරෙස්සම් වුණා. හැමවිටම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගත්තා. පොලිසිය, ග්‍රාම සේවා නිලධාරි, දිවි නැඟුම නිලධාරීන් හැමෝම එකතු කර ගත්තා. කලාප අධ්‍යාපන කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හැම ආයතනයක්ම සම්බන්ධ කර ගත්තා. ඒ අය හරහා ගමට දෙන්න පුළුවන් සේවාව ගමට දෙන්නයි වැඩ කළේ.

දූෂණ ක්‍රියා ගැන පොලිසියට ඔත්තු සපයන්නෙක් බවට ඔබ පත්වුණේ කොහොමද..?

පසුකාලීනව මම රට පුරාම මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන්වලට සහභාගි වෙද්දී බොහෝ දෙනා දූෂණ වැඩ ගැන මට තොරතුරු දෙන්න ගත්තා.

ඇයි මිනිස්සු ඔබට තොරතුරු දෙන්නේ. ඔබ රජයේ නිලධාරියෙක් නෙවෙයි. ඒවාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඔබට නීතිමය බලයක් නැහැනෙ..?

මම රජයේ නිලධාරියෙක් නොවුණත් ඕනෑම අපරාධයක් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක විය හැකි සම්බන්ධතා ජාලයක් මට තිබෙන බව ඒ අය දැක්කා.

මොනවාද ඔබේ මැදිහත්වීමෙන් වළක්වනු ලැබූ අපරාධ..?

මත්ද්‍රව්‍ය ජාවාරම්, පරිසර විනාශයන්, පස් කැපීම, අනවසර වැලි ජාවාරම්, බන්ධනාගාර තුළ දුරකථන පාවිච්චි කොට සිදුකරන අපරාධ, මේවා මට දැන්නුවාම මම අදාළ ආයතන සමඟ ක්‍රියාත්මක වෙලා ඒවා වළක්වන්න පියවර අරන් තියෙනවා. ඒවා සාමාන්‍ය මිනිසුන්ට නවත්වා ගන්න බැරි දේවල්.

කවද ඉඳලාද ඔය විදියට වැඩ කරන්න පටන් ගත්තේ..?

මම විවාහ වුණේ 2014 අප්‍රේල් 4. එදා ඉඳලා මේ වැඩ කරගෙන යනවා.

නාමල්ට දරුවන් සිටිනවාද..?

නැහැ.

ඔය දූෂණ විරෝධී බළකාය හැදුවේ කවද්ද?

දැනට අවුරුද්දකට පෙර

කවුද ඒකට සම්බන්ධ උදවිය?

නිලධාරීන් හත් දෙනෙක් ඉන්නවා. විවිධ පළාත්වල සාමාජිකයො 2000ක් ඉන්නවා.

ඒ අයට වැටුප් හෝ දීමනා ගෙවනවද..?

නැහැ. හැමදෙනාම ස්වේච්ඡාවෙන් වැඩ කරන අය. ඒ අය තමන්ට ලැබෙන ප්‍රබල දූෂණ තොරතුරු සාක්ෂි සහිතව සොයාගෙන බළකායට දැනුම් දෙනවා. ඔවුන් තම තමන්ගේ කටයුතු කරන අතරෙයි මේක කරන්නේ.

නාමල් මේ වැඩේට පූර්ණකාලීනව යොමු වෙලාද ඉන්නේ?

නැහැ. මම වෙළෙඳ ආයතනයක සේවය කරන අතරෙ තමා මේවා කරන්නෙ.

බිරිය – ඥාතීන් ඔබේ කටයුතුවලට දක්වන ප්‍රතිචාරය කොහොමද?

ඒ අය සතුටු නැහැ. ඒ ගොල්ලො කියන්නෙ මේක ජීවිතේට ලොකු අනතුරක්. හරි ආරක්ෂාවක් නැති බව තමා හැමවෙලාවෙම කියන්නෙ.

දැන් ඔබ එකවරම රටම දන්න චරිතයක් වුණා. ගමේ අය මොකද කියන්නෙ?

දැන් මම මේකට යොමු වූ හැටි සත්‍ය කතාව මාධ්‍යට කියන්න වුණානෙ. ඒක නිසා ගමේ කසිප්පු පෙරන මනුස්සයා පවා මාත් එක්ක අමනාප වුණා.

ඒගොල්ලෝ බලනවා දැන් අපි ගැනත් පත්තරවල ගියා කියලා. මට ඒකට කරන්න දෙයක් නැහැ. මම වචනයක්වත් මාධ්‍යයට බොරු කියලා නැහැ.

ඔබේ හෙළිදරව්ව බොහොම බරපතළ කාරණයක්. රටේ ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණයක්?

ඔව්, ජනාධිපති ඝාතන තැත, හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා, එස්.ටී.එෆ්. ප්‍රධානියා, කොළඹ අපරාධ අංශයේ එකේ ප්‍රධානියා ප්‍රසන්න අල්විස් තනතුරුවලින් පහකරන කුමන්ත්‍රණයක් මම හෙළිදරව් කළේ. මේකෙදි මාධ්‍යට හරි විමර්ශන කණ්ඩායමකට හරි මැදින් ගිහින් කියන්න දෙයක් නෑ. සත්‍යය මුල සිට අගට කියන එක තමයි මට කරන්න තියෙන එකම දේ. මම ඒක කළා.

නාමල් ඔහොම කිව්වාට ආණ්ඩුව මේ සිදුවීම ඊට උචිත බරින් ගත්තෙ නැහැ. මොකක්ද ඒකට හේතුව?

මහත්තයෝ මටත් ඒ ප්‍රශ්නය තියෙනවා. මේකට යටින් නොපෙනෙන හස්තයක් ක්‍රියාත්මක වෙනවා කියන සැකය මුල සිටම මටත් ඇතිවුණා.

ඔබ හිතන ආකාරයට කවුද ඒ නොපෙනෙන හස්තය?

මට ඒක නම් වශයෙන් කියන්න බැහැ. මම ඒක දන්නෙ නැහැ. දන්නවා නම් මම ඒ සම්බන්ධවත් කතා කරනවා. මේ වෙලාවේ මමත් බලා ඉන්නෙ ඇයි මේ විදියට මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා.

තවමත් මගෙ හිතේ විශ්වාසයක් තියෙනව සාධාරණ දෙයක් සිද්ධ වෙයි කියලා. මම එතෙක් බලා ඉන්නවා.

ජනතාව කතා වෙනවා මේ තරම් භයානක කුමන්ත්‍රණයක් සිදුවුණා නම් ඒ සම්බන්ධව සැකය එල්ල වූ නියෝජ්‍ය පොලිස්පති තවමත් පොලිසියේ රාජකාරි කරන්නේ කොහොමද කියා..?

ඔබතුමා හිතන්න, ඔබතුමාගේ නායකත්වයෙන් පවතින ආයතනයක කටයුතු සම්බන්ධව විමර්ශනය කරන්න වෙනත් ආයතනයකින් එන බව දැනගත්තොත් ඔබතුමාට පැයක කාලයකින් මොනතරම් දේ සඟවන්න වෙනස් කරන්න පුළුවන්ද? මම මේවා හෙළි කරලා පැය 72ක් යද්දිත් ඩී.අයි.ජී. එතැන අණදෙන නිලධාරියා හැටියට වැඩ කළා.

නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ගත්තෙ නැහැ කියන චෝදනාවද ඔබ කරන්නේ?

අත්අඩංගුවට ගන්න කතාව වෙනම එකක්. මම කියන්නෙ එක මොහොතින් එයාව එතැනින් ඉවත් කරගන්න ඕනනෙ. සාක්ෂි මකන්න බැරි වෙන්න ක්‍රියාත්මක වෙන්න තිබුණා. නමුත් එවැනි පියවරක් පොලිස්පතිතුමා ගත්තේ බොහොම ප්‍රමාද වෙලා.

ඔබ හිතනවාද මේක යට ගහන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා කියලා?

මම දීලා තියෙනවා සාක්ෂි ටිකක්. ඒවා මොන විදියකටවත් යට ගහන්න බැහැ. ඒකට හේතුව මම සත්‍ය දේ දීලා තියෙන්නෙ. බලාගෙන ඉන්නවා. ඒගොල්ලො මොන උත්සාහය දැරුවත් මේක යට ගහන්න ලේසි වෙන්නෙ නැහැ.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතියක් ඔබ දකිනවාද?

ප්‍රගතියක් තිබෙනවා. මගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගත්තා. මම දීලා තිබෙන තොරතුරු මත විමර්ශන දැනට සිදුකෙරෙන බව මම දැක්කා. ප්‍රමාදය මත ලොකු දෙයක් වෙනස් වෙන්න ඉඩ තිබුණු බව මම කියනවා.

ඔබ ප්‍රංශයේදී පුෂ්පරාජ් කියන නැඟෙනහිර පළාතේ දේශපාලන නායකයකු මුණගැසුණු බව මාධ්‍යයක සඳහන් වුණා. මොකක්ද ඒ කතාව..?

ඒක වැරැදියි. මට පුෂ්පරාජ් හඳුන්වා දුන්නේ ප්‍රංශයේ සිටින තුෂාර පීරිස් කියන පුද්ගලයා. මම පුෂ්පරාජ් හමුවෙන්න අක්කරෙයිපත්තුවට ගියෙත් ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් දෙන්නෙක් එක්ක. ඒවා බොහොම විනිවිද පෙනෙන ආකාරයට සිද්ධ වෙච්ච දේවල්. පොලිස්පතිතුමා නාලක ද සිල්වා මට හඳුන්වා දුන්නාට පස්සෙ මට එන සියලු තොරතුරු මම එයාට දුන්නා. අක්කරෙයිපත්තු ගියෙත් නාලක ද සිල්වා මහත්තයාගෙ උපදෙස් පිටයි.

නැඟෙනහිරදී ජනාධිපතිතුමාට ගහලා පුෂ්පරාජ්ව දාමු කියලා නාලක ද සිල්වා මහත්තයා මට යෝජනා කළේ ඒ අනුවයි. මධුෂ් ලව්වා මේ වැඩේ කරලා පුෂ්පරාජ්ව දාලා මධුෂ්ගෙ කට්ටිය බේරමු කියලායි යෝජනා කළේ.

නාමල් ඔය ප්‍රංශයේ ඉන්න තුෂාර පීරිස් ගැන පොලිසිය හෙව්වේ නැද්ද..?

මම ඔහු සම්බන්ධව පොලිස්පතිතුමාට සියලු විස්තර දුන්නා. එයා ප්‍රංශයේ ඉඳන් ලොකු දෙයක් කරන කෙනෙක් බව කිව්වා. නැඟෙනහිර සිංහල ජනතාවට ලොකු ප්‍රශ්න තියෙනවා කිව්වා. අපි ගරිල්ලා සංවිධානයක් විදියට මුස්ලිම් අයට ගහලා අපේ ප්‍රශ්න විසඳගමු කිව්වා. ඔයාට අවශ්‍ය ආයුධ නැවකින් එවන්නම් ඔයා ධීවර බෝට්ටුවක් ලෑස්ති කරගෙන ඒවා ගන්න කිව්වා.

ඒක ජාතික ආරක්ෂාවට බලපාන බරපතළ කතාවක්නෙ. ඒ ගැනත් පොලිස්පතිතුමා දැනුවත් කළාද?

ඔව්, මම දැනුම් දුන්නා. ඒ අනුවනෙ නාලක ද සිල්වා මට සම්බන්ධ කළේ. නමුත් ඔහු තුෂාර පීරිස්ගෙ කතාව ගැන උනන්දු වෙලා විමර්ශන කළේ නැහැ. ඔහු කළේ තෙල්දෙණියෙ ගැටුම, රොහින්ග්‍යා සරණාගතයන්ගෙ ගැටුම වගේ ප්‍රශ්න පස්සෙ පැන්නීම. ඒවාට ඔහු මාව පාවිච්චි කළා. ඒවා ත්‍රස්ත විමර්ශන අංශයට අදාළ දේවලුත් නෙවෙයි.

නාමල් ඇහුවෙ නැද්ද නැඟෙනහිර සිදුවීම් ගැන පොලිස්පතිතුමා පැවරූ විමර්ශනය ගැන මොකද වෙන්නෙ කියලා..?

ඇසුවා. එතකොට නාලක ද සිල්වා කිව්වේ ඒක නොවෙයි. මේවායින් මට හයිලයිට් වෙන්න පුළුවන්. පොලිස්පති පුටුවට යන්න කවදහරි මේව තමා වැදගත් වෙන්නෙ කියලායි. මම ආපස්සට හැරිලා හිතන්න යොමුවුණේ මේවා නිසා. මේ පුද්ගලයා ජනාධිපතිව, ගෝඨාභය මහත්තයාව ඝාතනය කරන්න යෝජනා කරනවා. උසස් නිලධාරීන් පුටුවලින් ඉවත් කරන්න යෝජනා කරනවා. පුංචි පුංචි කාරණා හෙළි කරනවාට වඩා මේ භයානක කාරණේ හෙළිදරව් කරන්න මම අවසානෙ තීරණය කළා.

ඔබ මැදිහත් වූ සමස්ත සිද්ධියම තවත් එක්තරා දේශපාලන නාටකයක් බවට සමහරු චෝදනා කරනවා. ඒ ගැන ඔබ මොකද කියන්නේ..?

මම දන්න දේ බොහෝ සාක්ෂි සහිතව මම එළියට දැම්මා. මේ කාරණා අල්ලගෙන දේශපාලන පක්ෂ, විවිධ සංවිධාන, ඇතැම් පුද්ගලයෝ විවිධ මාධ්‍ය හමු පවත්වනවා. ඒක නාටකයක් විදියට සමහරු දකිනවා. මටත් ඒක නාටකයක් විදියට පේනවා. මේකෙන් තමන්ගෙ මූණු ලොකු කරගන්න කවුරුහරි හදනවා නම් ඒක අසාධාරණයි. වෙන්න ඕන මේ ගැන නිසි විමර්ශන සිදුකරන්න ආණ්ඩුවට බල කිරීම. තමන් දන්න දෙයක් තියෙනවා නම් විමර්ශන නිලධාරීන්ට දැන්වීම.

මේ සමස්ත සිදුවීම තුළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ භූමිකාව ගැන ඔබ කුමක්ද හිතන්නේ..?

පොලිස්පතිතුමා අගෝස්තු 14 වැනිදා මට ලක්ෂ 2 1/2 චෙක්පත් දෙකක් දෙනවා. දීලා කියනවා

“නාමල් හොඳයි. ඉදිරියටත් වැඩ කරගෙන යං. ඒ වගේම මේ ෆේස් බුක්වල යන දේවල් හොඳින් හෝ නරකින් ඉවත් වෙන්න ඕන” කියලා. මම හිතනවා මේ කිව්වේ නාලක ද සිල්වා මහත්තයාට විරුද්ධව යන දේවල් වෙන්න ඇති කියලා. චෙක් අරන් නාලක ද සිල්වාත් මමත් විසිටර් රූම් එකට ආවා. එතැනදී මට නාලක මහත්තයා කිව්වා නාමල් කළුගල්වල ඔළුව ගහගන්න යන්න එපා මටවත් පොලිස්පතිතුමාටවත් යමක් කරන්න ඔයාට බෑ.” කිව්වා. මම ඒ ගැන තවමත් කල්පනා කරනවා.

ඔබ මාධ්‍ය හමුවෙන් පස්සෙ පොලිස්පතිතුමාට කතා කළාද?

ඔව්. කතා කළා.

එතුමා මොකද කිව්වේ?

“නාමල් බය වෙන්න එපා. ඩී.අයි.ජී. මහත්තයා වරදක් කරලා තියෙනවා නම් මම දෙපාරක් හිතන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ ගැන සැකයක් හිතන්න එපා” කිව්වා.
නාමල් ඔබේ හෙළිදරව් කිරීමේ ප්‍රබලම අවස්ථාව තමයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් මාකඳුරේ මධුෂ් ලවා ඝාතනය කරන්නට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඔබ සමඟ සාකච්ඡා කළ බවට ඔබ කරන ප්‍රකාශය. මගේ ප්‍රශ්නය මේ කාරණය සනාථ කළ හැකි සාක්ෂි ඔබ පොලිස් කොමිසමට භාර දුන් හඬ පටවල තිබෙනවා ද?
“නැහැ”

නාලක ද සිල්වා එවැන්නක් ප්‍රකාශ කළ බව සනාථ කරන්න නිශ්චිත සාක්‍ෂි ඔබ සතුව නෑ කියන්නේ ඇයි..?

“ඒ සම්බන්ධයෙන් පටිගත කරගත් ඇමතුමක් මා සතුව නැති බව ඇත්ත. තිබුණා නම් මා විමර්ශන සඳහා ඒවා භාර දෙනවා.”

එතකොට මාධ්‍ය හමුවේදී ඔබ කරන ප්‍රකාශය මතයි ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන ආන්දෝලනයක් ඇති වී තිබෙන්නේ
“ඔව් නියෝජ්‍ය පොලිස්පති නාලක මහතා මා සමඟ කළ සාකච්ඡාව මා රටට හෙළි කළා. ඒක ජාතික ආරක්ෂාවට වැදගත් නම් ඒ ගැන විමර්ශනය කරාවි. එහෙම විමර්ශන සිදු නොවෙනවා නම් ඒත් මට කරන්න දෙයක් නැහැ.”

දැන් ඔය ප්‍රංශයේ ඉඳන් ආයුධ එවන්න කතා කරපු තුෂාර පීරිස්ගෙ ප්‍රශ්නෙ එතැනින්ම යට ගියාද?

මම දන්න සියලුම විස්තර දුන්නා. හරි විමර්ශනයක් කරනවා නම් ෆ්‍රාන්ස්වලින් මෙයා ගැන හොයා බලන්න ඕනෑනේ. මෙයා සැහැල්ලු ගුවන් යානා හදන හැටි පවා මා සමඟ කතා කරනවා. මම ඒව ඔක්කොම දැනුම් දුන්නා. තුෂාර පීරිස්ට සම්බන්ධ දේශපාලනඥයො, මහාචාර්යවරු පවා ලංකාවෙ ඉන්නවා. ඒක ලොකු කතාවක්.

නාමල් දැන් ලංකාවෙ ප්‍රසිද්ධ චරිතයක්නෙ. අම්පාරෙ අම්මලා මේ සිද්ධියෙන් පස්සෙ ඔබට කතා කළාද?

ඔව්, ඒ ගොල්ලො අහන්නෙ මේවා කරන්න ආරක්ෂාවක් තියෙනවාද කියලා. මට ඒ ගැන කියන්න දෙයක් නෑ. අමුතුවෙන් තර්ජනයකුත් නෑ. ආරක්ෂාවකුත් නෑ. පුරුදු විදියට ඉන්නවා.

මේ ඝාතන කුමන්ත්‍රණ කතාව හෙළිදරව් කිරීමෙන් ඔබ අපේක්ෂා කළේ කුමක්ද?

මෙහි සුලමුල හෙළිදරව් වී නීතිය හරියාකාර විනිවිදභාවයෙන් ක්‍රියාත්මක වේ යැයි හිතනවා. මගේ පෞද්ගලික බලාපොරොත්තු නැහැ. මේ රජය හරියටම කළොත් මම දන්නවා රජය මේ ප්‍රශ්නෙදි හරි විමර්ශනයක් කළා කියලා. මම දන්නවා හරි විමර්ශනයක් නොකළොත් යට ගැහුවොත් මම නැවත මෙවැනි හෙළිදරව් කිරීම් කරන්නේ නැහැ. මීට එහා ගිය වෙනත් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනවා.

නාමල් කුමාර කියන්නේ ඊළඟ වටයේ දේශපාලනයෙන් මතුවෙන්න හදන චරිතයක්ද?

නැහැ කොහෙත්ම නැහැ. මම දේශපාලනය කියන වචනෙටත් අකැමැති කෙනෙක්. දේශපාලන බල අධිකාරිය කියන්නෙ තමන්ගෙ වාසියට ඕනෑම පහත් වැඩක් කරන පුද්ගලයො. මම එතැනට වැටෙන්නෙ නැහැ.

උදේනි සමන්කුමාර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress