ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක වාසිය තිබෙන්නේ අගමැතිවරයාටයි
Posted on September 26th, 2018

තිළිණි කෞශල්‍යා විජේසිංහ  උපුටාගැණීම  මව්බිම

ජනපති ඝාතන කුමන්ත්‍රණයක වාසිය තිබෙන්නේ අගමැතිට බවත් ජනපති ඝාතන කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ පොලිස්පතිවරයාව අගමැතිවරයා ආරක්ෂා කළොත් අගමැතිවරයාත් මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවකු කියන සාධාරණ සැකය ජනතාවට ඇති වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (25දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හා පොලිස්පති පූජිත් අතර පවතින අතිශය සමීප සම්බන්ධතාව මේ වන විට ඔප්පු වී හමාරයි. ඒ සඳහා ප්‍රබල සාක්ෂි පහක්ම තිබෙනවා. පළමුවෙන්ම නාලක ද සිල්වාට කූට ලේඛන චෝදනා එල්ල වන විටත් කොටි ත්‍රස්තවාදීන් නිදහස් කිරීම පිළිබඳ චෝදනා එල්ල වන විටත් භික්ෂුන් වහන්සේලාට පා පහර දීම පිළිබඳ චෝදනා එල්ල වන විටත් ඒ සෑම අවස්ථාවකම නාලක ද සිල්වාව බේරා ගත්තේ පොලිස්පතියි.

දැන් ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන චෝදනා එල්ල වන විට පොලිස්පතිගේ ප්‍රතිචාරය වුණේ මොකක්ද? නාලකට පොලිසියේ හතුරන් ඉන්නවා. මේක ඒ අයගේ වැඩක් වෙන්න පුළුවන්. තෙවනුව, ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රබලතම සාක්ෂියක් වූ හඬ පටය පරීක්ෂාවට ලක් කිරීමටත් කලින් ඒක ව්‍යාජ හඬ පටියක් යැයි පොලිස්පතිවරයා පවසනවා.

ඉහළ නිලධාරියකුට මෙවැනි චෝදනාවක් එල්ල වුණාම කළයුතු පළමු දේ තමයි ඔහුගේ වැඩ තහනමට ලක් කරන එක. ඒ ඔහුට පරීක්ෂණ කටයුතුවලට බලපෑම් කරන්න පුළුවන් නිසා. නමුත් ඒ වෙනුවට ඔහු කළේ ඔහුව වෙනත් අංශයකට මාරු කරලා බේරා ගන්න පුළුවන්ද කියා බලන එකයි. අපි තදින්ම බලපෑම් කළාට පස්සේ තමයි ඔහුගේ වැඩ තහනම් කළේ.

මේ කාරණා එක්ව ගත් විට පොලිස්පති තනතුරේ පූජිත් ජයසුන්දර මහතා සිටින තුරු නාලක සිල්වාට එරෙහිව නිවැරැදි පරීක්ෂණයක් සිදු වෙන්නේ නෑ කියන එක පැහැදිලියි. 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියා පටිපාටිය) පනත අනුව පොලිස්පතිවරයා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි. පොලිස්පතිවරයා ඉවත් කිරීමේ යෝජනාවක් ගෙන ආ හැකි හේතු අතර පොලිස්පතිවරයා සිහි විකල්වීම, බලය අයුතු ලෙස භාවිත කිරීම, පක්ෂග්‍රාහීවීම, නොමනා හැසිරීම සහ දූෂණය යන කාරණා තිබෙනවා. මේ හේතු තුනම වර්තමාන පොලිස්පතිට අදාළයි. හැබැයි ඒ සඳහා මන්ත්‍රිවරුන් 113ක සහාය අවශ්‍යයි. වර්තමාන පාර්ලිමේන්තුවේ 113ක් ලබා දෙන්න පුළුවන් අගමැතිතුමාට විතරයි. ඒ නිසා තමයි පොලිස්පති ඉවත් කරන්න කියලා අපි අගමැතිතුමාගෙන් ඉල්ලන්නේ.

මිල සූත්‍රය ඉල්ලා මුදල් අමාත්‍යාංශයට මම යැවූ ලිපියට මුදල් අමාත්‍යාංශයෙන් පිළිතුරක් ලැබී තිබෙනවා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක ඩබ්.ජී.ඩී.සී.ඩී.එස්. රාජකරුණා ලිපියක් එවා තිබෙනවා. ඒ ලිපියේ සඳහන් කරලා තියෙන්නේ තොරතුරු දැනගැනීමේ පනතේ 5.1(ඇ) 4 වැනි උප වගන්තිය යටතේ ඉන්ධන මිල සූත්‍රය අනාවරණය කිරීම මඟින් බලශක්ති වෙළෙඳපොළේ ඉදිරි මිල ගණන් පුරෝකතනය කිරීමට ඇතුළත්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතළ අගතියක් ඇතිවිය හැකි නිසා ලබාදිය නොහැකි බවයි. මට කියන්න තිබෙන්නේ බම්බුව කියලා තමයි.

ආණ්ඩුව පවසන්නේ මාස් පතා ඉන්ධන මිල වැඩි කරන්නේ ‘ඉන්ධන මිල සූත්‍රය’ නම් අබිරහස් ක්‍රමවේදය අනුව බවයි. පුදුමය නම් මෙම සූත්‍රය පිළිබඳ කිසිවෙක් කිසිම දෙයක් නොදැන සිටීමයි. ඇමැති මණ්ඩලය එය නොදන්නා බව මහින්ද සමරසිංහ ඇමැතිතුමා කියනවා. ‘මිල සූත්‍රය හඳුන්වා දුන් දින සිට ඉන්ධන මිල ඉහළ යෑම පමණක් සිදුවීම පිළිබඳ මම ඉන්නේ කනස්සල්ලෙන්’ කියලා ජනාධිපති කිව්වා.

මුදල් අමාත්‍යාංශය මෙම සූත්‍රය සඟවා ගෙන සිටින්නේ ඇයි? ඇත්තෙන්ම ලෝක තෙල් මිල වෙනස් වීම සහ අපේ තෙල් මිල වෙනස් කිරීම අතර තාර්කික සම්බන්ධයක් නැති නිසා මිල සූත්‍රයක් තිබුණත් ඒක තාර්කික වෙන්න බෑ.

අභියාචනා මණ්ඩලයට අභියාචනා කළාට පස්සෙත් මිල සූත්‍රය හෙළි නොකළොත් ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්න බලාපොරොත්තු වෙනවා.

One Response to “ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක වාසිය තිබෙන්නේ අගමැතිවරයාටයි”

  1. Christie Says:

    යකෝ අපි හුඟක් අයට ඉන්දියානු අබින් කැවිල. ජනාදිපතිය මරන්න ඉන්දියාවට් ඕනෑකමක් නැහැ. උන්ට ඕනෑ ගෝටා මරන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress