නාමල් සොයා පැමිණි ඉන්දියානුවා කවුද? ඉන්දියානුවා දැන් සීඅයිඩී භාරයේ
Posted on September 24th, 2018

සමන්තී වීරසේකර Lanka Lead News

රට යන අත කොයිබටද යන්න සිතනවාට වඩා සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් සිටීම කාටත් හොඳ බව හඟිමි. රාජ්‍ය නායකයින් ගේ ජීවිත සමග රාජ්‍ය ආරක්ෂක අංශ මේ රඟදෙන ජවනිකා දිනෙන් දින අලූත් වන්නේ, ජනතාවට හුදු ආස්වාදයක් පමණක් ගෙන දෙමින් නොවේ. එය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව ද කුකුසක් ගෙන එන්නේ, මෙහි ප‍්‍රධාන භූමිකාවක වත්මන් ආරක්ෂක අංශ ප‍්‍රධානියකු වන පොලිස්පති පූජිත ජයසුන්දර සිටින බැවිනි.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ තිස් අවුරුදු යුද බිය මුලිනුපුටා දැමීමට උරදුන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට සැලසුම් කළ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ වර්තමාන පොලිස්පති පූජිත ජයසුන්දරගේ යටහත් සේවක ශ‍්‍රී ලංකා පොලිසියේ ත‍්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වූ සමීපතම හිතවතකු ද වන නාලක ද සිල්වා පිළිබඳ තොරතුරු දිනෙන් දින අලූත් වන්නේය.

ඉකුත් සැප්තැම්බර් දොළොස් වැනිදා දිනය ඓතිහාසිකය. මෙරට රාජ්‍ය නායකයින් දෙදෙනකු ඝාතනය කිරීමට පාතාල නායකයකු වන මදුෂ් යොදාගැනීමටත්, ඔහු පිළිබඳව තතු සඟවා එම චෝදනාව නැගෙනහිර පළාතේ හිටපු පළාත් සභා මන්ත‍්‍රී පුෂ්පරාජ් වෙත පැටවීමටත් ත‍්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සැලසුම් කළ බව කියමින් ¥ෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර රටට ම ප‍්‍රකාශ කිරීම නිසාය. ඉන් රටේ ආරක්ෂාව පිළිබඳව ජනතා හදවත් කීරි ගැසී යන්නට හේතුභූත වූයේ නාලක ද සිල්වා නම් වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා නාමල් කුමාර නමැති පොලිස් විමර්ෂණ සහ ත‍්‍රස්ත විමර්ෂණ කටයුතු සඳහා තොරතුරු සපයන්නකු ලෙස ද කටයුතු කළ නාමල් කුමාර නමැත්තාට මුණ ගස්සවා මිත‍්‍රත්වයක් ඇති කිරීමේ පරම වගකීම දරා ඇත්තේ පොලිස්පති පූජිත ජයසුන්දර බව දැනගත් විටය.

මෙම සිදුවීම් මාලාව විශේෂ විමර්ෂණ ඒකකයේ පූර්ණ අධීක්ෂණය මත සොයා යෑමේ අත්පොත් තැබූයේ දහහතර වැනිදා ය. විශේෂ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණතිලක සහ පොලිස් අධිකාරි ගුණසේකර යන මහත්වරුන් නාමල් කුමාරගේ නිවසට ගොස් ප‍්‍රකාශ සටහන් ලබාගනිමින් සිටින අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව මගින් වහා දැනුම් දෙනු ලදුව සියලූ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගැනිණි. ඒ අනුව දහහතර වැනි දින මධ්‍යම රාත‍්‍රි දොළහේ සිට පසුදා අලූයම හයයි තිහ දක්වා පැය හයකට වැඩි කාලයක් නාමල් කුමාරගේ නිවසේ රැඳෙමින් ප‍්‍රශ්න කරමින් ප‍්‍රකාශ සටහන් කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීහු සැලසුමට අදාළ හඬ පට, වෙනත් ලියකියවිලි ඇතුළු සාක්ෂි ද එක්රැස් කර ගත්හ. එතැන් සිට අදටත් ඔවුහු පුළුල් විමර්ශණයක නියැළී සිටිති.

පරීක්ෂණ ආරම්භ කිරීමත් සමගම පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ගේ බළලා මල්ලෙන් එළියට පැන්නේය. ඔහු මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ සඳහා ප‍්‍රවිෂ්ට වන්නේම පූර්ව නිගමනය යටි සිතෙහි තැන්පත් කර ගනිමින් විය යුතුය. එබැවිනි මෙම සිද්ධියට අදාළ බව කියන නාලක ද සිල්වාගේ හඬ පටය ගැන සැකයක් මතුවන බවත්, නාලක ද සිල්වා මහතාට පොලිස් දෙපාර්තමේන්තුව තුළ තරහකාරයින් සිටින බවත් විවිධ පුද්ගලයින්ගේ කටහඬවල් අනුකරණය කිරීමට හැකි දක්ෂයින් ද පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටින බවත් ඉකුත් සැප්තැම්බර් දහහතර වැනි දින ඔහු ප‍්‍රකාශ කරන්නේ. රාජ්‍ය ආරක්ෂක අංශයක ප‍්‍රධානියකු රටේ ජනාධිපතිවරයාත් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් ඝාතනය කිරීමට සැලසුම් කළ බවට යම් සැලැස්මක් සකස් කළ බවට චෝදනා ලද විට ඔහු ගේ තනතුරේ සේවයේ යෙදී සිටියදීම පරික්ෂණ ඇරඹූ එකම රට ලංකාව විය හැකිය. එපමණකුදු නොව මෙම සැලැස්මට අදාළ තොරතුරු විවිධ තාක්ෂණික මෙවලම් ආශ‍්‍රිතව විවිධ ක්ෂේත‍්‍රයන්ට අදාළව ඇති බවට නාමල් කුමාර පවසද්දී චෝදනා ලැබ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් තොරතුරු තාක්ෂණ දිසාවට මාරු කර යවන්නේ පොලිස්පතිවරයාගේ අත්සනින් යුතු ලිපියකිනි. ඒ වනවිට පොලිස්පතිවරයාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාත් එක්ව කැලණිය විහාරයේ බෝධි පූජා පවත්වා නොපෙනෙන ආරක්ෂාවද අයැද සිට තිබිණි. පොලිස් තොරතුරු තාක්ෂණ දිසාව යනු රහස් තොරතුරු සියල්ලක් ආරක්ෂා කර ගැනීමේ තාක්ෂණික ක‍්‍රමවේදයන් සහිත ස්ථානයක් වන අතරම දුහුවිල්ලක තරම හෝ සාක්ෂියක් නැති කරන්නට ද හැකි ස්ථානයක් බව පොලිස්පතිවරයා දැන දැනම නියෝජ්‍ය පොලිස්පතිවරයා එම තනතුරෙහි එක් දිනක් හෝ වාඩි කරවූයේ පරීක්ෂණ විනිවිද භාවයෙන් යුතුව සිදු කිරීමේ පරම පවිත‍්‍ර චේතනාවෙන් විය යුතුය.

දැන් දැන් නම් සිදුවන්නේ පුදුම සහගත සිදුවීම්ය. අසූව දශකයේ ශ‍්‍රී ලංකා පොලිසියට එක් වෙමින් රටේත් ජනතාවගේත් ආරක්ෂාව උදෙසා දිවි හිමියෙන් කැපවන බවට පොරොන්දු වෙමින් රාජ්‍ය ආරක්ෂක අංශයේ ප‍්‍රධානියකු ලෙස අභිමානවත් සේවයක් උදෙසා කාලය ශ‍්‍රමය බුද්ධිය කැප කළ වත්මන් පොලිස්පතිවරයා අද සාමාන්‍ය ජනතාව අතරද විකට චරිතයක්ව ඇත්තේ ය. රටේ ජනතාවගේ අධිපති වන ජනාධිපතිවරයා පොලිසියේ ප‍්‍රධානියාට ඉල්ලා අස්වන ලෙස දන්වන්නේ, තවදුරටත් ඔහුගේ සේවය පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි නිසාය.

ඒ සියල්ල එසේ තිබියදී නාමල් කුමාරගේ ජීවිතය පිළිබඳ ව ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයට බලකරමින් සිංහල ජාතික බලමුළුවේ මහලේකම් අරඹේපොල රතනසාර හිමි ඉකුත් දහඅට වැනිදා පෙරවරුවේ මහනුවරදී ප‍්‍රකාශයක් කළහ. උන්වහන්සේ ගල්කිස්සේ සරණාගත ප‍්‍රශ්නය හෙවත් රෝහින්‍යා ප‍්‍රශ්නයේදී අධිකරණය විසින් සොයා යන කල සොයාගත නොහැකි වූ හිමිනමය. නාමල් කුමාර සමග මිත‍්‍රත්වය තහවුරු කර සිටින උන්වහන්සේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ ද හිතවත් හිමිනමකි. එය සනාථ වන්නේ ‘රතනසාර හාමුදුරුවෝ රෝහින්‍යා ප‍්‍රශ්නෙට අධිකරණයෙන් හොයද්දි හැංගිලා හිටියේ අම්පාරේ, මගේ ගෙදරක. එහාට රතනසාර හාමුදුරුවෝ අරං ගිහින් හංගන්න කියලා මට උපදෙස් දෙන්නේ නාලක ද සිල්වා කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා…” යැයි නාමල් කුමාර විසින් කියන ලද ප‍්‍රකාශයත් සමගය.

නාමල් කුමාර ගේ ආරක්ෂාව සඳහා වරකාපොල පොලිසියේ ස්ථානාධිපතිවරයා පූර්ණ ලෙස මැදිහත්ව ඇති බවත් ජීවිතයට තර්ජනයක් ඇති බවට සුළු හෝ සැකයක් ඇති වන ඕනෑම අවස්ථාවක වහා දැනුම් දීම සඳහා ක‍්‍රමවේදයක් සකසා ඇති බවත් දැනගන්නට ලැබෙන්නේය. මේ අතර නාමල් කුමාර ගේ ජීවිත ආරක්ෂාව උදෙසා ඔහු සිය නිවස හැර යන බවට තොරතුරුද සැලවන්නේය.

¥ෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර ගේ වත්මන් තත්ත්වය ද ඔහු පිළිබඳව නි. පො. නාලක ද සිල්වා කිසිවක් නොදන්නා බව සහ ඔහු නොහඳුනන බවට විද්‍යුත් මාධ්‍යයට ප‍්‍රකාශ කිරීමත් එම ප‍්‍රකාශය සම්බන්ධවද තොරතුරු දැන ගැනීම සඳහා නාමල් සිල්වා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළෙමි. ඔහු දුරකතන ඇමතුම හා සම්බන්ධ වූවද නව තොරතුරු ලබාදීමට පසුබට වන අයුරක් හැඟුණු බැවින්, ඔහුගේ නිවස පිහිටි වරකාපොල ගොස් සොයා බැලූවෙමි. මෙතැන් සිට වන සියලූ තොරතුරු වරකාපොල නා සෙවන සදහම් ආශ‍්‍රමයේ රැඳෙමින්, රවුම් පාරේ සැරිසරමින් ගම්මුන් ගේ සහාය ද ඇතිව ඉකුත් දින දෙක තුන තුළ සොයා ගත් සහ සිදු වූ නව තොරතුරු බව කියමි.

නාමල් කුමාරගේ නිවසට පිවිසීමට මාර්ග දෙකක් ඇත්තේය. මේ මග මේ වන විට විවිධ නන්නාඳුනන පුද්ගලයින් වරින් වර සැරිසරන බවටත්, පොලිස් නිලධාරීහු නිතර දෙවේලේ යන එන බවටත් ගම්මු පවසන්නේ රටේ ආන්දෝලනාත්මක පුවතක් මැවූ ගමට හිතැති පුද්ගලයා නාමල් බව ද කියමිනි.

දිනය සැප්තැම්බර් දහනව වැනි දාය. සවස හතරට පමණ වයස අවුරුදු පනහක පමණ පෙනුමැති පිරිමි පුද්ගලයෙක් නාමල් කුමාරගේ නිවස වෙත යන්නේ නාමල් සෙවීමටය. ඔහු නාමල්ගේ නිවසට යන්නේ සාමාන්‍යයෙන් නිවසට යන හුරු පුරුදු පාරෙන් නොවේ. නාමල් නිවසේ නොසිටි බැවින්, ඔහු නාමල්ගේ බිරිඳ සමග කතා කොට තමා ඉන්දියානු ජාතිකයෙක් බව කියන්නේය. මම ආවේ නාමල් හොයාගෙන. නාමල් ළඟ තියෙන්නේ සියයට දෙකක තොරතුරු විතරයි. මා ළඟ තියෙනවා සියයට අසූවක් තොරතුරු . මට මේවා නාමල් ට කියන්න අවශ්‍යයි. දැන් නාමල්ගේ ජීවිතයට තර්ජන තියෙනවා. මේ වෙලාවේ මම නාමල් ට උදව් කරන්න ඕනෑ… මාව ජෝසෆ් කියා හඳුන්වන්න යැයි කියමින් ඔහු නාමල් සොයන්නේය. බිරිඳ නාමල් දුරකතනයෙන් සම්බන්ධ කර දුන්නද ඔවුනට එදින මුණ

ගැසෙන්නට අවස්ථාවක් නොලැබී යන්නේය. එහෙත් මොහුගේ පැමිණීම පිළිබඳව වරකාපොල පොලිසියත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත් දැන

ගන්නේය. ඒ අනුව තවදුරටත් පුළුල් පරීක්ෂණ දියත් වන්නේය.

මෙලෙස පැමිණි නන්නාඳුනන ඉන්දියානු ජාතික ජෝසෆ් කවුරුන්ද? ඔහු පැමිණියේ සැබැවින්ම නාමල්ට උදව් කිරීමටද ? නැති නම් කාගේ හෝ පෙලඹවීමක් මත වෙනත් අරමුණක් කරා පැමිණියේද? සැබැවින්ම උදව් කිරීමට පැමිණියේ නම් ඔහු දන්නා නාමල් නොදන්නා සෙසු තොරතුරු මොනවාද? ඔහු ලංකාවේ රැඳී සිටින්නේ කාගේ උදව් ඇතිවද? යන මූලික ප‍්‍රශ්න අතර තවත් ප‍්‍රශ්න ජාලාවක් පැන නගින්නේය.

ප‍්‍රශ්න ජාලාව අතර ජෝසෆ් යැයි කියා ගන්නා ඉන්දියානු ජාතිකයා යළි පෙරේදා හෙවත් සැප්තැම්බර් විසිවැනිදා සවස තුනයි තිහට පමණ සදහම් ආශ‍්‍රමය අසලින් ගමන් කරන්නේය. එතැනින් දෙකට බෙදී යන පාරේ වම් පැත්තට හැරෙන විටම… මේ යළිත් යන්නේ නාමල් කුමාර සොයා ගෙන බවට වෙනත් හෝඩුවාවක් අවැසි නැති වග දැනෙන්නේය. සුදු ෂර්ට් එකක් සහ කළු කලිසමක් හැදගත් ඔහුගේ කරේ කළු පැහැති බෑගයක් දමා සිටින්නේය. වැඩි කලබලයක් නැති සෙයක් පෙන්නුම් කරන ඔහු නාමල් ට කියන්නට සැරසෙන්නේ කුමක්ද..?

ඔහුගේ අනන්‍යතාවය සනාථ කරන ඇතැම් කතා තරමක පරස්පරභාවයකින් යුතු වන බවක් හැඟී ගියද ඇතැම් තොරතුරු පුදුම සහගතය.

”…. මට දැනට මාස දෙකකට කලින් තොරතුරු ලැබෙනවා ජනාධිපති සහ ආරක්ෂක ලේකම් මරන්නට සැලසුමක් තිබෙන බවට. මට නාලක ද සිල්වා මෙයට මාස තුනකට පෙර මුණ ගැහෙනවා සැප්තැම්බර් නව වැනිදා මගේ දුරකතනයට පණිවිඩයක් එනවා ජනපති සහ ආරක්ෂක ලේකම් ඝාතනයට සැලසුමක් තිබෙනවා කියා. ඒ අතරේ මගේ අතට ලැබෙනවා නාමල් කුමාරගේ ගෙදරට යන මැප් එක. මේ මනුස්සයාගේ ජීවිතේ අනතුරේ. රසායනික පහර දීමකින් හරි ආහාර විෂ කිරීමකින් හරි සූක්ෂම විදිහට ජීවිතය නැති කරන්න පුළුවං. හලාවත කොච්චිකඬේ පැත්තේ මම ඉන්නේ. මම ක‍්‍රිස්තියානුවෙක්. මේ දවස්වල මම රාගම මහබාගේ ඉන්නවා. මේ මනුස්සයාව යුරෝපා රටවල්වලින් කැඳවන්න ඉඩක් තියෙනවා. මේවා මට කියන්න අවශ්‍යයි. මෙයාව කවුරු හරි ගෙනියනවා නම් එතනින්ම මෙයාගේ ජීවිතය ගැන අදහස අවසන් වෙනවා.

පවුලේ හැමෝම එල්ටීටීඊ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් මැරෙන්නේ දැනට කාලයකට උඩදි. කේරළයේ මම පදිංචි. මට අවශ්‍යයි මේ මනුස්සයාට ආරක්ෂාව දෙන්න. මොකද මෙයාගේ ජීවිතය දැන් අනතුරේ…..” ඔහු කියන්නේය.

වසර 2017 එක්සත් ජාතීන්ගේ සංගමයෙන් නිකුත් කරන ලද ලිපියක් ඔහු සතුව ඇත. ලංකාවේ නීත්‍යානුකුල රැඳී සිටීමකට අවශ්‍ය වීසා බලපත‍්‍ර ගමන් බලපත‍්‍රයේ සඳහන්ව නැත්තේය. ඉදින් බලන කල ඔහු කොතැනකින් ආවාද නොදන්නෙමු. සිදුවන්නේ බලා සිටීමට පමණි. මන්ද ඔහු පෙරේදා රාත‍්‍රි 11 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පුළුල් පරීක්ෂණ සඳහා කැටුව ගිය බැවිනි.

සියල්ල ට අනතුරුව ඒ වග තහවුරු කර ගැනීමට නාමල් කුමාර ඇමතුවෙමි.

‘‘…නාඳුනන කෙනෙක් නම් ආවා තමයි … නමුත් මේ ගැන අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ පැවැත්වෙනවා. අපි ඒ පරීක්ශණ සඳහා සහාය වෙන්න ඕනෑ… මොකද වෙන්නේ කියලා බලා ගෙන ඉමු… මා ගැන කියනවා නම් මම ලබන විසිහය වැනි බදාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත යනවා. රටට හෝ රටේ නායකයන්ට අගතියක් සිදුවන්න ඉඩ තියන්න බැහැ. මා ළඟ සාක්ෂි ලෙස තිබෙන නව තොරතුරු රැසක් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනවා. මම මේවා කරන්නේ රට ගැන හිතලා. මම උපන් රටට ද්‍රෝහියෙක් වෙන්න මට බැහැ. මගේ සහෝදරයෝ මේ බිමට තමන්ගේ ජීවිතය පූජා කරලා තියෙනවා. මගේ ඇෙඟ් දුවන ලේ ඇති අනිත් සහෝදරයෝ මේ බිම රැක ගන්න අදටත් පෙරට යන්න ලෑස්ති වෙලා හමුදාවේ ඉන්නේ. මට මගේ රට ගැන කැක්කුමයි… මේ පරීක්ෂණ නිසි ක‍්‍රමවේද යටතේ පුළුල් ලෙස සිදු කරගෙන යන්නේ නම්…, කරුණා අම්මාන්, සරත් වීරසේකර, මධුමාධව අරවින්ද වැනි පුද්ගලයන්ටත් කට උත්තර ලබා දෙන්න එන්න සිදු වෙනවා. හොඳයි …. අපි බලා ඉඳිමු මොකද වෙන්නේ කියලා… ” යැයි පවසමින් දුරකතන සංවාදය නතර කළේය.

පොලිසියේ ත‍්‍රස්ත විමර්ශණ කොට්ඨාසයේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට කියන්නට යමක් ඇති වග අපි දනිමු . කතාව ඒකපාර්ශවීය වනවාට වඩා සුදුසු වන්නේ ඔහු මේ පිළිබඳ ව පෞද්ගලිකව හෝ දක්වන අදහස ජනතාව වෙත ගෙන ඒමය. මෙය සාධාරණ ලිපියක් වන්නේ එවිටය. එබැවින් ඉකුත් දහහත් වැනිදා සිට ඔහු සම්බන්ධ කර ගැනීමට විවිධ උත්සාහයන් දැරුවෙමි. දුරකතනයට කිසිදු විටෙක ප‍්‍රතිචාර නොදැක්වූ බැවින් මුණ ගැසීමටද උත්සාහ කළෙමි. ඒ සියල්ල ව්‍යර්ථ වූයේ ඔහු මුණ ගැසීමට කිසිවෙකුටත් ඉඩක් තබා නොතිබීම නිසාය.

දැන් සැබැවින්ම සිදුවන්නේ බලා සිටීමට පමණි. ඇතැම් තැන්හි බඩුත් නඩුත් දෙකම කා සතුවද යන්න කුහුලක් ද ඇති බැවිනි. නමුත් මෙය හුදෙක් අතසෝදා පසෙකට විය හැකි කරුණක් නොවන්නේය . ඒ මේ රටේ ජනාධිපතිවරයාත් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් ඝාතනය කිරීමට කළ සැලසුමක් නිසාය.

සමන්තී වීරසේකර

3 Responses to “නාමල් සොයා පැමිණි ඉන්දියානුවා කවුද? ඉන්දියානුවා දැන් සීඅයිඩී භාරයේ”

  1. Randeniyage Says:

    Are we worried about our dear president Sirisena get killed or not ? What service he will do for the country if he is alive for another 20 years ? I am not worried.
    Supposing this Indian man is a RAW agent, what can current politicians do( even if the Gota or MR were president)? They will release him similar to their release of Russian spy.
    Remember how MR released Indians druggies convicted and condemned to death while the Sinhalese are still in jail waiting execution ?

  2. Christie Says:

    India, Indian Parasites and Indian Colonial Parasites wants Gota off.

    Attaching Sirisena to him is part of the plan.

  3. Christie Says:

    India, Indian Parasites and Indian Colonial Parasites wants Gota off.

    Attaching Sirisena to him is part of the plan to mislead us.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress